2023 ජුනි 17 වන සෙනසුරාදා

හැරොල්ඩ් අයියා ආයෙත් කොටුවේ පොළේ යයි - හෙට්ටු රාජයෙක්! බඩු මල්ලම දුප්පතෙකුට

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 134


හැරොල්ඩ් කියන්න ලෙජන්ඩ් Travel ලෝකේ ලෙජන්ඩ් කෙනෙක්. අපේ ලංකාවේ කොවිඩ් කාලේ නතරවෙලා ලෝකෙට හොඳ ආතල් එකක් දුන්න කෙනෙක්. මෙයා ගැන ඇත්තටම ගොඩක් දෙනෙක් දන්නවා. මෙන්න හැරොල්ඩ් අයියා ආයේ ලංකාවේ වීඩියෝ එකක් දාලා.

''ඔන්න මම අද ලංකාවේ මාර්කට් එකට බැහැලා. ඩොලර් සීයක බඩු අරගෙන කාට හරි දෙන්න යන්නෙ.''

මෙන්න මෙහෙම කියාගෙන තමයි හිටපු ගමන් ලොකු අයියා කොළඹින් මතුවුණේ. මෙයා මුලින්ම කළේ කොටුවේ වීදයකින්, ලොකු බෑග් එකක් ගන්න එක. රුපියල් 2950ක බෑග් එකක් රුපියල් 2500කට දෙන්නම් කියලා මුදලාලි මෙයාට කිව්වා.

''නෑ නෑ රු.1300ක් දෙන්නම්...''

''මහත්තයෝ ඔයා සීයට සීයක ඩිස්කවුන්ට් එකක් ඉල්ලන්නේ.''

හැරොල්ඩ් අයියා හෙට්ටු කරන්න දක්ෂයා. ඒත් අන්තිමට රුපියල් 2200ක් දීලා තමා බෑග් එක ගත්තේ. ඊටපස්සේ මෙයා ගියා ඇඳුම් ගන්න කඩයකට. මෙතන බඩුගන්න ආපු ගෑනු කෙනෙක්ගෙ බිලත් ගෙව්වා. ඉතින් මේවගේ හෙට්ටු කරගෙන ඇඳුම් සපත්තු බඩු මුට්ටු ගොඩක් මෙයා ගත්තා. අවසානයේ අනේ බඩ ගාගෙන මෙයා ගියා පාරෙ අයිනෙ තියෙන පුංචි ගෙදරක් ළඟට. සෙල්ලම් බඩු බුලත්විට හැමදෙයක්ම තිබුණු මේ බෑග් එක මෙයා ඒ අයට දුන්නා. පැයකට වඩා තිබුණු මේ වීඩියෝ එකේ තවත් කතා ගොඩකුත් තිබුණා.

ගාල්ලට බැහැපු බමුණු රැවුල් අයියා සල්ලි බෙදයි

මතකද බයික් එකෙන් වැටුණු බමුණු රැවුල් අයියා. ඔන්න මෙයා ඇල්ල පැත්තේ කරක් ගහලා ගාල්ලට ඇවිල්ලා. අයියා පාඩමක් ඉගෙන ගෙනම නෑ. ආයෙම ගාල්ලෙ නැවතිලා ඉන්න තැන අංකල්ගෙන් බයික් එකක් ඉල්ලගෙන රවුමක් ගහන්න හදන්නෙ.

''ලංකාවේදී ලොකු බස් එකක් නම් ඕවර්ටේක් කරන්න බෑ.''

බස් එකක් පස්සේ යන ගමන්, අපේ බස් අයියලගෙ ඩ්‍රයිවින් ගැන හොඳ විචාරයක් තමා මෙයා දුන්නේ. ලැජ්ජයිනෙ. ඊටපස්සේ මෙයා ගියේ මා දැලක් අදිනවා බලන්න. එතන ටිකක් ඉඳලා කඩේකට යනවා. කඩේට ගිහිල්ලා කෑවා බොලේ ලංකාවේ බනිස් ගෙඩියකුත්. ගාලු කොටුවෙ කරක් ගහන ගමන් අපේ බමුණු රැවුල් අයියාට ආවා හොඳ අදහසක්.

''මම අද මට පුළුවන් විදිහට කාට හරි උදව් කරනවා.''

මෙන්න මෙයා ගාලු කොටුවෙ හම්බුවෙන හම්බුවෙන අයට සල්ලි බෙදන්න පටන් ගත්තා. ගාණ නම් පෙන්නුවේ නෑ. හැබැයි හත් අට දෙනෙකුටම මෙයා කීය කීය හරි දුන්නා.

සුද්දයි සුද්දියි දන්සැල් වන්දනාවේ

''මෙන්න මෙන්න ලංකාවේ නිකම් කෑම දෙනවා''

මෙයාල දෙන්න නම් කපල් එකක්. මේ දවස්වල ඉන්නේ දකුණේ. මේ දෙන්නා හිටියේ උණවටුනෙ. ඒ පැත්තේ ඉඳලා එපාවෙලා දෙන්නට හිතිලා වැලිගම බීච් යන්න. උණවටුනෙ සෙනඟ වැඩියි කියලා. මෙයාලා නැග්ගේ ප්‍රයිවට් බස් එකක වැලිගම යන්න. 

සුදු අයියා ෆුට් බෝඩ් එකේ එල්ලිලත් ආවේ. එහෙත් බස් එකෙන් බැහැපු ගමන් නංගි නම් කිව්වේ ''ලංකාවේ බස් එකක් ඇතුළේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඒක නම් පිස්සුවක්'' කියලා.

ලට්ට ලොට්ට බඩුමුට්ටු ගොඩක් එල්ලගෙන මෙයාලා ආවේ මාර ගමනක් ආවේ. ඉන්න තැනට ඇවිල්ලා වටපිට බලන්න, බීච් එක පැත්තෙ රවුමක් ගහලා මෙයාලට ආයෙ එන ගමන් වුණේ මාර වැඩක්. දඩිං බිඩිං ඩෝං ගාලා සුදු අයියා ඇදන් වැටුණා පාර අයිනේ. කණ්ඩියක කකුල පැටලිලා. අයියගෙ කකුලත් තුවාල වුණා.

වීඩියෝ එක පහුගිය සතියේ අප්ලෝඩ් වුණාට මෙයාලා ආවේ දන්සැල් කාලේ. ඒ නිසා දහම් පාසල් පෙරහැරක් එහෙමත් බලන්න මෙයාලට පුළුවන් වුණා. කඩල දන්සලකින් කාලා ඇත්තටම මෙයාලා ලංකාව ගැන පුදුම වුණා.

''මෙන්න මෙන්න ලංකාවේ නිකං කෑම දෙනවා.''

I චමිඳු නිසල්