ජීවිතය ගීතයක් සේ දැනෙනවා මෙන්ම ගීතයක් තුළ අපේ ජීවිතයම දැනෙන අවස්ථා ද බොහෝ විට අපට හමුවේ. හමුවීම් - වෙන්වීම්, හිමිවීම් - අහිමිවීම් අතර මොහොතින් මොහොත ගතව යන ජීවිතය තුළ විටෙක ප්‍රේමයෙන් ද විටෙක විරහවෙන් ද අපට දැනෙන බොහෝ දේ ගී පදවලට පෙරළූ සොඳුරු ගී පද රචකයකුගේ මතකයන් සමඟ අප හමුවන්නට යැයි අද අප ආරාධනා කළේ බැංකු නිලධාරිනියක වන සාරංගා රණසිංහටයි. සාරංගා යනු අපගේ ගීත කලාවට කිසිදා නොමැකෙන ගී වැඩි සංඛ්‍යාවක් තිළිණ කළ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ වැඩිමහල් දියණියයි. පත්‍ර කලාවේදියකු හා ගී පද රචකයකු වූ අජන්තා රණසිංහ නම් තම ආදරණීය පියා ගැන ඈ හිත තුළ ඇති ආදරය, සෙනෙහස අපට දැනෙන්නේ ඇගේ නෙත් අග දිලිසෙන කඳුළු ද සමඟින්ය. මීට සත් වසකට පෙර අජන්තා රණසිංහයන් අප අතරින් වියෝ වන විට ඔහු ලියූ ගීතයක් නොගැයූ ගායන ශිල්පියකු ශිල්පිනියක නැති තරම්ය. එතරම් විශාල ගීත සංඛ්‍යාවක් අතර තමන් වෙනුවෙන්ම තාත්තා ලියූ ගීතය ගැන කියන්නැයි අපි සාරංගාට ආරාධනා කළෙමු.
“තාත්තා, අම්මා, මා සහ මල්ලි අතර තිබුණේ පුදුමාකාර බැඳීමක්. ඒක හරිම ආදරණීයයි. ඉතා කුඩා කාලයේදීම තාත්තා ලියූ ගීත ගුවන්විදුලියෙන් ඇසුණා. පත්‍ර කලාවේදියෙකු ලෙසත්, ගී පද රචකයකු ලෙසත් තාත්තා ඉතා කාර්යබහුල අයකු බව අපට දැනුණා. ඒත් හැකි සෑමවිටම ඔහු අප වෙනුවෙන් කාලය වෙන් කළා. කවියට කලාවට මාත් බෙහෙවින් ආදරය කළා. ඒත් තාත්තා බලාපොරොත්තු වුණේ අප හොඳින් ඉගෙනගෙන වෙනත් වෘත්තියක නියැලෙමින් කලාවෙහි යෙදෙයි කියලා. නමුත් අප එතරම් ඒ කෙරෙහි යොමු වුණේ නැහැ. තාත්තා ජනප්‍රිය කලාවේදියෙකු වීම තුළ පාසලේදීත් සමාජයේ විවිධ අවස්ථාවලදීත් දැඩිව සතුටු වූ අවස්ථා වගේම දැඩිව දුක් වූ අවස්ථාත් තිබුණා. මා මුලින්ම පාසල් ගියේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට. පසුව විශාඛා විද්‍යාලයට. මට මතකයි එක්තරා අවස්ථාවක විශාඛා විද්‍යාලයේ කලා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනප්‍රිය කලාවේදියෙක් සහභාගි වුණා. ඔහු සිය දේශනයේදී තාත්තාගේ ගීත ඉතා දැඩිව විවේචනය කළා. තාත්තට වගේම තාත්තාගේ නිර්මාණවලට තිබුණු ආදරය නිසාම එය මට ඉතා වේදනාකාරී අත්දැකීමක් වුණා. නමුත් මා එය දරාගත්තා. මේ ගැන පසු කලෙක තාත්තා තමන්ගේ ගීත පොතක සඳහන් කර තිබුණා. ඒ 1984 වසරේ මුද්‍රණය වූ "පහන් දොරින්" ගීත පොතේ පිදුම තුළ.''
ගිරි ශිඛර වන ලැහැබ කටු කොහල ගහණ,
ජීවිත ගිරිදුර්ග තරණයේදී,
මා අත්විඳින අංශුමාත්‍රයක ප්රශංසාවකදී,
ඇතුළු හද චිත්තානන්දය
නේත්‍ර දීප්තියකින් පිළිබිඹු කරමින්
සුරතල් ළදැරියක සේ මා වටා ගැවසෙන
මා උරුම ලබන අවමන් ගැරහුම් අභියස
ඇතුළු හද චිත්ත වේදනාව පූර්වෝක්ත සිනහා දිලිසුම් දෙනෙතින් වසන් කර
යළි යළිත් මා වටා ගැවසෙන
සාරංගා ප්‍රදීපනී මගේ ආදරණීය දියණියනි, එපරිද්දෙන් ඔබ මට
පරාජිත අපරාජිත ගුණය ස්ව සිතින් වින්දනය කිරීමේ හරවත් සදාතනික දහමක් ප්රත්යක්ෂ කළෙහිය
එවන් වූ ඔබේ උතුම් චින්තනයට
පහන් දොරින් උපහාර වේවා!
''තාත්තව හමුවෙන්න උදේ පාන්දර ඉඳන් කලාවේදීන් ආවා. කේමදාස මාමා (ආචාර්ය ප්‍රේමසිරි කේමදාස) පාන්දර හතරට එන්නේ. කොළ පාට කුඩා කාර් එකෙන් ඇවිත් තාත්තව එක්ක යනවා. ගොඩක් කලාවේදීන් තාත්තව හමුවෙන්න එන්නේ හිමිදිරි උදෑසන සිට. 70 දශකයේ නිර්මාණවේදීන් සියල්ලම පාහේ මෙලෙස අපේ නිවසට ආවා කියලා කියන්න පුළුවන්. ඒ අය තාත්තාගේ කාර්යාලයේ සේවය කරන අය ලෙසයි අපට දැනුණේ. තාත්තා දක්ෂ නිර්මාණවේදියෙකු බව දැනුණත් ඔහු මෙතරම් විශේෂ අයකු වග මට වැටහුණේ 2016 වසරෙන් පසුවයි. ඊට පෙර මා මේ වග තේරුම් ගත්තා නම් උදේ හවස ඒ ගැන තාත්තා එක්ක කතා කරන්න, තාත්තව අගය කරන්න තිබුණා නේද? කියලා මට දැනෙද්දී අදටත් දරාගන්න බැරි තරම් වේදනාවක් එනවා."
එවන් සුවිශේෂ නිර්මාණවේදියෙකු වූ තම පියා තමන් වෙනුවෙන්ම ලියූ ගීතය ගැන කතා කරමු දැයි අපි සාරංගා රණසිංහගෙන් විමසුවෙමු.
“මම ඉපදුණේ 1971 දී. මගේ තාත්තගේ හොඳම මිතුරා වූ සනත් මාමා (සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි) තමයි මට නම දාලා තියෙන්නෙ. මේ මා වෙනුවෙන්ම ලියූ ගීතය ලියවී අැත්ෙත් 70 දශකයේ මුල් භාගයේදී. ගීතය ගයන්නෙ මා ඉතා ප්‍රිය කරන ගායන ශිල්පියකු වන ආචාර්ය වික්ටර් රත්නායක.''
සිරිමා බෝ මැඩ මුනිඳුන් වැඩ හිඳ
දස මර සේනා දිනූ බෙලෙන් ජය පැන් කරඬුව දෝත දරා නිදන්න දූ කුමරී...
එය ජීවිතය ජීවත් කරවන ගීතයයි.
''තාත්තා මිය ගිහින් වසරකට පසු මගේ මවත් අප තනිකර මෙලොවින් සමු ගන්නවා. මාත් මල්ලිත් ජීවිතයේ ඇති කුරිරු වේදනාබර බව සමඟ දැඩිව පෙළෙද්දි මේ ගීතය සැබෑම ආශිර්වාදයක් වුණා. ඉතාමත් දුක හිතෙන, තනිකම දැනෙන රාත්‍රීන් කීයකදී මම මේ ගීතය අහන්න ඇතිද? කියලා කියන්න බැරි තරම් වාර ගණනාවක් මේ ගීතය මා අසා ඇති. තාත්තා මට කොතරම් ආදරේ කළාද? ඒ ආදරය මගේ ජීවිතයට කොතරම් ආශිර්වාදයක් වූවාද? තාත්තා නැතිව, අම්මා නැතිව ගෙවෙන මේ කටුක, දුෂ්කර ජීවන චාරිකාවේ තාත්තගේ ආශිර්වාදාත්මක වචන මගේ ජීවිතයට ශක්තිය අරන් එනවා."
රටක ආදරය දිනූ පියෙකුගේ එකම දියණිය වූ සාරංගා තම පියා තමන්ට ලියූ ගීය මෙලෙස අගයද්දී, එකී ගී පද අතර තම දියණිවරුන්ගේ සුරතල් මුහුණු මැවෙන පියවරුන් මෙලොව තව කොතෙක් ඇත්දැයි මට සිතුණා. නිර්මාණයක් යනු එයම නොවේද? අජන්තා රණසිංහ නාමය මෙරට ගීත සාහිත්‍යයේ සුවිශේෂ නාමයක් වනුයේ ඒ නිසාම නොවේද?
♦ මොනිකා සේරසිංහ
සේයාරූ I අන්තර්ජාලයෙන්