2023 ජුලි 08 වන සෙනසුරාදා

උදේට ඇහැරෙද්දී ලෝකයම වෙනස්!

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 86

මේ දවස්වල තාක්ෂණික ලෝකයත් එක්ක ඉන්න Youth එකේ ලොකුම Y Trend එක මොකක්ද කියලා දන්නවද? එයාලා ඒක හඳුන්වන්නේ අකුරු දෙකෙකින්. ''AI'' තමා මේ අලුතම Trend එක. ඒක නම් පට්ට පිස්සුවක් පත්වෙමින් තියෙන්නෙ මචෝ. AI කියන්නෙ Artificial intelligence කියන එකට. තේරෙන සිංහලෙන්ම කිව්වොත් වස්තු, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ තාක්ෂණයට තමා මේ වෙනකොට මුළු New Generation එක පිස්සු වැටිලා ඉන්නෙ.

මෙතැන තියෙන ටෙක්නිකල් හරිම කෑල්ල සංකීරණ සීන්කෝන් එකක්. ඒනිසා ඒ ගැන අපි ලොකුවට කතා කරන්න යන්නෙ නෑ. අද අපි සුදාලත් එක්ක කතා කරන්න උත්සාහ කරන්නේ Artificial intelligence කියන සීන්කෝන් එක Young Generation එකේ පිස්සුවක් වීම ගැන. ඒ වගේම මොනවද AI එක්ක මේ දවස්වල Trend වෙලා තියෙන්නෙ කියන එක ගැන. අනික් පැත්තෙන් මේකෙ තියෙන තියෙන හොඳ නරක ගැනත් ටිකක් අපි කතා කරන්න ඕනෑ.

සුදාලා '80-'90 දශකවල ළමා කාලය ගතකළා නම් ඒ කාලේ ඉංග්‍රීසි කාටූන්වල, චිත්‍රපටවල, ළමා කතාවල දැකලා ඇති කතාකරන මනුස්සයෙකුට වගේ හිතන්න පතන්න පුළුවන් කොම්පියුටර්ස් ගැන කතා. ඒ තමා අපි මුලින්ම දැකපු කෘත්‍රිම බුද්ධිය ගැන එක එක කතන්දර. ඔන්න මචෝ ඒ දේවල් හිමිහිට ඇත්ත වෙන තැනට Technology එක Develop වෙලා. මේ මොහොතේ ලෝකෙ තාක්ෂණය ලොකු පිම්මක් පනින්න ඉන්නේ. ඒකට හේතුව Artificial intelligence සම්බන්ධව සිද්ධවෙන පරීක්ෂණ.

කෘත්‍රිම බුද්ධිය කියන දේ ගැන විද්‍යාත්මකව හා තාක්ෂණිකවත්, දාර්ශනික හා සාමාජීය වශයෙනුත් පැහැදිලි කරන එක අමාරු වැඩක් මචෝ. ඒ සරලව කිව්වොත් මිනිසෙකුට සිය චින්තනය උපයෝගී කරගෙන කළ හැකි දේ කරන්නට පුළුවන් පද්ධතිය නිර්මාණය කිරීම කෘත්‍රිම බුද්ධිය සොයායාම විදිහට හඳුන්වන්න පුළුවන්. මේ ගැන ලොකු නිර්වචන පැහැදිලි කිරීම් ගොඩක් තියෙනවා. මේ වගේ එම දශක ගණනාවකින් නම් මේ සම්බන්ධව ලෝකය අඛණ්ඩව පරීක්ෂණ කරනවා. ඒත් 2023 තීරණාත්මක අවුරුද්දක්.

කොහොමහරි පහුගිය දවස්වල අපේ කෙල්ලො කෙල්ලො කොල්ලො ටික නම් පිස්සු වැටුණේ ChatGPT කියන කෘත්‍රිම බුද්ධි වැඩසටහනට. ChatGPT කියන්නේ මචෝ OpenAI සමාගම විසින් GPT (Generative Pre-Trained Transformer) ලෙස හඳුන්වලා කෘත්‍රිම බුද්ධි වැඩසටහන් මාලාවක නවතම නිමැයුමකට. මෙතැනදී අපිත් එක්ක චැට් කරන්නෙ චට්බොට් කෙනෙක්. එයාට පුළුවන් අපි අහන ප්‍රශ්නවලට උත්තර ලබාදෙන්න. අපි ඉල්ලීම් ඉටු කරන්න. සරලවම කිව්වොත් පත්තරේකට ගැලපෙන ලිපියක් වුණත් එයාට ලියන්න පුළුවන්.

මෙතනට විතරක් නෙවෙයි මේ තාක්ෂණය තවත් බොහෝ ක්ෂේත්‍රවලට වේගයෙන් භාවිත වෙන්න පටන් අරගෙන තියෙනවා සුදෝ. දැන් චිත්‍ර අඳින්න පුළුවන් කෘත්‍රිම බුද්ධියක් තියෙන වැඩසටහන් පවා තියෙනවා. ඒ වගේම වෛද්‍ය සේවා සපයනු කෘත්‍රිම බුද්ධි වැඩසටහන්, Graphic, Video editing වගේ දේවල් කරන්න පුළුවන් කෘත්‍රිම බුද්ධි වැඩසටහන් නිර්මාණය වෙලා තියෙනවා.

සරලවම කිව්වොත් වෛද්‍ය විද්‍යාව, ප්‍රවාහනය, රොබෝ විද්‍යාව, අධ්‍යාපනය, හමුදාව, නිරීක්ෂණ, මූල්‍ය නියාමනය, කෘෂිකර්මය, විනෝදාස්වාදය, සිල්ලර වෙළඳාම, පාරිභෝගික සේවා එතකොට නිෂ්පාදන කියන සියලුම ක්ෂේත්‍රවල AI තාක්ෂණය දැන් සක්‍රීය භාවිත වෙනවා.

මේ දේවල් වේගයෙන්  කරළියට එන හින්දා තමා මේ සීන් එක තේරුණේ පිස්සුවක් බවට පත්වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම තාරුණ්‍යය පිස්සු වැටිලා තියෙන්නෙ Entertainment පැත්තේ සිද්ධවෙන වැඩ කිඩවලට. විවිධ මැජික් වගේ දේවල් කරන්න පුළුවන් වෙබ් අඩවි ගැන මේ වෙනකොට YouTube, TikTok Reviews වැහි වැහලා. උදාහරණයක් විදිහට පිටපතක් දීලා කතා කරන්න සලසන්න පුළුවන් ඔයා වගේම බොට් කෙනෙක් වුණත් හදාගන්න දැන් පුළුවන්.

දැන් මේ AI තාක්ෂණය ලොකු ලොකු සමාගම් පවා භාවිත කරන්න පටන් අරගෙන. අපි කවුරුත් දන්න adobe සමාගම කෘත්‍රිම බුද්ධිය තමන්ගේ වීඩියෝ එඩිට් Video editing , Photo editing කරන්න Software වලට භාවිත කරන්න පහුගිය දවස්වල පටන් ගත්තා. ඒකටත් ඔන්න අපේ ලංකාවේ Young Generation එක පිස්සුව වැටිලා ඉන්නෙ.

එහෙම බැලුවම සුදෝ චූටි චූටි ආතල් දේවල්වල ඉඳගෙන ලොකු ලොකු මහා පරිමාණ දේවල් දක්වා මේ කෘත්‍රිම බුද්ධි විප්ලවය පැතිර යමින් තියෙන්වා. තාක්ෂණය ගැන පුංචි හරි ඉවක් තියෙන කොල්ලෝ කෙල්ලෝ මේ සීන් එකට පිස්සු වැටිලා ඉන්නෙ ඒ නිසා. ඒ වගේම ඩොලර් බිලියන ට්‍රිලියන ගණන්වල ආයෝජන මේ වෙනකොට ලෝකෙ පුරා මේ හා සම්බන්ධව සිද්ධවෙමින් තියනවා. උදාහරණයක් කිව්වොත්, අපි කවුරුත් දන්න Google ආයතනයට අභියෝග කරන්න Microsoft එක OpenAI එක්ක එකතුවෙලා ලොකු සැලසුමක් ගහනවා කියන එක දැන් ලෝකෙම කතා වෙන සීන් කෝන් එකක්.

කොහොම වුණත් මේ Trend  එකත් එක්ක ලෝකෙ පුරා පැතිර යන ලොකුම බය තමයි, කෘත්‍රිම බුද්ධිය ලෝකයා ආක්‍රමණය කිරීමත් සමඟ මිනිසුන් මිලියන බිලියන ගණනකට තමන්ගේ වෘත්තීය අහිමි වෙන්න පුළුවන් කියන සීන් එක. දැනට මිනිස්සු කරන ගොඩක් වෘත්තියෙන් කරන්න කෘත්‍රිම බුද්ධියට පුළුවන් වුනොත් අනිවාර්යෙන්ම මචෝ එතන ලොකු ගැටලුවක් ඇතිවෙනවා. දැනටමත් යම් යම් ක්ෂේත්‍රවලදී ඒ තත්ත්වය මතු වෙන බව පේන්න තියනවා සිරාවටම.

මේ සම්බන්ධව ලොකුවට කතා කිරීම විචාර කිරීම තර්ක කිරීමත් මේ දවස්වල Technical ලෝකෙ ඇතුළේ ඉන්න Yong Generation එකේ Trend එකක්. මෙතනදී මචෝ සමහරු කියන විදියට AI මේ එන්නේ අක්‍රමවත් ගමනක්. කොහොම වුණත් මේක ක්‍රමිකව මුළු ලෝකෙම ගිල ගන්න පුළුවන්. එයාලා කියනවා එහෙම වුණොත් මානව ශිෂ්ටාචාරය අවසන් කාල පරිච්ඡේදය තමයි මේ ගෙවෙන්නේ කියලා. අවසානය කෙසේ වෙතත් මචෝ මේ තාක්ෂණයත් එක්ක ඉදිරියට ගියොත් නම් මානව ශිෂ්ටාචාරයේ ලොකු පරිවර්තනයක් වෙයි කියලා අපිට හිතෙනවා.

අනික් පැත්තට මේ වැඩසටහන් වැරදි මිනිස්සු වැරදි වැඩ වෙනුවෙන් භාවිත කරන්න පටන් ගත්තොත් පොත් භයානක දේවල් ලෝකෙ පුරා සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැනත් ලොකු සංවාදයක් මේ වෙනකොට තියෙනවා. කොහොම වුණත් ඕනම සොයා ගැනීමක ඕනෑම තාක්ෂණය එක හොඳ වගේම නරක පැත්තක් තියෙන බව අපි කවුරුත් පිළිගන්න ඕන මචෝ.

අවසාන කියන්න තියෙන්නෙ අපේ සුදාලා ළමා ළපටින් වුණත්, කෙල්ලො කොල්ලො වුණත්, වැඩි හිටියේ වුණත් කමක් නෑ. මොන වයසෙ ඔයාලා හිටියත් මේ AI සීන් කෝන් එක ගැන අවධානයෙන් ඉන්න. නැත්තම් ඔයාලා හෙට උදේට අවදි වනකොට ලෝකයේ ඔයාලා නොදන්න තැනක් බවට පරිවර්තනය වෙලා තියෙන්න පුළුවන්. ඒ තරම්ම මේ ගමන වේගවත්.

♦ නිසල්
සේයාරූ I අන්තර්ජාලයෙන්