කාලය හරහා ආලය සොයා යන වෙනස්ම වෙනසක්! මිදුණු විශ්වය
අවැසි වැසි නොවැසි සඳ
නොවැසි වැසි අවැසි සඳ
ආදරයක්! ප්‍රේමයක්! ස්නේහයක්! ආලයක්! පිස්සුවක්! අස නැවතුණෙමි. මොහොතක් ළතෙත් බව තවරාන හාදුවක් වගුරුවා නළල මත ප්‍රේමය වනාහි සාංසාරික කතාන්දරයක් බව කියා දෙන හදගැස්මක් පිරිමි පපුවක් තුඩින් තුඩ කනිමින්, හාරමින්, අවුස්සමින්, විඳිමින් සොයන ආදරණීය ගැහැනියකගේ ස්නේහයේ සෙවුම, බලාපොරොත්තුව සහ ආත්මීය ආලය මිදුණු විශ්වය තුළ මට පළමු වරට මුණගැසුණි.
ඩන්කන්... ඒ ඔබය.
මම තෝව මරණවා...
ඒ තරම් ප්‍රේමණීය සංධ්වනියක් මා මින් පෙර අසා නැත. පිරිමි පපුවක ගැඹුරුතම ඉසව්වෙන් කැලතී පෙරී විත් වත්කර ගැහැනියකගේ ආත්මයම සනහාලන අතිශය රළු සහ අතිශය මෘදු ප්‍රේමය ඒ වචන විනිවිද මම සිප ගනිමි.
මරපන්...
හැබැයි මගේ අන්තිම හුස්මෙදිත් මම උඹව ඉඹිනවා. මම උඹව ඉඹිනවා ඩන්කන්...
ආදරණීය බව සඟවාන, එහෙත් මහ මෙරකටත් එහා අනන්තයකට ආදරය විදාහල, නාහෙට නාහන දඩබ්බර, විසේකාර, අනුරාගී, සොඳුරු, ගැඹුරු, හිතුවක්කාර, අරුම නරුම, ඒත් පුදුම භාව සමුදායක් මැද මෙතෙක් මට හමුවූ පුදුමාකාර සුන්දරම පිරිමියා යනු මිදුණු විශ්වයේ ඩන්කන්ම මිස අන් කිසිවෙකුත් නොවේ. ප්‍රේමණීය ගැහැනියක් ඇතුල් හදවතින් නොඉල්ලමින් ඉල්ලන පිරිමියෙකු සිංහල සිනමාරූපී රූපකාරකයක් තුළ මට හමුවන්නේ පළමු වරටය.
මම තෝව මරණවා...
මම ආයෙත් ආයෙත් ආයෙත් කියන්නෙ වරෙන් මරපන්, ඒත් මගේ අන්තිම හුස්ම තෙක් මම උඹව ඉඹිනවා ඩන්කන්. නිය තුඩක අග්ගිස්සෙත් ආදරයම ගල්වාගෙන ඒ පිරිමි ආදරය සම්, මස්, ලේ, නහර, ඇට මිදුළු විනිවිද මට දැනෙන වාරයක් වාරයක් වාරයක් පාසා ඩන්කන් මම උඹගෙ පපුව හූරමින් අංශුමාත්‍රික ප්‍රේමයක්, සැනසිල්ලක්, ඉසිඹුවක් හොයනවා නවතින්න.
ඩන්කන් උඹ නිවන්නෙ සුවහසක් ලාංකික රසිකාගාරයක සිනමාමය පිපාසය විතරක් නෙවෙයි, උඹ කදිම උත්තරයක් දීලා තියෙන්නෙ සිනමාරූපී ප්‍රස්තුතයක, රංගනයක, වින්දනයක් සෙවූ ලාංකික සිනමාමය රසිකාගාරයේ හිස්තැනට විතරක් නෙවෙයි. සල්ලාල, රස්තියාදුකාර කුමාරයෙකුට රජ වෙන්න ළය ලෙයෙහි උපන් ආදරයේ පටන් තමන් සන්තක සියල්ල දන් දී අවසානයේ ජීවිතයම හිස්තැනක් කරගත් ආදරණීය ගැහැනිය කුවේණියගේ ඉඳන් අද්‍යතන ගැහැනිය දක්වාම පිරිමි පපු අස්සෙ ආදරයක්, ප්‍රේමයක්, රුකවරණයක් සහ සුරකින සුරක්ෂිත ආරක්ෂකයෙක් සොයන ගැහැනුන්ගේ ආධ්‍යාත්මික හිස්තැනක් ඩන්කන් උඹ පුරවන්නේ. විචිත්‍රවත් සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි මිදුණු විශ්වය ඔස්සේ ඩන්කන් වැනි ගැහැනියක ඇතුල් හදවතින් ඉල්ලා හිඳින දරදඬු, ප්‍රේමණීය, රොමන්තික නිය තුඩක් පාසා හිරිවට්ටන උන්මාදනීය ආදරවන්තයා ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් මම මගේ පළමු මල් මිට තබමි.
ආදරය යනු ආදරයම මිස අන් කවරක්ද? ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක්ද? ආලය යනු ආලයම මිස අන් කවරක්ද? ඉඳින් කාලය යනු එක් තීරකයක් පමණි. සන්ධ්‍යාව එක් තැනකය. සන්ධ්‍යාවේදී ඇස් නොහරින හිමිදිරිය තවත් තැනකය. එහෙයින් කිසිදා ඒ දම් පාට සන්ධ්‍යාවට රන්වන් හිමිදිරිය හමු නොවන බව සත්‍යයක්මය. එහෙත් හමු නොවූ පමණින් ප්‍රේමය නොදැනේද? නොදනීද? කියන්න මට. ප්‍රේමය දැනෙන්නේත් ඇතිවන්නේත් කිසිදා අත් නොහැරෙන්නේත් හදවතේ යායෙන් යායට දළුලන්නේත් ප්‍රේමය යනු ප්‍රේමයම වූ සත්තාවක් තුළය. මා අදහන, මා විශ්වාස කරන, මා ආදරය කරන එකම දෙවියන් වහන්සේ සොබාදහමයි. ඒ තරම් ප්‍රේමය විෂයෙහි තවත් චමත්කාරවත් සංනිදර්ශනයක් නැත. චමත්කාරය යනු සියලු සෞන්දර්යන්ගේ හරය එක්වූ තෝතැන්න නම් ප්‍රේමය යනු චමත්කාරය උදෙසා සොඳුරුතම සහ ප්‍රබලතම සංනිදර්ශනයයි. ප්‍රේමය ආත්මීය ආලයක් වී හමුවිය නොහැකි තත්ත්පරයන්හිදීද හුස්මක් වී ළය ලෙය අවුස්සමින් සරන විට, සිරුරට සිරුරක් හමු නොවී හදවතට හදවතක් හමුවන තැන ප්‍රේමයේ ප්‍රකාශනය සෙල්ලිපියක් සේ නොවෙනස්ව හොයාගෙන හොයාගෙන හොයාගෙන ආ කල්හි අවසඟව යනු කෙලෙසද? කාලය හරහා ඒ ආලයේ යාත්‍රාව ඉඳින් පැද යනු නොහැකිද? සිනමාව තුළ සොඳුරුතම ප්‍රස්තුත සොයා යන ජයන්ත චන්ද්‍රසිරි සිනමාවේදියා මිදුණු විශ්වය තුළ දිගහරින්නේද, ඒ දිගහැරුම තුළ අප කැටුව යන්නේද එවන් සිනමාමය ප්‍රකම්පනයක් තුළටය.
මිදුණු විශ්වය සිනමා රූපකාරකයෙහි මා ප්‍රබලම රංගන සනිටුහන් වීම දකින්නේ ඩන්කන්ගේ චරිතය තුළය. ඩන්කන්ගේ චරිතය සමඟ පුදුමාකාර ආත්මීය ආලයකින් හුස්ම ගන්න, සැරිසරන රංගනමය ප්‍රතිභාවක් හා ඩන්කන් චරිතයටම සරිලන අනන්‍යතාවක්, ශෛලියක්, මෝස්තරයක්, ස්වරූපයක් සහ රිද්මයක් සහිත වෙනත් නළුවෙකු සිංහල සිනමාව තුළ මගේ දැක්මට හසු නොවන වග අවංකවම සහ නිර්ලෝභීව මම ලියා තබමි. රඟපාන නළුවන් විශ්ව රංග තලය තුළ විරල නොවේ. එහෙත් චරිතයක් හා ප්‍රාණයෙන් වෙලී, බැඳී, දත් මිටි කමින් හුස්මක් හුස්මක් ගානේ ඒ චරිතය ඉඹින, ස්පර්ශයෙන් ඔබ්බට ඒ චරිතය තුළ ඇවිදින රංගධරයන් අතිශය විරලය.
ඩන්කන්ට ජීවාත්මයක් දෙන බුද්ධික ජයරත්න යනු සිංහල සිනමාව තුළ මා දකින එවන් සුවිශිෂ්ටයෙකි. එහෙත් සිංහල සිනමාව යන රාමුව තුළ බුද්ධික ලඝුකරණය කරන්නට සිනමාවට මා තුළ ඇති අසීමිත ප්‍රේමය මට ඉඩ නොදේ. මක් නිසාද යත් ඔහු ලාංකික සිනමාවෙන් ඔබ්බට විශ්වීය සිනමාව අතික්‍රමණය කරන්නට තරම් සිනමාමය කාමයකින්, ප්‍රේමයකින්, බැඳීමකින් හා ප්‍රතිභාවකින් ආත්මය සාංසාරිකව පුරවාගත් රංගධරයෙක් ලෙස මගේ සිනමාමය කියවීමට හසුවන නිසාමය. බුද්ධික ජයරත්න යන රංගවේදියා කඩවසම් නළුවන් යන වර්ගීකරණය තුළ මා දකින කඩවසම් පිරිමියෙක් හෝ නළුවෙක් නොවේ. එහෙත් වඩාත් සුන්දර වන්නේත්, වඩාත් ආකර්ෂණීය වන්නේත්, වඩාත් සිනමාරූපී වන්නේත් කඩවසම් පිරිමියා නොව, අමුතු, දඩබ්බර, විසේකාර, හිතුවක්කාර, රස්තියාදුකාර එහෙත් රළු, ආදරණීය පිරිමිකමක් මුදාහල පිරිමි පෞරුෂයක් තුළ සැරිසරන්නාය. ඩන්කන් චරිතය තුළ බුද්ධිකගේ සැරිසැරීම එතරම් ආකර්ෂණීය වන්නේත් ඩන්කන් යනු ගැහැනු සිත් වශී කරන පිරිමිකමක මෝස්තරයක් බවට පරිවර්තනය වන්නේත්, ඩන්කන් තුළ සැරිසරන බුද්ධික යනු මහ පොළොවේ පය තබා ඇවිදිමින් සොබාදහමත් සමඟ හුස්මක් ගනිමින් ජීවිතය සොයා යන පිරිමියෙකු වන නිසා බවට මා ගොඩනගන තර්කයට මගේ ඇසට හසුවන එක් උදාහරණයක් වන්නේ ඔහු සිගරුට්ටුව ඇඟිලි දෙක අතරට මෘදු ලෙස මැදි කරගෙන හිඳින දර්ශනයන්ය. සියුම් ලෙස උඩු ඇඟිලි පුරුක් ඔහු හසුරුවන චලිතයේ ස්වභාවය, එක් සිගරුට්ටුවක් නිවන පමාවට තවත් සිගරුට්ටුවක් දල්වන්නට තරම් සිගරුට්ටුවට පෙම් නොබඳින පිරිමියෙකු සතු නොවේ. එතරම්ම තාත්වික ලෙස එසේ නොවූ පිරිමියෙකුට සිගරුට්ටුවට පෙම් කළ නොහැකිය. එහි දුම් වළල්ල පිට කරන විට රුදෙන රිද්මයට එතරම් ස්වභාවික චලිතයක් එක් කළ නොහැකිය. ජීවිතය සහ ලෝකය තුළ සොඳුරු රස්තියාදුකාරයකුට මිස ජීවිතය සහ ලෝකය තුළ මතුපිට පා තබා ඇවිද යන්නෙකුට සහකම්පනයේ රිද්මය හැඳිනිය නොහැකිය. මනුෂ්‍ය ජීවිත විනිවිද මානවීය හැඟීම් මානවීය ප්‍රේමයකින් හැඳිනීමට හා කියවීමට නොහැකි මිනිසෙකුට හෝ ගැහැනියකට ආත්ම ආලයක් තවරාගත් ස්වභාවික රිද්මයක් සහිත රංගධරයෙක් විය නොහැකි වග මගේ විශ්වාසයයි. ඩන්කන්ගේ චරිතය තුළින් බුද්ධික සාක්ෂි සහිතව විදාහලේ ඒ සත්තාවයි. මම තෝව මරණවා යන වචන ත්‍රිත්වයට මා මෙතරම් පෙම් බඳින්නේ මා යන සංස්කරණය තුළ සංස්කරණය නොවූ මම යනු මිනිසාගේ ප්‍රකෘතිය හමුවන ඉසව්ව වග මා දන්නා හෙයිනි. රාජිනී නම් රටක් දන්නා නිළියක් වූ තම බිරිඳට ඩන්කන් පිරිමි ගැස්ම ගැස්සුණු නිමේෂයක පවසන්නේ මම තෝව මරණවා යන වාක්‍යයයි. සංස්කරණය නොවූ ප්‍රකෘතිමත් ආදරවන්තයා, ස්වාමියා මම යන පුරුෂාර්ථය තුළ ජීවත් වේ. පිරිමියෙකුට හදවතින්ම තෝ යන ආමන්ත්‍රණයෙන් ඇමතිය හැකි වන්නේ පපුවටම දැනුණු, පපුව පැලෙන්නට තරම් ආදරයක් දැනුණු මගේ නොව මගේම කරගත් ගැහැනියකට මිස වෙනත් ගැහැනියකට නොවේ. ඒ වචනය ප්‍රේමණීය ආමන්ත්‍රණ අතර සුරක්ෂිතම පෙරුම්කායකි. මන්ද යත් ඒ තුළ ප්‍රේමය හා සම්මිශ්‍රණය වන්නේ රුකවලකුගේ භූමිකාවක් තුළින් නිෂ්පන්න ගැස්මයි. මරණවා යන වචනය සම්මුතික මරණය වෙත කැටුව යන මරණයක් පිළිබඳ ඉඟියක් නොවේ. මරණීය, රමණීය රමණයක් උදෙසා ගැහැනියක කැටුව යන සොඳුරු රස්තියාදුකාර පිරිමි පපුවක හදගැස්ම ඉන් ප්‍රකාශිතය. ඉඳින් මිදුණු විශ්වය සිනමා වියමන විචිත්‍රවත් වීම පිටුපස ඇති විචිත්‍රවත් දෙබස් සහ වචන අලංකාරය අමතක කළ නොහැකිය. නිර්වාචික සන්නිවේදනයේදී ඇස්, ඇස් පිහාටු, කම්මුල්, තොල් ආදී ශරීර සංවේදනාවන් තුළින් ඉස්මතු වන සන්නිවේදනයේ දිශානතීන් ප්‍රබල වන්නේ කොතෙක්ද, වාචික සන්නිවේදනයේදී වචනය ප්‍රබල වේ. එය ළතෙත් විය යුතු තැන ළතෙත් විය යුතු අතර රළු විය යුතු තැන රළු විය යුතුය. ඒ රළු බව තුළ යා වුණු ප්‍රේමයේ සංඝටක පෙරී විත් බුබුළු දැමිය යුතු තැන බුබුළක් ලෙසින් හෝ නැගී ආ යුතුමය.
මම තෝව මරණවා... මරපන් මම තෝව ඉඹිනවා යැයි ඩන්කන්ට කියන්නට ප්‍රේක්ෂකයෙක් ලෙස මට සිතෙන්නේ එහෙයිනි.
උදාරි වර්ණකුලසූරිය, උද්දික ප්‍රේමරත්න, චුලක්ෂි රණතුංග ඇතුළු නළු නිළි කැල මිදුණු විශ්වය සිනමා වියමන තුළ තම රංගනයේ උපරිමය ගෙනහැර දක්වන්නට දරන වෑයම ප්‍රශංසනීය වේ. එමෙන්ම සොඳුරු කැමරා හැඩතල මතු කළ කැමරා ශිල්පියා, වේෂ නිරූපණ ශිල්පියාගේ සිට තේ කෝප්පය අල්ලන දර්ශන තලයේ සියලු සගයන් වෙත ආලයේ මල් මිටක් පිදිය යුතුමය. සාර්ථකත්වය යනු අංශුමාත්‍රික සහ විසල්මාත්‍රික වශයෙන් ඒ සියල්ලන්ගේ සොඳුරු වෙහෙසයි. සැබැවින්ම මිදුණු විශ්වය නරඹා ආලය පිළිබඳ සොඳුරුතම ප්‍රස්තුයක මතකයත්, වින්දනයත් ඩන්කන් කෙරේ බැඳි අප්‍රමාණ ප්‍රේමයත් තරම් අවසානයේ මා රැගෙන ආ අන් කිසිවක්ම නැති තරම්ය.
වර්ණ හා කළු සුදු රූප රාමු ද්විත්වය තුළ සංසරණය වන මිදුණු විශ්වයේ කළු සුදු රූප රාමු තුළ මගේ ප්‍රේමය ගැඹුරු වන්නේද කළු සුදු වර්ණ සන්නිවේදනයට සිනමාව තුළදී මා දක්වන ඇල්ම බලවත් වන හෙයිනි. ඒ හැඟීම් සියක් දහසක ප්‍රකාශනයකි.
මම තෝව මරණවා... ඒ මිදුණු විශ්වයේ ආදරණීය මුද්‍රාවයි. ඩන්කන් ඒ මිදුණු විශ්වයේ ළයාදර හුස්මයි. ශුද්ධ වූ බයිබලයට අනුව වඩාත්ම ශ්‍රේෂ්ඨ වන්නේ ප්‍රේමයයි. මිදුණු විශ්වය යනු එවන් දිව්‍යමය ප්‍රේමයක හා පිරිමි පපුවක සම්මුතියෙන් විසම්මුතික චමත්කාර සාර ආදර මුද්‍රාවයි!
I සංජීවිකා
සේයාරූ I අන්තර්ජාලයෙන්