2023 ජුලි 08 වන සෙනසුරාදා

ඉසිවරයකු වූ ගාන්ධර්වයා ආචාර්ය පණ්ඩිත් අමරදේව

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

කලාවේදියා ඔහු උගත් ශාස්ත්‍රය තුළින් තුන් කල් දක්නා නිර්මාණ බිහි කරන්නේය. එබඳු කලාකරුවකු එක් මනුෂ්‍යාත්මභාවයකට, එක් කාලයකට, කුලයකට හෝ දහමකට අයත් වූවකු නොවේ. ඔහු පිපී ඇත්තේ ඔහුගේ දේශයේ ඔහුගේම මිනිසුන්ගේ සෝ සුසුම් හා හසරුල් තුළිනි. ඔහුගේ නිර්මාණ තුළින් විවිධ අනුභූතීන් වහනය වෙයි. අපේ සිත්සතන් වශී වන්නේ එකී චමත්කාරයෙනි. එබඳු නිර්මාණ රසවිඳින සෑම හදවතක්ම තවත් සුවහසක් හදවත් වෙනුවෙන් හඬන්නට වරම් ලබයි. ජීවිතය දෙස පිරුණු මනසින් යුතුව බලන්නට හුරු වෙයි.

සියලු කලාවන්ගේ පරම නිර්වාණය ලෙස ගැනෙන සංගීතයෙහි උතුම් හරය නොකෙලෙසා එලෙසින්ම රැකගන්නට උත්සුක වූ පණ්ඩිත් අමරදේවයන්ගේ තුන් කල් දක්නා ඉසිවර නුවණ ඔහුටම ආවේණික සංගීත දර්ශනයක් ගොඩනංවන්නට සමත් විය. ශ්‍රී ලාංකික සංගීතයේ වර්ධනීය අවස්ථාවන් රැසක්ම බිහි කොට එහි නිම්වළලු තව තවත් ඈතට රැගෙන ගිය අමරදේවයන් මෙරට සංගීතයේ එක් යුගයක් බවට පත් විය.

1927 වර්ෂයේ දෙසැම්බර් පස්වැනි දින කොරළවැල්ලේදී වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් මෙලොව එළිය දුටු ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ 2016 නොවැම්බර් 16දා ලොවින් සමුගත්හ.

I ඡායාරූප: ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා