තාත්තා ලියූ ගීවලින් ආසම ආරාධනා සින්දුවට
අපේ ගීත කලාව තුළ, ප්‍රේමයේ සොඳුරුතම පද සංකල්පනාවන් තම පන්හිඳෙන් මැවූ රටක්ම ආදරය කරන ගී පද රචකයෙකු ලියූ ගී පද අතර තම සිත සොරාගත් ප්‍රියතම ගීතය ගැන අපේ කතාබහට අද එක්වන්නේ වින්දන ආරියවංශ. තම පියාගේ ගීත කලාවට පෙම් බැන්ඳත් ඔහු නතර වන්නේ නම් සිනමාවේ. ප්‍රේමය නම්, රූකඩ පැංචි ආදී සිනමා නිර්මාණ ඔස්සේ ඔහු අපට හමුවුණා. සිය සොහොයුරු කල්පන ආරියවංශ සමඟ සිනමාවේ තවත් බොහෝ දේ කරන්න හීන මවන වින්දන ආරියවංශ සමඟ අපේ මේ කතාබහ සිය සෙනෙහෙබර පියාණන් ලියූ ගී අතර සැරිසරද්දී ඔහුට හමුවූ වඩාත් ප්‍රිය කරන ගීතය ගැනයි.
“කුලරත්න ආරියවංශ කියන අපේ රටේ බොහෝ දෙනා ආදරය කරන ගී පද රචකයා මගෙ පියා වීම ගැන පුදුමාකාර සතුටක් දැනෙනවා. ඒ රසික ආදරය, කීර්ති, ප්‍රශංසා හමුවේ තව තවත් නිහතමානී වෙමින් තාත්තා මේ කලාවේ රුඳී ඉන්න ආකාරය ගැන විශාල ගෞරවයක් හිතේ තියෙනවා. තාත්තා ගී පද රචනා කරනවා. සමහර ඒවා තනුවලට ලියනවා. ගී පද සංකල්පනාව ගොනු කරලා ගීතය නිර්මාණය කළාට පසුව ඔහු එය රසිකයින් වෙත බාර කරනවා. ඉන්පසු ඔහු එය තමාගේ කියලා කියා කියන්නට ඉදිරිපත් වෙමින් යන්නෙ නැහැ. අදටත් බොහෝ විද්‍යුත් මාධ්‍ය ආයතන ආදිය අපගෙන් විමසනවා තාත්තව වැඩසටහන් සඳහා සම්බන්ධ කරවාගන්න. තාත්තා එදත් ඒවාට එතරම් යොමු වුණේ නැහැ. අදත් යොමුවන්නෙ නැහැ. අපි හොඳින්ම දන්නා කරුණක් තමයි තාත්තා ලියූ දේ තුළ රසිකයින් ඔහු වටා එක්වුණු බව. ඔහුට ආදරය කරන බව. තාත්තා සේවය කළ ආයතනය සමඟ ඔහුට හැකියාව ලැබුණා ශිල්පීන්ට උදව් කරන්න. සංයුක්ත තැටි සඳහා ගීත එක් කරන්න. ඔහු බොහෝ ශිල්පීන්ට තමන්ගේ අතහිත ලබාදුන් බව අදටත් බොහෝ දෙනා සිහිපත් කරන්නෙ ආදරයෙන්."
කුලරත්න ආරියවංශ යනු සැබැවින්ම සොඳුරු ගී පද රචකයෙකි. ආචාර්ය පණ්ඩිත් අමරදේව, ආචාර්ය නන්දා මාලනී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න, මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ, දීපිකා ප්‍රියදර්ශනී ආදී මෙරට අතිශය විශාල පරාසයක ගායන ශිල්පීන් රැසක් වෙනුවෙන් ගීත ලියූ ඔහු, එම ශිල්පීන්ගේ රසිකයින් අතිශයින් වැළඳගත් ජනප්‍රිය නිර්මාණ රැසක්ම ඉදිරියේ තම නාමය සටහන් කළ ප්‍රවීණයෙකි. අමරදේවයන් ගයන සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා, පාවෙනා නිල් වළාවේ, මා වවුලන් රෑ පුරාම, ආරාධනා ආදියද නන්දා මාලනිය ගයන සුනිල් ආරියරත්නයන්ගේ "වජිරා" චිත්‍රපටයේ දෙනෝදාහක් නුවන් අතරේ, සනත් නන්දසිරි ගයන මේ ප්‍රථම වසන්තයයි, ටී.එම්. ජයරත්නගේ රාත්‍රිය උදා වුණා, වලා තීරයෙන් එහා, රත්තරන් නෙත්, මිල්ටන් මල්ලවආරච්චි ගැයූ සැදී රන් අභරණින්, සුනිල් එදිරිසිංහ ගයන අවපස අහසක, නීලා වික්‍රමසිංහ ගැයූ පුංචි සිතේ පුංචි සිනා, දීපිකා ප්‍රියදර්ශනී ගයන සිනා පොදක් වී ආදී දීර්ඝ ගීත ලැයිස්තුවක් එක හුස්මට කියාගෙන යා හැකි තරම් අප මතකයේ රුඳී ඇත. ඉතින් එවන් ගී පද රචකයෙකුගේ නිර්මාණ අතරින් තමන්ගේ සිතට වඩාත්ම දැනුණු ගීතය පිළිබඳ කියන්නට යැයි අපි වින්දන ආරියවංශට ආරාධනා කළෙමු.
“තාත්තා ලියූ ගී අතර කැමතිම ගීතය කුමක්ද කියා කියන්න තරමක් අසීරුයි. අපි පුංචිම කාලේ ඉඳන් දැන සිටියා ඔහු බොහෝ සොඳුරු නිර්මාණවේදියකු වග, ගී පද රචකයකු වග. නමුත් ඔහු ලියූ ගීත අතරින් තනුව සහ සංගීතය ඔස්සේ හිතට දැනුණු ගීත තමයි කුඩා කාලයේ වැඩියෙන් ඇහුවේ. මොකද වචනවල තේරුම එතරම් වැටහීමක් නැහැනේ. නමුත් මගේ තරුණ කාලෙදි තාත්තගේ එක් ගීතයක් මගේ හිතට තදින්ම දැනුණා. හරියටම කිව්වොත් එහි අදහස තේරුම් ගැනීම තුළ මා ඒ ගීතයට මෙතරම් ඇළුම් කරන්න ගත්තෙ. එය විජය ධර්ම ශ්‍රී ගේ "ආරාධනා" චිත්‍රපටයට ඇතුළත් වූ රෝහණ වීරසිංහයන් සංගීතවත් කොට අමරදේවයන් ගැයූ "ආරාධනා" ගීතයයි.''
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රුගෙන යළි වඩින්න ආරාධනා... ආරාධනා...
''පොඩි කාලේ මම ආරාධනා බලලා තිබුණා. ඒ මට වයස අවුරුදු අටේදි විතර. මට මතකයි එහි සිදුවීම්. නමුත් තේරුමක් නැහැ. පසු කලකදී අයියා තමයි ඒ ගැන කියලා දුන්නෙ. මේ ගීතය තුළ තියෙනවනේ “අතීතයේ ගිලිහී ගිය සතුට රුගෙන යළි වඩින්න" කියලා. අන්න ඒ කොටසට මම හරිම කැමතියි. හරිම පිවිතුරු බවක්, අව්‍යාජ බවක් මට දැනෙන්න ගත්තා. එතකොට මගේ ජීවිතයේ දශක තුනක්, තුනහමාරක් පමණ ගතවෙලා. තාත්තාගේ ගීත නිසාම කියලා අපි ගීත ඇහුවෙ නෑ. මොකද තාත්තා අපි ළඟම සිටින පුද්ගලයා නිසා එතරම් අවධානයක් දුන්නෙ නැහැ. වචන ගැන කතා කරන්න හිතුණේ නැහැ. තාත්තාගේ ගීතවලට වඩා අනෙකුත් ගී පද රචකයන්ගේ නිර්මාණ ගැන හෙව්වා කිව්වොත් හරි. වචන ගැන කතා කළා කිව්වොත් හරි. මට මතකයි මම සුනිල් මාමාගෙන් (සුනිල් ආර්. ගමගේ) කලා සොළස පිරි පුරහඳ කියන්නෙ මොකක්ද කියලා ඇහුවා වගේ. නමුත් තාත්තාගේ ගීත ගැන දැනෙන්න ගත්තෙ තරුණ වයසෙදි. ආරාධනා තමයි තාත්තා ලියූ ගී අතර මා ඉතා හිත ගත් ගීතය. එය අකාලික නිර්මාණයක් කියලයි මට දැනෙන්නෙ. වත්මන් පරපුර පවා මේ ගීයට අතිශයින් ප්‍රිය කරන වග දැනෙනවා. ප්‍රේමය නම් මගේ සිනමා නිර්මාණයේදී පවා මේ ගීතය මගේ නිර්මාණකරණයට බලපෑම් කළා. සෙනෙහස ආදරය තුළ ජීවිතයක් ඔසවා තැබීමට ඇති ශක්තිය කොතරම්ද යන්න තදින්ම දනවන ගීතයක් එය. රෝහණ මාමගෙ (රෝහණ වීරසිංහ) සංගීතය, අමරදේව මාමගෙ (අමරදේවයන්ගේ) හඬ, මේ සියල්ල සමඟ ආරාධනා ජීවිතයට වඩාත්ම දැනුණු ගීතය කියලා කියන්න කැමතියි."
කුලරත්න ආරියවංශයන් යනු සිංහල ගීතයේ විශේෂිත පරිච්ඡේදයකි. රසික සිත් තුළ ගීතය ඔස්සේ සොඳුරු මුද්‍රා තැබූ අසහාය ගී පද රචකයෙකි.
I මොනිකා සේරසිංහ