2023 ජුනි 17 වන සෙනසුරාදා

පළමු ගීතය ඇහුව දවසේ... මෙහෙම හිතුණා ඉතින්

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 143

වටපිටේ ඉන්න කවුරුත් මාව අඳුරගත්තෙ නෑ

ක්‍රිශාන්ත එරන්දක

මගෙ ආදර පවසට ඔබ
නියං කලට හඬන අහස
මගේ ආදර වරුසාවට
යටිකුරු කළ කළසකි ඔබ

'මගෙ ආදර' ගීතය තමයි මගේ ගී අතරින් මුලින්ම ප්‍රචාරය වුණේ. ඒ ගීතය මාලනී බුලත්සිංහල මහත්මිය සමඟ ගායනා කළ යුග ගීතයක්. ඒ කාලේ මම ආධුනිකයි. ඒක 'පැහැසර' වැඩසටහනට කළ ගීතයක්. ඒ ගීතය රූපවාහිනියෙන් මුලින්ම විකාශය වෙද්දි මට ඒ වැඩසටහන බලන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. දවසක් මම අනුරාධපුරේ තිබුණු අපේ මාමාගේ කඩේ ඉඳන් පාපැදියෙන් අනුරාධපුරේ ටවුමට ආවා. ඒ වෙද්දි එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගයක් පැවැත්වුවා. අනුරාධපුරේ තිබුණු සිංගර් ප්‍රදර්ශනාගාරයේ තිබුණු ලොකු රූපවාහිනියෙන් ක්‍රිකට් තරග පෙන්නපු නිසා පාරේ හිටපු හැමෝම ප්‍රදර්ශනාගාරය ඉස්සරහ පොදි ගැහිලා හිටියා. ඉතින් මාත් මගේ බයිසිකලය නතර කරලා ඒ සෙනඟ අස්සෙන් බයිසිකලේ සීට් එකේ ඉස්සරහට වෙන්න අඩමානෙට ඉඳගෙන තරගය බලන්න කියලා හිතාගෙන ඉස්සරහට එබුණා. ඒ වෙලාවේ තේ පානයට තරගය නතර කරලයි තිබුණෙ. එකපාරටම අර ලොකු රූපවාහිනියෙන් මම ගායනා කරපු 'මගේ ආදර' ගීතය විකාශය කළා. මට හිතාගන්න බැරි වුණා. හිතට ආපු මොකක්දෝ දේ කෑගහලා කියන්න හිතුණා. මට ඒ වෙලාවෙ අමුතු අභිමානයක් ඇතිවුණා. වටපිටාවේ ඉන්න අය මාව හඳුනා ගත්තද කියලා බලන්න මට වටපිට බැලුවත් ඒ කවුරුත් මාව හඳුනාගත්තෙ නැහැ. ඉතින් මම ඒක ඉවර වෙනකම් බලන්නෙ නැතිව ආයෙත් බයිසිකලේ හරවගෙන කඩේට පැද්දා. ඒ යන අතරේ මට ගොඩක් දේවල් හිතුණා. මට මම ගැන අභිමානයක්, සතුටක් දැනුණා. ඒ අය අතරේ මම තනියම ඒ ගීතය ගැයුවා. ඒක වෙනස්ම වෙනස් දවසක්.


මගේ ගීත මුලින්ම රූපවාහිනියෙන් යන කාලේ ගෙදර රූපවාහිනියක්වත් නෑ

අසංග ප්‍රියමන්ත පීරිස්

හිරු විකසිත වී මිය යන පොළොවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නලවන් රුධිරය මව්ගේ
කිරට හැරී කුසගිනි දුරලයි

මම මොරටුවේ ජීවත් වන කෙනෙක්. මගේ තාත්තට ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණට රූපවාහිනියෙදි ගායනා කරලා තිබුණෙ නැහැ. තාත්තා හරිම ආසා කළා අපිටත් ඒ හැකියාව පිහිටීම සම්බන්ධයෙන්. මම මුලින්ම ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වුණු 'ඇසේ මධුර ගී' තරගයෙන් ලංකාවෙන් ප්‍රථමයා වුණා. ඒ කාලේ අපිට ඒ වැඩසටහන බලන්න රූපවාහිනියක්වත් ගෙදර තිබුණෙ නෑ. ඒ වැඩසටහනට මම පණ්ඩිත් අමරදේව මාස්ටර්ගේ 'ඉපිද මැරේ යළි ඉදිපේ' ගීතය ගායනා කළා. ඊට පසුකාලීනව මම ගායනා කළ 'හිරු විකසිත වී' ගීතය මුලින්ම මගේම ගීතයක් ලෙසින් රූපවාහිනියෙන් විකාශය වුණා. ගායකයෙක් විදිහට ඒ තැනට එන්න ගත්ත මහන්සියේ ප්‍රතිඵල එදා මට ලැබුණා කියලා දැනුණා. මුල් කාලෙදි මගේම ගීත රූපවාහිනියෙන් දකිද්දි අපේ ගෙදර රූපවාහිනියක්වත් තිබුණෙ නෑ.

පත්තරේක ගිය කවියක් තමයි ඒ... කපුගේ අයියා සත පහක්වත් ගත්තේ නෑ මගෙන්

ලක්ෂ්මන් හේවාවිතාරණ

ආදරය වගේ නොවේ
අගහිඟ දැනෙයි කූඩුඩේ
දුක දරාගන්න වේවි නුඹට
මහ මෙරක් වගේ

මම ගායනා කළ මුල්ම ගීතය පත්තරයක තිබුණු කවියක්. ඒ වෙද්දි මම ප්‍රංශයේ හිටියෙ. ගුණදාස කපුගේ අයියා කාලයක ඉඳන් මම හඳුනනවා. කපුගේ අයියා තමයි මට මේ ගීතය නිර්මාණය කරලා දුන්නෙ. ඇත්තම කිව්වොත් මම ගීත ගායනා කරන්න ආසා වුණත් මගේම ගීතයක් ගායනා කරන්න පුළුවන් වේවි කියලා හිතුවෙ නෑ. ''මම උඹට ගීතයක් හදලා දෙන්නම්'' කියලා කපුගේ අයියා කිහිප වතාවක්ම මට කිව්වා. 2001 අවුරුද්දෙ මම නිවාඩුවකට ලංකාවට ආවාම ''ආයිත් මම ලංකාවට ආවා'' කිව්වාම කපුගේ අයියා එයාගේ සර්පිනාව අරගෙන අපේ ගෙදර ආවා. ඒ වෙද්දි මම අර පත්තරේ පළවුණු කවි පිටුව අයියට දීලා ''මේක ලස්සනයි නේද?'' කියලා ඇහුවා. හැබැයි ඒ කවියේ අයිතිකාරයෙක් ගැන පත්තරේ පළවෙලා තිබුණෙ නැහැ. ටික වෙලාවකින් කපුගේ අයියා ඒ කවියට ලස්සන තනුවක් දාලා ඒක ගීතයක් කළා. ඒ ගීතය හදන්න කපුගේ අයියා එක සතයක්වත් මගෙන් ගත්තෙ නැහැ. හැම වියදමක්ම කළේ කපුගේ අයියයි. ගීතය ගුවන්විදුලි නාලිකාවලට දීලා දවස් දෙක තුනකින් මේ ගීතය ප්‍රචාරය වුණා. ඒත් සමඟ ජාතික රූපවාහිනියේ 'සඳ මඬල' වැඩසටහනට මේ ගීතය තෝරාගෙන තිබුණා. ඒකට රූප රචනාවකුත් කළා. මුලින්ම ගීතය රූපවාහිනියෙන් දකිද්දි මට අදහාගන්න බැරි වුණා. කොච්චර සැප සම්පත් එක්ක ප්‍රංශයේ ගත කළත් ඒ හැමදේම අතහැරලා ලංකාවේ නතර වෙන්න මට හිතුණා.

''කීර්තිගේ සින්දුවක් පාල අයියා එනකම් අපි නිකම් කරමුද?'' ඇහුවා - ඒකයි මගේ පළමු ගීතය වුණේ

► කීර්ති පැස්කුවල්

නීල අහසේ සැඳෑ වලා
ඇඳෙනා යාමේ සිහිලේ ළං වී
ගංගා තීරේ ඉඳිමු තනි වී
ආදර සෙනෙහේ සුවේ මවා
සීත සෙවණේ මුවා වෙලා

මගේ පළමුව රූපවාහිනියේ විකාශය වුණේ 'නීල අහස' ගීතයයි. ඒ ගීතය හරිම අහඹු විදිහට තමයි පටිගත වුණේ. මුලින්ම මම වාදන ශිල්පියෙක් විදිහටයි කටයුතු කළේ. මගේ සහෝදර ශිල්පීන් හැමදාම වගේ පටිගත කිරීමක් අවසන් වෙලා මම වෙනුවෙන් එක් ගීතයක් නිර්මාණය කළා. ඒ විදිහට එකතු වුණු ගීත නිර්මාණ කිහිපයක්ම මගේ ළඟ තිබුණා. ඒ අතර 'නීල අහස' ගීතයත් තිබුණා. ඔය අතරේ ස්වාධීන රූපවාහිනී සේවයේ 'මධුරසාංග' වැඩසටහනත් ඒ කාලේ පැවැත්වුණා. ඒ ශිල්පීන් ගායනා කරද්දි වාදන ශිල්පීන් විදිහට අපි පිටුපස හිඳිමින් වාදනය කළා. ඒ වැඩසටහන පී.එල්.ඒ. සෝමපාල මහතා නිෂ්පාදනය කළා. එක දවසක් වැඩසටහන පටිගත කරන අතරමඟදි නතර කරලා කොහොම හරි ඒ මහතා ගියා. එතන හිටපු සහෝදර වාදන ශිල්පීන් හැමෝම මට හිතවත්. මගේ වයසේ අයයි. ''කීර්තිගේ සින්දුවක් පාල අයියා එනකම් අපි නිකම් කරමුද?'' කියලා ඒ අය කිව්වා. ඒ විදිහට අපි ඒ ගීතය ස්වාධීන රූපවාහිනී සේවයේදි පටිගත කිරීම් කළා. ඒ දවස්වල මගේ නම අතින් ඇඳලා තමයි ගීතයට ඇතුළත් කළේ. පී.එල්.ඒ. සෝමපාල මහතා ආවට පස්සෙ අපි මේ සිද්ධිය කිව්වා. මුලදි පොඩ්ඩක් තරහකුත් ගියා. හැබැයි ඔහුට අපිට හරි ආදරෙයි. ඒ සිදුවීම එතනින් ඉවර වුණා. 1983 දි රූගත කෙරුණු ඒ ගීතය අවුරුද්දකට විතර පස්සෙ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වුණා. පහුවදා උදේ ඉඳන් මේ ගීතයට පුදුමාකාර ප්‍රතිචාර ලැබුණා. මධුරසාංග වැඩසටහන යද්දි වාදන ශිල්පියෙක් විදිහට නිතරම මගේ මුහුණ රූපවාහිනියෙන් දැක්කා. ඒ නිසා මගේ ගීතය විකාශය වෙන්නට කලින් මගේ මුහුණ බොහෝ දෙනාට හුරුයි. ඉතින් 'නීල අහස' ගීතයත් එක්ක මට හොඳ ප්‍රතිචාර ලැබුණා.


අත දෙන්න කවුරුත් නැති කාලේ ජාතික රූපවාහිනිය පටන් ගත්ත දවසේ මගේ ගීතයක් දැම්මා

► චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

ඈත හමා යන මඳ සුළඟේ ඔබ
බිඳුවක් නවතින්නේ
කාලය ගෙවිලා යයි සැණෙකින්
බිඳුවක් නවතින්නේ

ඒ කාලේ අද තරම් රූපවාහිනී නාලිකා තිබුණේ නැහැ. ස්වාධීන රූපවාහිනි සේවය හා ජාතික රූපවාහිනි සේවය තමයි ඒ කාලේ තිබුණේ. ඉතින් ජාතික රූපවාහිනිය මුලින්ම ආරම්භ කරද්දිම අපිට ඒකෙ ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. එදා ආරම්භ කරපු දවසෙම මම ගායනා කරපු 'තවලම අපි යනවා' ගීතය විකාශය වුණා. රූපවාහිනිය විවෘත කරද්දි අපි තරුණ සේවා සභාවේ ඉඳන් රූපවානිහියෙන් ඒ වැඩසටහන බැලුවා. ඒකෙදි මගේ 'තවලම අපි යනවා' ගීතය ප්‍රචාරය වුණා. ඒක මට සිහිනයක්. ඈත දුෂ්කර යටියන්තොට ගමේ ඉඳන් බොහොම අමාරුවෙන් මේ ගමන ආවේ. සංගීතයට අත දෙන්න ඒ කාලේ මට කවුරුත් හිටියෙ නැහැ. සංගීත පරම්පරාවක් මට තිබුණෙත් නෑ. විවිධ වැඩසටහන්වලට ආසාවට ගියාට ඒවායින් මට අවස්ථාව ලැබුණෙ නැහැ. ඒ අතර ජාතික රූපවාහිනිය ආරම්භ කරපු පළමු දවසෙම මගේ ගීතයක් ප්‍රචාරය වීමම මම බලපු ජයග්‍රහණයක් විදිහටයි මම එදා හිතුවෙ. මගේ අම්මා තාත්තා මගේ ගීතයක් විකාශය වේවි කියලා මම කියපු නිසා දැනගෙන හිටියා. ඒ නිසා යටියන්තොට අපේ ගෙදර තිබුණු කළු සුදු පොඩි රූපවාහිනියෙන් හරිම අපැහැදිලිව තමයි අම්මයි තාත්තයි ඒක බලලා තිබුණෙ. ඒ දෙන්නටත් එදා ගොඩක් සතුටුයි.

'නල මුදු සුවඳ' තමයි මාව ගායිකාවක් කළේ

► මංජුලා දිල්රුක්ෂි

සොඳ ශිල්ප සොයමි
මඟ ලකුණු බලමි
උණුසුමින් යමින් නික්මී
පියාණෙනී බිය නොවනු මැනවි
මේ නුහුරු නගරයේ
දෙපයින් නැගී සිටින අයුරු
මම දනිමි

මම 2001 අවුරුද්දෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැති 'නල මුදු සුවඳ' තරගයට ඉදිරිපත් වුණා. එතනදි අපිට අලුත්ම ගීතයකුත් ගායනා කරන්න තිබුණා. ඒ ප්‍රසංගය ජාතික රූපවාහිනියෙන් විකාශය වුණා. ඉතින් ජීවිතේ පළමු වතාවට මාව රූපවාහිනි තිරයෙන් 'නල මුදු සුවඳ' ප්‍රසංගය ඔස්සේ දකින්න අවස්ථාව ලැබුණා. ඒ ගීතය විශ්වවිද්‍යාලයේම නිරෝෂා ජයවර්ධන අක්කා ලියලා දුන්නා. එවකට ඇය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක්. මේ ගීතය නවරත්න ගමගේ මහතා සංගීතවත් කළා. 2001 අවුරුද්දෙ 'නල මුදු සුවඳ' තරගයෙන් ජනප්‍රිය ගායිකාව සහ දක්ෂතම ගායිකාව ලෙසින් මාව තේරුණා. ඒ ප්‍රසංගය එදා රූපවාහිනියෙන් විකාශය වෙද්දිත් මට ගොඩක් සතුටු හිතුණා. එදා ප්‍රසංගයට ලංකාවේ ඉන්න ප්‍රවීණම කලාකරුවන් කලාකාරියන් ඇවිත් හිටියා. මහාචාර්ය සුනිල් ආරියරත්න සර් තමයි 'නල මුදු සුවඳ' ප්‍රසංගය සංවිධානය කරලා තිබුණෙ. ඒ ජයග්‍රහණය මගේ ජීවිතේ මම ලබපු ලොකුම ජයග්‍රහණයක් වුණා. ඒ තරගයෙන් පස්සෙ කැසට් සමාගමක් මට කැසට් පටයක් කරන්න ආරාධනා කළා. ඒ ඔස්සේ ළෙන්ගතුකම, නීල නයන, සඳ අහිංසකයි වැනි ගීත මා වෙනුවෙන් නිර්මාණය වුණා. ඉතින් අදටත් එදා රූපවාහිනී තිරයෙන් මගේ නිර්මාණය හා මාව දැකපු ඒ දවස සුන්දරම අත්දැකීමක්.

♦ දිශානි ජයමාලි
සේයාරූ I අන්තර්ජාලයෙන්