2023 ජුලි 08 වන සෙනසුරාදා

ඇසට අසුවන මායිමේ ගීතය කරද්දි අප්පච්චි වෙච්ච මහන්සිය අමතක කරන්නම බෑ... - ගයාමන් දිසානායක

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 91

අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුස ගින්නේ
ඉඳ හිනැහෙන්නේ
අපේ අප්පච්චි

නුවර කලාවියේ ඉරිතලා ගිය මහ පොළොව හා ඔට්ටු වෙමින් ජීවන සටනෙහි නිරත පියෙකු අප සිත තුළ මවන ඒ පදවැල් ඔහුගේය. ගුරුවරයෙකු සාහිත්‍යධරයකු වූ තම පියා සිංහල ගීත කලාව පෝෂණයට දුන් දායකත්වය තුළ තම සිත්ගත් ගීතය ගැන කතා කරන්නට අද අප හමුවන්නේ වෛද්‍යවරයෙකි. දෙනියාය මූලික රෝහලේ විකිරණවේදී විශේෂඥ වෛද්‍ය ගයාමන් දිසානායක සමඟ මේ කතාබහ ඔහුගේ ආදරණීය පියාණන් වන ප්‍රවීණ ගී පද රචක මහින්ද දිසානායකයන් ලියූ ගී අතර හිතට වඩාත්ම දැනුණු ගීතය සොයා යාම වෙනුවෙන්ය. 

''අපෙ අම්මයි අප්පච්චියි දෙදෙනාම ගුරුවරුන්. මාත්  නංගීත් පමණයි පවුලේ හිටියේ. මට මතක ඇති කාලයේ සිටම අප්පච්චි තමයි පාසලේ ඕනෑම සභාවක කතාවක් කළේ. ඒ විතරක් නෙවෙයි විවිධ නාට්‍ය දර්ශන ආදිය පවත්වන විට ආරම්භයේ දී ඒ නිර්මාණය ගැන පැහැදිලි කළෙත් අප්පච්චි. ඔහු සාහිත්‍ය පිළිබඳ මනා කියවීමක් හැදෑරීමක් සහිත නිර්මාණවේදියෙකු බව කුඩා කාලයේදීම මට දැනුණා. අප්පච්චිගේ උපන් ගම දුනුමඩලාව. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හමාර කළ අප්පච්චිගේ මුල්ම පත්වීම ලැබී තිබෙන්නේ මොනරාගල ඔක්කම්පිටිය ප්‍රදේශයේ පාසලකට. එහිදී තමයි අම්මව හමුවී විවාහ වී තිබෙන්නේ. ඉන්පසු අනුරාධපුරයට ඇවිත් පදිංචි වෙලා තිබෙනවා. අම්මා ස්වර්ණමාලි බාලිකාවේ තුන්වැනි ශ්‍රේණියට ඉගැන්නුවා. අප්පච්චි අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල සාහිතය ඉගැන්වීමේ යෙදුණා. අප්පච්චි විශ්‍රාම ගියේ පළාත් සිංහල විෂය අධ්‍යක්ෂවරයා ලෙස. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එහෙම අප්පච්චිගේ ශිෂ්‍යයන්. මට හොඳට මතකයි ඉස්සර ඉස්කෝලේ වෙනත් විෂය ධාරාවන් හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා අප්පච්චිගේ සිංහල සාහිත්‍ය විෂය කාලපරිච්ඡේදයෙදි තමන්ට නිදහස් නම් පන්තියට ඇවිත් අප්පච්චි උගන්වනවා අහන් ඉන්නවා. ආපන ශාලාවේදී ළමයි ඔහු ලියූ ගීත ගැන කතා කරනවා. ප්‍රශ්න අහනවා. ඔහු ගැන ඔහුගේ නිර්මාණ ඔස්සේ බොහෝ දෙනා හඳුනාගෙන සිටි බව එවිට මට දැනුණා.

මහින්ද දිසානායකයන් සිංහල ගීත සාහිත්‍ය පෝෂණය කළ සාහිත්‍යවේදයකි. රජරට සුවඳ තැවරුණු ඔහුගේ නිර්මාණ මෙරට රසිකයෝ ඉතා ආදරයෙන් වැළඳගත්හ. එවන් පියෙකුගේ පුත්‍රයා වූ ගයාමන් විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දී උතුරු මැද පළාතේ ප්‍රථමයා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරී පත්වූ අතර ඔහු ගීත රචනා කරමින් රසික සිත් දිනා ගත්තෙකු බවටද පත් විය. ක්‍රිෂාන්ත එරන්දක ගැයූ ''අව්වේ මුතු ඇට වපුරා'' ගීතය ''මන්දාරම් අඳුර මැදින්'' ගීතය එසේ ඔහු ලියූ රසිකයින් වැළඳගත් ගී අතර ඉහළින්ම රුඳුණු  ගීතය. ඊට අමතරව තවත් ගීත ගණනාවක් ඔහු රචනා කර ඇති අතර ඉන් කිහිපයක් ඔහුගේ හඬින්ම පටිගත කර තිබීමද විශේෂත්වයකි.

''උදේම පාසලට ගිහින් ගෙදර ඇවිත් හවසට ටිකක් නිදාගන්න එක අප්පච්චිගේ පුරුද්දක්. මුල්ම කාලේ අම්මයි අප්පච්චියි මමයි අප්පච්චිගේ මෝටර් සයිකලේ එකටයි පාසල් ගියේ. මා ඉපදී වසර හයකට පසු නංගි ඉපදුනා. ඉතින් ඇය පාසල් යාම ඇරඹුවාම අප්පච්චි නංගිව එක්කගෙන මෝටර් සයිකලේ පාසලට ගියා. අම්මයි මායි පාසල් බස් රථයෙන් ගියා. අප්පච්චිගෙ තිබුණ සුපුරුදු දින චර්යාවේ එක් කොටසක් තමයි හවසට රජරට සේවයට යාම. ඒ ගමන්වලට රුගෙන ගියේ මාව. ස්වරණශ්‍රී බණ්ඩාර, ගුණදාස කපුගේ, මහින්ද චන්ද්‍රසේකර, ජයතිලක බණ්ඩාර, කරුණාරත්න දිවුල්ගනේ, ජෝතිපාල තෙබුවන ආදී චරිත මට හමුවන්නේ එහිදීයි. කලාව දේශපාලනය පිළිබඳ වූ සංවාද, ගීත පටිගත කිරීම් ආදිය සමඟ ඒ කාලය ගත වුණේ. ඔවුන් නිර්මාණ කළේ අත්තම් ක්‍රමයට. අද අප්පච්චිගෙ ගීතයක්, හෙට මහින්ද මාමගෙ (මහින්ද චන්ද්‍රසේකර) ගීතයක් ආදී ලෙස. අඩුපාඩු කතාකරමින් ඒවා නිවැරදි කරමින් ඉතා සුහදව ඔවුන් නිර්මාණකරණයේ යෙදුණා. ''ඇසට අසුවන මායිමේ'' කරද්දි සාකච්ඡා වට ගණනාවක් තිබුණා. පද සංගීතය ආදිය ගැන කතා කළා. මේ ගොඩක් තැන්වල අප්පච්චිගේ සාහිත්‍ය දැනුම මැනවින් දැක ගන්න ලැබුණා. ඔහුගේ අදහස් වලට ප්‍රවීණයන් පවා ගරුකළා. සමහරවිට ඔහුට වඩා වැඩිමල් අයත් අප්පච්චිට මහින්ද අයියා කියලා කතා කළා මට මතකයි . කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේදී ''ඇසට අසුවුන මායිමේ'' පටිගත කළේ. හොස්ටල් එකට ඇවිත් අප්පච්චි මාව එක්කරගෙන ගියා ස්ටුඩියෝවට. අප්පච්චි  ලියූ ගී අතරේ මා කැමතිම ගීතය තමයි විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කොට ගයන ''ආවාදෝ සංසාරේ'' ගීතය. 1983,84 ගීතය ලියවුණේ. අප්පච්චි 1979 සිට ගීත ලිව්වා. මුලින්ම ජනප්‍රිය වුණේ ''රුවක් ඇදෙනවා'' ගීතය. ඉන්පසු තමයි ආවාදෝ සංසාරේ ආවේ. ඒ දවස්වල නිවසේ තිබුණේ බැටරි දාන රේඩියෝ එකක්. ඉතින් මේ ගීතය ඇහෙද්දී හරිම සතුටුයි. ඉන්පසු ඔහුගේ ගීත කොතරම් ආවාද? ඒත් මා කුඩා කාලයේදී මට දැනුණ මගේ සිත සතුටින් ආඩම්බරයෙන් පිරෙව්ව ගීතය තමයි එය. එහි පද සංගීතය ගායනය යන ත්‍රිත්වයටම මං කැමතියි. එහි අර්ථය තුළ ගැබ්ව ඇත්තේ ලද දෙයින් තුටුවීම ගැන.  නිබ්බුත පද ලෙසයි එය ''ඇසට අසුවන මායිමේ'' සංයුක්ත තැටිය තුළ නම් වුණේ. අපේ ජීවිතය ගත හොත් ලද දෙයින් සතුටු වීමට වඩා නොලද දෙයට දුක් වීමයි තිබෙන්නේ . කිසා ගෝතමිය නිබ්බුත පද වලදී කිව්වේ ඔබ වන් පුතෙකු ලද මවක් පියෙක් , ඔබවන් සැමියෙකු ලද බිරිඳක් නිවුනාවේ කියලනෙ. ඒ වගේමයි මෙහි කියවෙන්නේ.

කතරේ වාලුකා පෑයුමෙන් වේලුනා 
වැහැලා ඒ බිමේ මී මලක් පීදුනා 
සිහිල ලබා සිහිලැල්ලේ 
නිවී ගියා නිවී ගියා ..... ලෙසයි.

තමන්ට හිමි වූ දෙය තුළ ලබන සන්තුෂ්ටිය අප ජීවිතයට කොතරම් අගේද? අනෙක් කාරණය  මේ ගීතය වසර හතළිහක් ගත වුණත් අදටත් දැනෙනවා. සංගීතය තාක්ෂණය ඉතා උසස් ලෙස මෙයට ලැබුණා. අද නිර්මාණය වූවක් ලෙස එය මට විඳින්නට පුළුවන්''

වෛද්‍ය ගයාමන් දිසානායක තම පියාණන් හා ඔහු ලියු ගී අතර තමන් කැමතිම ගීතය ගැන හදසරට කිව්වේ එහෙම.

I මොනිකා සේරසිංහ