ඔන්න ඉන්නවා සුදු අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි ලංකාවට ඇවිල්ලා. මෙයාලා අරගලය කාලේ ඉන්ධන හිඟේ තිබුණු කාලේත් ලංකාවට ආපු අය. ඇත්තටම මෙයාලා ත්‍රී වීල් පිස්සෝ. ඔන්න මේ පාරත් ලංකාවට ඇවිල්ලා ත්‍රී විල් කුලියට දෙන ආයතනයකින් වීල් එකක් අරගෙන සංචාරයට.
පළවෙනියටම සුදු අක්කයි, අයියයි කළේ ඇන්ජිමේ ඉඳන් ක්ලච් එක වෙනකල් සියලු දේවල් කට්ටියට පැහැදිලි කරලා දෙන්න ට්‍රයි කරපු එක. අක්කා එක එක ජල්බරිවලට මුහුණ දුන්නත් වැඩේ අතෑරියෙ නෑ. නුහුරු නිසා මඟ හිට හිට හරි වීල් එක පැදගෙන ගියා. අයියා පිටිපස්සේ හිටියා. මෙයාලා කොළඹ කරක් ගහන ගමන් තෙල් ගහන්නත් ෂෙඩ් එකකට ගොඩවුණා. එතන කට්ටියත් සුදු අක්කා ඩ්‍රයිවර්ව දැකල පුදුම වුණා.
අරගල කාලේ ලංකාවේ තිබිච්ච පසුබිම මතක් කර කර තමා මෙයාලා වටේ කරක් ගැසුවේ. තව ගොඩක් දේවල් කිව්වා. ඒ කාලෙ තිබුණු සමහරක් සටන් පාටත් මෙයාලට තාම මතකයි. කොහොම හරි ඔහොම රවුමක් ගහල මෙයාල ඊටපස්සේ ගියේ එම්.සී. එකට. ඩේටා ස්ටෝරේජ් වලට අමතර පොඩි ඩිවයිස් එකක් මෙයාලා එතැනින් ගත්තා.
ඔන්න ඊටපස්සේ වටේ කරක් ගහන ගමන් සුදු අයියයි, අක්කයි කඩේකට ගොඩවෙලා කන්න පටන් ගත්තා. මුලින්ම බිත්තර රෝල් එකක් එහෙම කාලා වැඩේ පටන් ගත්තු දෙන්නා. මෙන්න චිකන් චීස් කොත්තුවක් දාගෙන තළු මර මරා කෑවා. කොත්තුව කන ගමන් මැන්ගො ජූස් එකකුත් බිව්වා. සුදු අක්කා අපේ මේ කෑම බීමවලට සුපිරි රෙකමන් එකකුත් දුන්නා.
සුද්දන්ට එළව එළවා ගැහුව අලියා
මේ කොණ්ඩයා අයියයි අනික් අයියයි මරු ඩබලක්. මෙයාලත් ත්‍රීවිල් දෙකක් අරගෙන ලංකාව වටේ යන දෙන්නෙක්. පහුගිය දවස්වල පොළොන්නරුව පැත්තේදී මරු වැඩක් මෙයාලාට වුණා. කොහොම වුණත් මෙයාලත් එක්ක තව සෙට් එකක් හිටියා. වීඩියෝ කළේ නෝමල් එකේ හිටපු සුදු අයියා.
තෙල් ගහගෙන කඩේකට ගිහින් කාලා එහෙම මෙයාල ගියේ පොඩි ජංගල් සෆාරියක්. මෙයාලා දෙන්නා මෙහෙම යනකොට අලි වැටක් දැක්කා. මේක මොකක්ද කියලා තේරුම් ගන්න එකනම් අයියලට ලේසි වුණේ නෑ. අවසානයේදී වීල් එක මග නවත්තලා, පාරේ හිටපු අපේ හමුදාවේ අයියා කෙනෙක්ගෙන් අහල තමයි මෙයාලා මේක අලි වැටක් කියලා තේරුම් ගත්තේ. මෙයාලා හමුදාවේ අයියා ගැනත් හොඳ කිව්වා. ලෝකයේ සමහර රටවල හමුදාවේ අයව වීඩියෝ කරන්න තහනම් කියලා කට්ටියට පැහැදිලි කරල දුන්නා. මෙහෙම යනකොට කොක්කු මීහරක් වගේ සත්තු බල බලා තමයි මෙයාලා ඉස්සරහට ගියේ. ඔන්න පාරේ ඉන්න අලියෙක් හම්බවුණා.
කට්ටියම අලි බලන්න නතර කළා. ඊටපස්සේ කවුරු හරි මොන විකාරයක් කළාද දන්නෙ නෑ කොහොමහරි මෙයාලා ආපු අනෙක් ත්‍රී විල් එකට අලිය ගැහුවා. ඒක පෙරළලා දැම්මා. සුදු කොණ්ඩ අයියා මේක නතර කරන්න ඉස්සරහට ගිහිල්ලා එක එක වැඩ කිඩ දාන්න පටන් ගත්තා. පස්සේ අලි ලොක්ක ඇවිල්ලා මෙයාලා ආපු ත්‍රී විල් එකත් පෙරළුවා.
කොණ්ඩ අයියගේ මෝඩ වැඩ කිඩ නිසා මේ ගොල්ලො පස්සේ අලියා එළවාගෙන ආවා. මෙයාලට පාර දිගේ දුවන්නත් සිද්ධ වුණා. විටින් විට මගදිගට දුවලා. පාරේ යන මෝටර් බයික් එකකත් එල්ලිලා මෙයාල ඉස්සරහට ආවා. අලියා බයික් එකකටයි පාරේ තියෙන වාහනවලටයි ගගහා විකාරයක් කළා. අන්තිමේදි මේ දෙන්න සෑහෙන්න දුරක් ඉස්සරහට ගිහිල්ලා ආයෙත් එද්දී අනික් වීල් එක කෙළින් කරලා තිබුණා. එක සුදු ගෑනු ළමයෙක්ගෙ කකුලත් පොඩ්ඩක් තුවාල වෙලා. ත්‍රීවිල්වල සයිඩ් කණ්ණාඩි කැඩිලා රෙදි නැමිලා ඉරිලා. ඉතින් මෙයාලා ආයෙත් ගමන පිටත් වුණා. මේ ගොල්ලෝ අතරින් එක්කෙනෙක් මෙහෙම කිව්වා. අපිට අලි ඉන්ෂුවරන්ස් එකකුත් ඕනෑ.
කිතුල් පැණියි කුරුම්බයි පට්ට රසයි
මෙයාලා ස්කූටර් රෙන්ට් එකට අරගෙන ලංකාවේ කරක් ගහන කට්ටියක්. එක සුදු ජෝඩුවයි, අනිත් කෙනා තනියම. කොහොම හරි බයික් අරගෙන මෙයාලා පදින්න ඇති. තනියම ඉන්න කෙනාට බයික් එක පැදගන්න බෑ. ඒත් මෙයාලා වැඩේ අතෑරියෙ නෑ. බොහොම අමාරුවෙන් දනි පනි ගාලා ලොකු අවදානමකුත් එක්ක ගමන යන්න පටන් ගත්තා.
''අපි බලමු යාළුවට ලංකාවෙ පාරවල්වලදී ආරක්ෂා වෙන්න පුළුවන්ද කියලා.''
එහෙම කිව්වේ අර සුදු අයියයි අක්කයි. කොහොම හරි මෙයාලා එන අතරමඟ කඩයක නතර කරා. මෙතන පොල් කුරුම්බා තැඹිලි තිබුණා. කට්ටියට තැඹිලි ගෙඩියක් තමයි බොන්න ඕන වුණේ. පොල්වල එක එක වර්ෂන් තියෙන එක ගැන නම් මෙයාලා ටිකක් පුදුම වුණා.
ඒ අස්සෙ මෙතැන පොළොස් වගේම වරකත් තිබුණා. ඒ ගැනත් කට්ටිය අහලා දැන ගත්තා. අපේ කඩේ ලොකු මාමල කට්ටිය මේ සුදු අයියලා අක්කලාට වරකාත් කැව්වා. එතකොට සුදු අක්කා කුරුම්බා කනකොට කිතුල් පැණි ටිකක් ගෙනත් දුන්නා. ඒකට නම් කට්ටියට ආස හිතුණා. ඇත්තටම ලංකාවේ ආගන්තුක සත්කාරය ගැන සතුටු හිතෙන විදිහට අපේ අය මේ සුදු අයියලාට සැලකුවා.
I චමිඳු නිසල්