2023 ජුනි 10 වන සෙනසුරාදා

ගල් ගැහෙන්න බය වුණාලු

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 131

දහයක් දොළහක් මාව වටකර ගත්තා තාම නඩුව ඉවරත් නෑ...

මේ සිදුවීම සිදුවුණේ මීට අවුරුද්දකට වගේ ආසන්න කාලයකයි. මම වැඩකට ගිහින් මගේ වාහනයෙන් ගෙදර ගියා. ගෙවල් ළඟදීම මම හෙමිහිට මගේ ගෙවල් තියෙන අතුරුපාරට හරවනවත් එක්කම වේගෙන් ආපු බයිසිකලයක් මගේ වාහනයේ හැප්පුණා. මට හිතාගන්නවත් බැරිවුණා. මම වාහනයෙන් බැහැලා ඒ මනුස්සයා වැටිලා හිටපු තැනට යද්දී ඒ මනුස්සයා නැගිටලා ෆෝන් එකෙන් කාටදෝ කතා කළා.  ඒ තරමටම ඒ මනුස්සයාට අමාරුවක් තිබුණේ නැහැ. මගේ වාහනයට ලොකු ඩැමේජ් එකක් වෙලා තිබුණා. ටික වෙලාවකින් වාහනවලින් ආපු දහයක් දොළහක් විතර පිරිසක් මාව වටකර ගත්තා. හැබැයි ඒ කවුරුවත් මම පදිංචි වෙලා ඉන්නේ ඒ ළඟ කියලා දැනගෙන හිටියේ නැහැ. ඒ අයගේ සද්දයක් එක්ක වටපිට ගෙවල්වල හිටපු හැමෝම එතනට එකතු වුණා. ඒ නිසා ඔන්න අර මට බනින්න, මගෙන් ලොකු ගාණක් කඩාගන්න දඟලපු අයගේ සද්දය ටිකක් අඩුවුණා. ඔය අතරේ අපේ ගෙවල් ගාව හිටපු ඇන්ටි කෙනෙක් පොලීසියට කතා කරලා තිබුණ නිසා පොලීසියේ නිලධාරීන් ඉක්මනට එතැනට ආවා. ඒ සැණින් අර කට්ටිය බයිසිකලයත් එතන දාලා මාරුවෙලා ගිහින් ඉස්පිරිතාලේ අර හැප්පුණ මනුස්සයාව නතර කරලා. බයිසිකලේ ආපු මනුස්සයා වගේම එයාගේ තනියට ආපු  හැමෝම බීලයි හිටියේ. කොහොම හරි ටික වෙලාවකින් ඒ මනුස්සයා ඉස්පිරිතාලෙන් පැනලා ගිහින් කියල අපිට ආරංචි වුණා. දීලා තිබුණ විස්තර සේරම බොරු. රිය අනතුරක් නිසා කීපවතාවක්ම මම උසාවි ගියත් ඒ මනුස්සයා ආවේ නැහැ. අදටත් ඒ නඩුව ඉවරත් නැහැ. ඇත්තටම එදා නම් මම හොඳටම බය වුණා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නම් නැහැ.

I ඉෂාන් ගම්මුදලි

මගේ මහත්තයාට හැමදේම අමතක වුණා මම අනන්තවත් මැරි මැරී ඉපදුණා...

එයා අනුරාධපුරේ සේවය කරද්දී අපි හමුදා නිල නිවාසවලයි පදිංචිවෙලා හිටියේ. මේ සිදුවීම වෙද්දී අපේ චූටි පුතා ඉපදිලා මාස තුනයි. සුරේන්ද්‍ර පාපන්දු සෙල්ලම් කළා. ඉතින් දවසක් එයා පාපන්දු සෙල්ලම් කරමින් ඉඳිද්දි වැටිලා ඔළුව බිම තදින්ම වැදිලා තිබුණා. ඔළුව බිම වැදුණ ගමන් එයාගේ මතකය අමතක වෙලා. හැබැයි එයාට මගේ නම විතරයි මතකේ තිබුණේ. ඉස්පිරිතාලේ ගෙනිච්චත් මෙයා වෛද්‍යවරුන්ගෙන් ''මට ළමයි ඉන්නවද'' කියලයි අහලා තියෙන්නේ. 

ඒ කාලේ අපේ අලුත් වාහනය ගත්තු අලුතමයි. මම ඒ වාහනය පැදලවත් තිබුණේ නැහැ. ඒ හැමදේම මට අමතක වුණා. මම ලොකු බබාලා දෙන්නව පිටිපස්සේ සීට් එකේ තිබ්බා. චූටිම බබාව ඉස්සරහින් ඩ්‍රයිවින් සීට් එකට එහා සීට් එකේ බිම කාපට් එකේ කොට්ෂීට් එක පිටින්ම තිබ්බා.කිසිම දෙයක් හිතන්නේ නැතිව මම එදා ඉක්මනටම සුරේන්ද්‍ර හිටපු තැනට ගියා. ඒ වෙද්දිත් කට්ටිය සුරේන්ද්‍රව පුටුවක වාඩිකරවලා ඔළුව හෙළවෙන්නේ නැතිවෙන්න පුටුවේ ගැටගහලා ගිලන් රථයකට නංවලයි තිබුණේ. කෑම්ප් එකේ ඉඳන් ඒ සෙල්ලම් පිටියට ටික දුරක් යන්න ඕනේ. හැබැයි එදා මම එතානට ගියේ කොහොමද කියලවත් අද මතක නැහැ. එද්දී නම් මට ඩ්‍රයිවර් කෙනෙක් ඒ අය දුන්නා. සුරේන්ද්‍රව ගිලන් රථයෙන් ගෙනියද්දී මට මුළු ලෝකයම නැතිවෙනවා කියලා දැනුණා. එයා මගේ දිහා බැලුවා. මාව අඳුරගත්තා. රෑ එකොළහමාරට විතර එයාට හොඳට පියවි සිහියත් ලැබුණා. ඒ කාලය ඇතුළත මම අනන්තවත් මැරි මැරී ඉපදුණා. මගේ මුළු ලෝකයම කඩා වැටුණා කියලා හිතුණා. දරු තුන්දෙනාව නිදි කරවලා මම බුදුන් සහ පත්තිනි මෑණියන් සිහිකරමින් වැඳ වැඳ මුළු රුයක් පුරාවට ඇහැරිලා හිටියා. 

I අශිකා මතසිංහ

කහ ඉර මැද්දේ වෑන් එකක් පපුවේ වැදුණා

ජීවිතේ අදටත් මට බය හිතෙන සිදුවීම් දෙකක් වෙලා තිබෙනවා. මම කලා ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදී මම ලොකු අනතුරකින් බේරුණා. ඒ කාලේ මම කුරුණෑගල ඉඳන් කොළඹ බස් එකේ ආවේ. මම ඒ කාලේ නැවතිලා හිටියෙ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තු පොඩි අක්කා නැවතිලා හිටපු බෝඩිමේමයි. ඒක කිරිබත්ගොඩ තිබුණේ. දවසක් මම කුරුණෑගල ඉඳන් කොළඹ එන්න හදද්දී මගේ පොඩි අයියත් කොළඹ යනවා කියලා බස් එකේ නැතිව එයාගේ වාහනයෙන්ම කිරිබත්ගොඩට ආවා. ටවුමෙන් ටිකක් ඇතුළු පාරක තමයි ඒ බෝඩිම තිබුණේ. අයියා එතැනටම මාව ගිහින් ඇරලවන්න හිතුවත් මගේ අකමැත්ත නිසාම අයියා මාව කිරිබත්ගොඩින් බැස්සුවා. ඊට ටිකක් එහාට වෙන්න තමයි කහ ඉර තිබුණේ. මම කහ ඉර පනින්නේ නැතිව පාර දෙපැත්ත බැලුවා. කිසිම වාහනයක් ළඟ තිබුණේ නැහැ. මම කහ ඉර මාරුවෙන්න ඉස්සරහට ගියා. හරියටම කහ ඉර මැදදී මම දකුණු කකුල උස්සද්දීම එකපාරම මගේ පපුවේත් වැදීගෙන කකුල් උඩින් වෑන් එකක් වේගයෙන් ගියා. මට හිතාගන්න බැරිවුණා.. හොඳ වෙලාවට මම වැටුණේ නැහැ. හැබැයි කහ ඉර මැද මාව ගල් ගැහුණා. මම එකපාරටම අයියාගේ කාර් එක දිහා බැලුවේ. එයා ඔළුවේ අත් දෙක ගහගෙන බයවෙලා බලාගෙන හිටියා. මම එයාට අතින් යන්න කියලා කහ ඉර මාරුවුණා. හැබැයි අර වෑන් එක නතර කළේවත් නැහැ. 

I හෂිනිකා කරලියද්ද

දූ අම්මා කියලා කෑ ගහනවා විතරයි අන්තිමට ඇහුණෙ

මෑතකදී මම මුහුණ පාපු හදිසි අනතුර මතක් වෙද්දී අදටත් මට ලොකු බයක් දැනෙනවා. එදා ඔක්තෝබර් මාසයේදී අපි බෙන්තොට බීච් එකට ගියා. අපි Jet Key එකක් පැද්දා. එදා අපි ජෙට් කී එක කිහිප වතාවක්ම එහාට මෙහාට පැදලා නතර කරන්න හැදුවා විතරයි එකපාරටම මට හිතාගන්නවත් බැරි විදිහට තවත් ආපු ජෙට් කී  එකක් මගේ ජෙට් කී එකේ හැප්පුණා. ඒ ගමනට මගේ දුවත් ගියා. හැබැයි මොකක්දෝ වාසනාවකට එයා ජෙට් කී එකේ ගියේ නැහැ. එයා අතින් කට්ටියත් එක්ක අපි පදින දිහා බලාගෙන හිටියා. අපේ ඇඟේ වැදුණ ජෙට් කී එක එකපාරටම පෙරළුවා. මට මගේ දූ ''අම්මා'' කියලා කෑගහනවා විතරයි ඇහුණේ. 

I ශිරෝෂි රොමේෂිකා

හෙට මොනවා වෙයිද කියලා පුදුම බයක් හිතට ආවා

මේ ක්ෂේත්‍රයට ආපු මේ ගමනට මම ලොකු ආගන්තුක ගමනක් වුණා. ඒ නිසා මේ ගමනේදී එක්තරා සීමාවකදී මට ලොකු බයක් දැනුණා. මගේ යාළුවෝ ඔක්කොම විවිධාකාර රස්සාවල් කරලා යම් ස්ථාවරයකට එද්දී මම මේ ආපු ගමන ගැන මට බයක් දැනුණා. ඒ අය ස්ථාවර වෙද්දී මම විවිධ වීදි නාට්‍ය කරමින්, පාරවල්වල සමහර දවස්වල වැරහැලි ඇඳගෙන නාට්‍ය කරද්දී මට මගේ ජීවිතය ගැන ලොකු බයක් දැනුණා. ඇත්තටම මගේ ජීවිතය මේ කොහාටද යන්නේ කියල මට හිතුණා. රෑ නිදාගනිද්දී පවා මට බයක් දැනුණා. අද ඒ බයට ගොඩක් කරුණු කාරණා තියෙනවා. ආසකරන ක්ෂේත්‍රයේ ජයග්‍රහණ ලබාගන්නට යාමේදී, ඇතැම් විට අපි හිතන්නේවත් නැති දේවල් ලබාගන්න උත්සාහ කරද්දී ඒ බය දැනෙනවා.  දැන් නම් ජීවිතය ගැන හරි සතුටුයි.

I නිරෝෂන් විජේසිංහ

එක තත්ත්පරයෙන් ගල් තලාවම වතුරෙන් වැහුණා

මීට අවුරුදු දහයකට විතර උඩදී ''තාරකා මල්'' නාට්‍යයේ මම ඇල්ලක ගලක් උඩ මැරිලා ඉන්න දර්ශනයක් රූගත කරන්න තිබුණා. ඒ දර්ශනය රෑගත කළේ මාතලේ පැත්තෙ තිබුණ ඇල්ලකයි. ගලක මම දිගාවෙලා ඉද්දී මගේ කකුල් දෙක ගඟේ තමයි තිබුණේ. ෂූටිං බලන්න ගමේ වටපිටාවේ හිටපු ගොඩක් අය ඇවිත් හිටියා. කැමරා, ලයිට්, හැමදේම අරගෙන කට්ටිය මාත් එක්ක වතුරෙයි හිටියේ. ඒකට ලෑස්ති වෙන වෙලාවේ ඉඳන්ම මගේ අම්මා හරිම බයකින් හිටියේ. ''ඉක්මනට උඩට එන්න.'' කිය කියා අම්මා කීප සැරයක්ම එගොඩ ඉඳන් කෑගැහුවා. මම ගලේ නිදාගෙන හිටියට වතුරේ තිබෙන මගේ කකුල් දෙකට වතුර දැනෙනව වැඩියි කියලත් මටත් තේරුණා... කොහොම හරි හැමෝම එකතුවෙලා ඔන්න ඒ කොටස රූගත කරලා ඉවර වුණා. කට්ටියම කැමරා ටිකත් උස්සගෙන මාවත් අතින් අල්ලගෙන එගොඩට ගියා. අපි කට්ටියම උඩට ආව විතරයි එකපාරටම වතුර පාර වැඩිවෙලා තප්පරයකින් මුළු ගල්තලාවම වැහිලා ගියා. එදා අපි පහළ හිටියා නම් අපිට මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ. 

I මුතු තරංගා

♦ දිශානි ජයමාලි