දස හැවිරිදි වියේ පමණ කුඩා ළමයෙකුව සිටියදී මම ගෙවල් අසල තිබූ කොටහේනේ කිංස්ලි සිනමා ශාලාව ඉදිරිපිට පාරේ සිටි වෙළෙන්දෙකු දුටුවෙමි. මගේ වයසේ හා මට වැඩිමහල් ළමයි වට වී ඔහු විකුණන දේ ගැන දැන සිටියෝය. කිංස්ලි හා කැපිටොල් සිනමාහල්වල තිරගතවූ චිත්‍රපටවලින් ඉවත්කර එළියට දැමූ බයිස්කෝප්වල සෙලෝලයිඩ් රීල්පටවල කෑලි ඔහු විකුණයි. ඒ අසලම ඒ රූපරාමුවක් ඇතුළු කර එක ඇසක් වසා බැලිය හැකි පුංචි සෙලෝලයිඩ් සෙල්ලම් බඩුවක්ද තිබුණි.
ඉවතලන සිනමාපටවල රූපරාමු කපා තිබූ අතර ඒවා මේ සෙලෝලයිඩ් පෙට්ටියට ඇතුළු කර බලන විට එහි ඇති කුඩා පළිඟු කණ්ණාඩියෙන් එය ටිකක් ලොකු කර බලාගත හැකිය. චිත්‍රපට කෑලි රුසක් සමඟ ඒ අපූරු කුඩා සෙලෝලයිඩ් පෙට්ටියට වෙළෙන්දා ශත 50ක් අය කළේය. මගේ වැඩිමහල් සොහොයුරෙකු සමඟ ගිය මා රුපියලක් දී ඒ කුඩා මැණික් පෙට්ටි දෙකක් මිලදී ගත්තේ නිධානයක් දකින කුතුහලයකිනි. අප ගෙනා රූප රාමුවල වූයේ ඉංග්‍රීසි සීරියල් කව්බෝයි චිත්‍රපට කොටස්ය. ඒ අතර එක චිත්‍රපටයක ඉංග්‍රීසි නම් සහිත නාමාවලියක් දක්නට ලැබිණ. මට මෙය මහමෙරක් විය. මා වැඩිහිටියන් සමඟ බැලූ ඉංග්‍රීසි, දෙමළ හා සිංහල චිත්‍රපටවල මුල දී තිරගත වන නාමාවලියට කුඩා කල සිටම ඇලුම් කළේ මන්දැයි මට අදත් ප්‍රහේළිකාවකි.
මගේ මාමා වෙෙළඳ චිත්‍ර ශිල්පියෙකි. ඔහු ලස්සනට ඉංග්‍රීසි සහ සිංහල ලේබල්වල අකුරු අඳින හැටි මම බලා සිටියෙමි. 1965 වසරේ මාමා ප්‍රථම වරට කලා අධ්‍යක්ෂණය කොට ''සීතල වතුර'' චිත්‍රපටයේම නාමාවලිය අඳින හැටි මම නොතිත් ආසාවෙන් බලා සිටියෙමි. මාමා පළමුකොට බ්‍රිස්ටල් බෝඩ් ගෙන එහි පසුබිම තද කළු පැහැයට ඔහු විසින්ම අතින් සාදා ස්ල්ස්ක්‍රීන් මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණය කරයි. ඒවාට අත් උදව් දෙන්නේ මා ය. මුද්‍රණය කළ ඒ බ්‍රිස්ටල් බෝඩ් මිලිමීටර් 35 ප්‍රමාණයේ සිනමා රූප රාමුවට ගැලපේ. මුද්‍රණය කළ තද කළු පැහැති බ්‍රිස්ටල් බෝඩ් දින තුනක් වේලීමට තබයි. මේ අතර කාලයේ මාමා ට්‍රේසිං කඩදාසිවල ඒ ප්‍රමාණයට සරිලන ලෙස අකුරු අඳී.
''ගාමිණී ෆොන්සේකා - තනි රූප රාමුවකි.''
මේ ට්‍රේසිං කඩදාසියේ පැන්සලකින් අකුරු ඇඳ එහි පිටුපස හරවා ඒ අකුරු තියෙන තැන සුදු රට හුණු අතුල්ලයි. ඉන්පසු කළු කරන ලද බ්‍රිස්ටල් බෝඩ් එක ඩ්‍රෝවිං බෝඩ් එකේ තබා ට්‍රේසිං කොළය ඒ මත හරවා සීරු මාරුවට තබා ඩ්‍රෝවිං පින්ස්වලින් තද කරයි. ඉන්පසු පැන්සලයකින් අකුරු පමණක් ඇඳ ගනී. හුණු තැවරූ ට්‍රේසිං කඩදාසි ඉවත දමයි. මා කරන්නේ මාමා ඇඳ වීසි කර තැබූ ට්‍රේසිං කඩදාසි ඉවතලන කළු බ්‍රිස්ටල් බෝඩ් එකේ පේපර් ක්ලිප් තබා ඒ අකුරු ඇඳ ගැනීමය. මාමා අනුකරණය කරමින් අකුරු ඇඳ ඔහුගේ අඩියටම අවසන් කර තිබූ සුදු පෝස්ටර් කලර් බෝතලයට බ්‍රෂ් එක දමා මගේ බ්‍රිස්ටල් බෝඩ් එකේ අකුරු ඇඳ ගැනීමය. මේවා දකින මගේ පියා හිතවතුන්ට කියන්නේ ''එයා මාමා යන පාරේ තමයි යන්නේ'' කියාය.
මාමා විසින් අඳින ලද ''බිනරමලී'' චිත්‍රපටයේ නාමාවලිය දෙස මම ඇස් දල්වා බලා සිටියෙමි. ඒ චිත්‍රපටයේ නාමාවලියට මාමා භාවිත කළේ ඈත වන්නියේ මිනිසුන් විසින් ලියන ලද නූගත් අකුරුය. ඒවා ඔවුන් නිදහසේ ලියන හැඩයක් නැති අකුරුය. මේ නිසා මාමා අකුරු ට්‍රේසිං නොකොට යාන්තමට කළු කරන ලද බ්‍රිස්ටල් බෝඩ් එකේ පැන්සලින් යාන්තමට ඇඳ ඒවා සුදු පොස්ටර් පාටින් ඇඳීමය. මේ නිසා මට ඒ අකුරු ඇඳීමේ අවස්ථාව ලදිමි. එය ''පුංචි එකාගේ ලියුමේ'' අකුරු වගේය. දිනක් ''බිනරමලී'' අධ්‍යක්ෂ මුදලිනායක සෝමරත්න හා කැමරා අධ්‍යක්ෂ නිහාල්සිංහ මහතුන් අපේ ගෙදරට පැමිණියේ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූ මාමා සමඟ පසුබිම් පසුතලයක් වූ වෙඩික්කාරයාගේ පැල ගැන කතා කිරීමටය. මාමා විසින් ඒ පැලේ කටු සටහන් කිහිපයක් නිරීක්ෂණය කරන විට මා විසින් අඳිමින් සිටි නාමාවලියක් දුටු නිහාල්සිංහ මහතා එය දැක - ''මිස්ටර් ගුණරත්න අපි බෑණා ඇඳපු මේ අකුරුම ගන්න බලමු'' යැයි කීවේය. පසළොස් හැවිරිදි වියේ සිටි මට රටක් රාජ්ජයක් ලැබුණා වැනිය. ඔවුන් ගිය පසු මාමා මා අඳින අකුරු සහිත බ්‍රිස්ටල් බෝඩ් කීපයක් තෝරාගෙන තවත් ඔපකොට ගත්තේය. මා චිත්‍රපට නාමාවලිය ඇඳීමට යොමුවුණේ ඔය විදිහටය.
ඊට වසරකට පසු 1966දී ආනන්දයේ අපේ පන්තියේ සිටි මිතුරන් හා මා නිර්මාණය කළ ''වෙර'' මිලිමීටර් 16 ප්‍රමාණයේ වාර්තා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ ලෙසත් නාමාවලිය ඇඳ ගත්තේ මා ලවාය. ඒ වනවිට ''ආනන්දය'' සඟරාවේ පිටකරවය නිර්මාණය කොට එහි එන ''ආනන්දය'' අකුරුද ඇඳ දුන්නේය. තවමත් ආනන්දයේ පිටකවරය හා වෙනත් විද්‍යාලයීය කටයුතු සඳහා භාවිත වන්නේ මගේ ඒ අකුරු පෙළය. ''වෙර'' චිත්‍රපටයේ නාමාවලියත්, අප ආනන්දයේ උගනිද්දී නිපදවූ ''නිම්වළල්ල'' චිත්‍රපටයේ නාමාවලිය මා නිර්මාණය කළේ කුඩා කල මාමා අඳින ලද චිත්‍රපට නාමාවලිය ගුරු උපදේශ කොටගෙනය. ලංකාවේ එතෙක් මෙතෙක් පාසල් ශිෂ්‍යයන් විසින් නිර්මාණය කළ ''නිම්වළල්ල'' වෘතාන්ත චිත්‍රපටයේ මම කලා අධ්‍යක්ෂවරයා වීමේ භාග්‍ය ලදිමි. මේ චිත්‍රපටය 1970 නොවැම්බර් 18 වැනිදා තිරගත වූ අතර එහි පිටපත් 12ක් සිලෝන් තියටර්ස් සිනමාහල්වල තිරගත විය.
මගේ අත්අකුරු පාසල් යන කාලයේ සිටම පැහැදිලිය. වටකුරුය. මෙයට ප්‍රබල හේතුව වූයේ අකාලයේ මියගිය මගේ අම්මා ගුණසේන අකුරු ලියන පොත් ගෙනවිත් දෙමින් මට කළ අභ්‍යාසයි.
මගේ නිම්වළල්ල චිත්‍රපටයේ නාමාවලිය දැක මට ප්‍රශංසා කළ ලංකාවේ එදා සිටි ග්‍රුෆික් චිත්‍රකලාවේ ඉහළින් සිටි චිත්‍රපට පෝස්ටර් කලාවේ ප්‍රවීණයකු සහ නිර්මාණාත්මක කැමරා ශිල්පයේ අසම්මත කැරළිකාරයා වූ රුලෙක්ස් රණසිංහ දිනක් මට මෙසේ කීය.
''අයිසේ රංජිත්, පියසිරි ගුණරත්නගේ ''මොකද වුණේ?'' ෆිල්ම් එකේ Credit Tiles අඳින්න කැමතිද?''
''කැමතියි රුලෙක්ස් අයියා, මට මේක විශේෂ වරප්‍රසාදයක්.''
මේ චිත්‍රපටයේ ප්‍රධාන ශීර්ෂය ඇඳ තිබුණේ ප්‍රතිභාපූර්ණ අකුරු ඇඳීමේ ප්‍රවීණයකු වූ ''දවස'' ආයතනයේ පෑලියගොඩ දයානන්දය.
එතැන් සිට සිංහල චිත්‍රපට 300ක පමණ නාමාවලිය නිර්මාණය කිරීමට අවස්ථාව ලැබිණ. ඒවා අතර ''හතර දෙනාම සූරයෝ'', ගඟ අද්දර, පිංහාමි, බැද්දේගම, කෙළිමඬල, ආදරේ හිතෙනවා දැක්කම, රජ වැඩකාරයෝ, මහගෙදර, මායා නාමාවලි සුවිශේෂය. ''හතර දෙනාම සූරයෝ'' චිත්‍රපටයේ Ben Hur චිත්‍රපටයේ ප්‍රධාන ශීර්ෂ පාඨය අනුකරණය කරමින් මා නිර්මාණය කළ ප්‍රධාන නළු නිළියන්ගේ නම් තිරයේ වැටුණේ බිලියඩ් ක්‍රීඩා කරන ගාමිණී ෆොන්සේකා බිලියඩ් මේසයේදී විදින බෝල පහරත් සමඟය. මේ නාමාවලිය එතරම් ජනප්‍රිය වූයේ මා අඳින අකුරු කැමරා උපක්‍රම මගින් නිර්මාණය කළ කැමරා ශිල්පී ලෙනින් මොරායස්ගේ දස්කම නිසාය. මා විසින් අඳින ලද විකට චිත්‍ර ඇසුරෙන් නිමකළ ''නැව ගිලුනත් බෑන් චූන්'' චිත්‍රපටයේ නිර්මාණාත්මක නාමාවලියට 1989 වසරේ OCIC උත්තමාචාර තිළිණයක් හිමි විය. ගොරහැඩි, විශාල, කැත අකුරු ඇන්දෙ කවුද? ඊළඟ කලාපයෙන් ඒ ගැන කියවමු.
නාමාවලී නිර්මාණකරු (Title designer) ජස්ටින් වෙලගමගේ විසින් ලියූ සංක්ෂිප්ත සිනමාකෝෂයේ මෙසේ අර්ථ ගන්වා තිබුණි.
''චිත්‍රපටයක නම තිරයේ දිස්වන ආකාරය සහ නාමාවලිය නිර්මාණය කිරීම එක්තරා කලා ශිල්පයක් ලෙස සැලකේ. විශිෂ්ට මාධ්‍යරූප (Graphics) නිර්මාපකයකු හා සිනමාකරුවෙකු වූ සෝල් බෑස් මේ කලාවේ අග්‍රගණ්‍යයකු ලෙස සැලකේ. ඕකෝ ප්‍රෙමිංග (ර්) ගේ The Man with the golden arm (1955) සහ ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ North by North west (1959) චිත්‍රපට සඳහා ඔහු නිර්මාණය කළ නාමාවලි රූප රචනයන් ඉතාමත් නිර්මාණශීලී හා ප්‍රශස්ත ඒවා ලෙස සැලකේ.''
සෝල් බෑස්ගේ නම මුලින්ම දැකගත්තේ Terence young අධ්‍යක්ෂණය කළ (ජේම්ස් බොන්ඩ් කතාවක් ඇසුරෙන්) Dr. No (1962) චිත්‍රපටයේ නාමාවලියේ බෝන්ඩ් ඇවිදගෙන යන රූප රාමුවක් ඔහු එකවර හැරී වෙඩිතබන රූප රාමුවක ඉංග්‍රීසි බසින් අකුරු යොදාගත් නිර්මාණාත්මක නිර්මාණයකිනි. ඉන්පසු Terence young අධ්‍යක්ෂණය කළ From Russia with Love (1963) Thunderball (1965) බොන්ඩ් චිත්‍රපටවලදීද සෝල් බෑස්ගේ විස්මිත නාමාවලි දැක ආශ්වාදය ලැබුවෙමි.
I ඒ.ඩී. රන්ජිත් කුමාර
චිත්‍රපට නාමාවලි තවත් රස කතා
කියවමු මීළඟ හදසර සිනමා කලාපයෙන්