2023 ජුලි 15 වන සෙනසුරාදා

ඒ කාලේ පික්චර් හෝල් දැන් කාලේ නෑ හලෝ!

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

මෑත කාලයේදී සිනමා නිර්මාණ බොහොමයක් සිනමාහල්වල ප්‍රදර්ශනය වෙමින් පවතී. මෙය සිනමා ක්ෂේත්‍රයට විශාල අස්වැසුමක් වුවද මේ තිරගත වන චිත්‍රපට නැරඹීම සඳහා සිනමා ලෝලීන් සිනමාහල් කරා පිවිසීම සම්බන්ධයෙන් එතරම් සතුටු විය නොහැකිය. මන්ද වර්තමානයේදී සාර්ථක වූ චිත්‍රපට බොහොමයක් එක දිගට සිනමාහල් කරා පැමිණියද ඒවා නැරඹීමට පැමිණෙන සිනමා ලෝලීන්ගේ විශාල අඩුවක් දක්නට ඇත. මේ හේතුවෙන් සිනමා නිර්මාණයකට වැය කරන්නා වූ විශාල මුදලවත් පියවාගත නොහැකි හේතුවෙන් බොහෝ සිනමා නිෂ්පාදකයින් සිනමා කර්මාන්තයෙන් ඈත් වන්නා සේම, දැරිය හැකි නිෂ්පාදන පිරිවැයක් නැතිකම හේතුවෙන් සිනමා අධ්‍යක්ෂවරුන්ට සිනමා කර්මාන්තයෙන් ඈත් වී ඇත. අද එවන් බොහෝ අධ්‍යක්ෂකවරුන් විදෙස් ගත වී ඇති අතර ඇතැමුන් වෙනත් ක්ෂේත්‍රයන්ට යොමුවන්නේ මේ සිනමා කර්මාන්තය තුළ පවත්නා අවදානම හේතුවෙනි.

සිනමාහල්වලටද හිමිවී ඇත්තේ එවැනිම තත්ත්වයකි. වර්තමානයේදී සිනමාහල් හිමිකරුවන් තම සිනමාහල් වෙනත් ආයෝජනයන් සඳහා යොමුකරනු ලබන්නේ කරකියා ගන්නට දෙයක් නොමැතිකමිනි. ශ්‍රී ලංකාවේ බොහෝ සිනමාහල් හිමිකරුවන් මෙතෙක් සිනමාහල් පවත්වාගෙන යනු ලැබුවේ පාඩු පිටය. අතිශය සිනමා ලෝලීන් වූ ඔවුන් තම සිනමාහල් වෙත පැමිණෙන සිනමා නිර්මාණ ගැන කතාවූයේ ආඩම්බරයෙනි. නමුත් වර්තමානය වනවිට එකින් එක සිනමාහල් වැසී යන තත්ත්වයට පත්ව ඇත.

එකල සිනමාහලක් පවත්වාගෙන යනු ලැබූ තැනක වර්තමානයේදී දක්නට ලැබෙන්නේ වෙළඳසැලකි. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ ගල්කිස්ස ඕඩියන් සිනමාහලය. කාලයක් පුරාවට ගාලු පාරේ ගල්කිස්ස කනන්නට යාබදව පැවැති ඕඩියන් සිනමාහල මෑතකදී කඩා බිඳ දමා සුපිරි වෙළඳසැලක් ගොඩනැගී ඇත. අද වනවිට ගල්කිස්ස ඕඩියන් සිනමාහල නමට පමණක් වෙන්වුණ සිනමාහලකි. මේ අතර තවත් සිනමාහල් අද වනවිට අමත පන්ති ඉගැන්වීම් සඳහා යොදාගනු ලබන ටියුටරි ශාලා වේ. තවත් සිනමාහල් නිවාස සංකීර්ණ වේ. එසේත් නැත්නම් සර්විස් සෙන්ටර්ය නුගේගොඩ ලැවිනියා, රාජගිරිය ලියෝ, කොළඹ 14 අශෝක, හෝමාගම අප්සරා ආදී කොළඹ නගරයට ආසන්න ප්‍රදේශවල පැවැති සිනමාහල් බොහෝමයක් අද දක්නට නැත. කොළඹ තත්ත්වය එලෙස නම් අනෙකුත් පැති ගැන අසන්නට දෙයක් නැත. අද වනවිට සිනමාහල් බොහෝමයක් අභාවයට පත්ව ඇත්තේ ඒවා නඩත්තු කිරීම සඳහා හරිහමන් ආදායමක් නොමැතිකම නිසාය. මේ අතරේ සිනමාහල් හිමිකරුවන් විසින් යම් ආදායමක් ලැබුවද ඒවා නිසි පරිදි නඩත්තු කිරීම සඳහා උවමනාවක් නැතිකමද බලපා ඇත. ඒ හේතුවෙන් ඇතැම් සිනමාහල් වවුලන්ට වෙන්වූ වාසස්ථානයකි. සිනමාහල් අසුන් මකුණන්ට වෙන්වූ කොටසකි. එපමණක් නොව පෙම්වතුන්ට තම ලිංගික ආශ්වාදයන් ලබාගැනීමට කදිම ලැගුම්හලකි. මෙවන් නොසැලකිලිමත්කම හේතුවෙන්ද සිනමා ලෝලීන් සිනමාහල් කරා ඒමට කැමැත්තක් නොදක්වති.

අද වනවිට සිනමාහල්වල ප්‍රදර්ශනය කරන්නා වූ චිත්‍රපටවල වේලාවක් සම්බන්ධයෙන් සිනමා ලෝලීන් තුළ ඇත්තේ අපැහැදීමකි. එකල එක් සිනමාහලක දින ගණනාවක් එකදිගට පෙන්වනු ලබන්නේ එකම චිත්‍රපටයයි. එක් දවසකට වාර තුනක් හෝ හතරක් පෙන්වති. මෙයින් බොහෝ සිනමාලෝලීන් පැමිණෙන්නේ රාත්‍රී නවයයි තිහේ වාරයටය. අද මෙන් එකල බස් රථ හෝ ගමන් පහසුකම් නොතිබුණද බොහෝ සිනමා ලෝලීන් රාත්‍රී දර්ශනය නරඹා නිවෙස්වලට ගියේ පයින්ය. බොහෝවිට පවුලේ සාමාජිකයින් එක්ව මේ අපූරු ගමන එති. තවත් තරුණ පිරිසක් මේ ගමන එති. ඔවුන් නිවෙස්වලට යන්නේ කඩල ගොට්ටක් හෝ අයිස් පලමක් කකාය. මේ අතරේ මොවුන් වෙනුවෙන්ම වෙන්වුණ බස්රථද රාත්‍රියේදී මේ කාලයට ධාවනය නොවන්නාද නොවේ. එකල පැවැතියේ තනි දොරේ කුඩා වෑන් රථයන්ය. බෙල්ල නවාගෙන බස් රථයේ හිටගෙන යන සැමගේම එවිට මාතෘකාව වන්නේ නැරඹූ චිත්‍රපට දර්ශන ගැනය. රාත්‍රි කෑම කඩ පවා මේ සිනමාහල් ආසන්නයේ එකල පවත්වාගෙන යනු ලැබුවේ මේ සිනමාලෝලීන් වෙනුවෙන්මය. සිනමාහල් කරා යන ප්‍රේක්ෂකයින් වතුර බෝතලයක්, කඩල ගොට්ටක්, ලොසින්ජර ටිකක් අරගෙන යන්නට අමතක කරන්නේ නැත. වර්තමානය වනවිට ඇතැම් සිනමාහල් වෙතට කෑම ගෙනයන්නට තහනම්ය. ඇතැම් ඒවා වෙත ගෙන යා හැකි වන්නේ අදාළ අවන්හල් වෙතින් පමණි. ඒවායේ පොප් කෝන් එකක් පවා සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකිය. වර්තමානයේදී සිනමාහල් ටිකට් පතේ සිට මෙම පොප්කෝන් එක දක්වා පවතින මිලෙහි ඉහළ යාමත් සිනමා ලෝලීන් සිනමාහල් වෙත ඒමට දක්වන අකමැත්තට හේතුවක් විය හැකිය. සිනමා පටයේ අතරමගදී ලැබෙන කෙටි ජීවිත කාලයේදී එකල අයිස්ක්‍රීම් වෙළෙන්දෙක්, කඩල වෙළෙන්දෝ සිනමාහල් තුළට පැමිණ ඒවා අලෙවි කළද වර්තමානයේදී ඒ තත්ත්වයද දකින්නට නැත.

එකල සිනමා නිර්මාණයන් සිනමාහල් වෙත පැමිණෙද්දී චිත්‍ර ශිල්පීන්ට වැඩ රාජකාරි එමටය. බොහෝවිට එකල චිත්‍රපට ප්‍රදර්ශන පුවරු අඳින ලද්දේ චිත්‍ර ශිල්පීන් විසිනි. ඒ බොහොමයක් තීන්තවලින් රෙදිවල අඳින ලද ඒවාය. නැතිනම් තීන්තවලින් සූදු කොළයේ අඳින ලද ඒවාය. බොහෝමයන් ඒවා පාප්ප යෝදා ඇලවූ අතර එකල බහුලව තාප්ප තිබුණේ නැත. ඒ නිසාම චිත්‍රපට පුවරු වැඩි වශයෙන් ප්‍රදර්ශනය වූයේ ගමේ කඩපිල්වලය. බස් නැවතුමේය. විශාල ගස්වලය. ඒ අතරතුරේ කළු අකුරෙන් මුද්‍රිත කරන ලද අත් පත්‍රිකා ගම පුරා බෙදාහරිනු ලබන්නේද ලව්ඩ්ස්පීකරයක් බැඳ ගනිමින් ධාවනය කරන පරණ තාලේ වාහනයකිනි. ගමට පැමිණෙන මෙම රථය පිටුපසින් කොල්ලෝ කුරුට්ටන් දිවු සුන්දර කාලයක් එකල තිබුණි. එකල අලුත් චිත්‍රපටයක් ආ සැණින් එහි විශාල චිත්‍ර පුවරුවක් ප්‍රදර්ශනය කිරීමේ ප්‍රධානතම ස්ථානය වන්නේ මරදාන හන්දියේ කෝච්චි පාලම ආසන්න‍යේය. ඒ හේතුවෙන් එහි එකල චිත්‍රපට චිත්‍ර පුවරුවක් නැති දවසක් නැති තරම්ය.

අද වනවිට ඒ සියල්ලෙහිම තත්ත්වය වෙනස්ය. වර්තමානය වනවිට සිනමා චිත්‍ර ප්‍රදර්ශන වෙනුවට වැඩි වශයෙන් දක්වන්නට ඇත්තේ රෑපවාහිනී ප්‍රදර්ශනයන්ය. එසේත් නැත්නම් පෝස්ටර් දැන්වීම්ය. විශාල ඩිජිටල් හා මුද්‍රිත පුවරුය. ඇතැම් පුවරු චිත්‍රපටය ප්‍රදර්ශනය වී අවසන්ව ගොස් මාස කිහිපයක් ගියද ගැලවී යන්නේ නැත.

වර්තමානයේදී එකල ජනප්‍රියව පැවැති කොළඹ ජෙසීමා, මරදානේ ගාමිණී, වත්තල සමුද්‍රා, රාගම නිව් ජෙම්, දෙමටගොඩ මානෙල් ඇතුළු බොහෝ සිනමාහල් දක්නට නැත. ඒ වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් විශාල පුළුල් තිර යෙදූ මිනි සිනමාහල් සුපිරි වෙළඳ සංකීර්ණ කිහිපයක් ඇතුළු ස්ථාන කිහිපයකම ගොඩනැගී ඇත. නමුත් ඒවායේ බොහොමයක් ප්‍රදර්ශනය වන්නේ ඉංග්‍රීසි චිත්‍රපටය. හින්දි, දමිළ චිත්‍රපටය. ඒ අතරින් ප්‍රද්ශනය වන සිංහල චිත්‍රපට නැරඹීම සඳහා අර තරමින් පිරිසක් නැත. ඉතා සාර්ථක චිත්‍රපට පවා නරඹන්නට අද සිනමාලෝලීන් කැමැති නොවෙති.

එකල රෑපවාහිනියේද චිත්‍රපටයක් පෙන්වූයේ මාසයකට වරකි. ඒ දිනය ලංවන තුරු සැවොම බලා සිටී. රාත්‍රියේදී නිවෙසේ සාමාජිකයින් එක පොදියට හිඳ මේ චිත්‍රපට නරඹන්නේ හරිම කැමැත්තෙනි. ඇතැම් විට අහල පහල නිවැසියන්ද එක නිවසකට එක්රොක් වෙති. ඒ සුන්දර අතීතය දැන් නැත. අද රෑපවාහිනියෙන් චිත්‍රපට වැහි වැහැලාය. එකම දිනකදී නාලිකා කිහිපයක එකම වෙලාවට චිත්‍රපට විකාශනය වේ. මේ අතරේ අන්තර්ජාලය ඔස්සේද චිත්‍රපට නැරඹිය හැකිය. සිනමාහල්වල තිරගත වන චිත්‍රපට මාස කිහිපයකින් පුංචි තිරයෙන් දකින්නට අවස්ථාව ලැබීමත් සිනමාහල් බිඳවැටී යාමට හේතුවක් විය හැකිය.

විශේෂ ස්තූතිය
I ප්‍රවීණ ලේඛක පියසේන වික්‍රමගේ මහතාට
I දිශානි ජයමාලි