මා නිවාලනු පිණිස ඉතින් ඔබ මට අවැසිමය. මොහොතක්... ඔව් සුහදයාණෙනි, එක් මොහොතක් ඉතින් මම කතා කරන නුඹ ඇස් අස නවතිමි. ළතෙත් උර මඬල මත හිස තියාගෙන ආත්මයම බිඳෙන් බිඳ අවුලුවන දාහය නිවාලන්නට නුඹේ ජීවිතයෙන් බිංදු අංශුමාත්‍රයක් මම ඉල්ලා හිඳිමි.
මම...
අනන්ත වූ දෙරණ සරා
දෑස නිවන නිලක් සොයා
අහස් ගව්ව නැග ගත්තේ
නිල්ල දකින්නයි...
ඔබට ගයන්නට මට සිත් වූ ඒ ගීතය අයිති 1969 වසරේ රිදී තිරය සැරසූ හන්තානේ කතාව සිනමා වියමනටයි. සුගතපාල සෙනරත් යාපා ලියූ පද වියමන සත්සර සක්මනට කැටුව ගියේ අහස පොළොව අතර විශ්වයේ සියලු රිද්මයන් ප්‍රකම්පනය කළ, රටා සොයා ගිය සොඳුරු ආඥාදායක සංගීතඥයාය. නමින් හේ ප්‍රේමසිරි කේමදාසය.
මට කියන්න ගයනු හැකිද වෙන කිසිවෙකුට හෝ එතරම්ම හදවතේ සියුම් නහරයක් නහරයක් නහරයක් පාසා කිතිකවමින් ප්‍රකම්පනයෙන් සලිත කරමින් සංගීත් නිපුන් සනත් නන්දසිරි ගැයූ විලසින් ඒ ගීය ආත්මීය සංධ්වනියකින් හදවතේ ගැඹුරුම ඉසව්වකට ආමන්ත්‍රණය කරමින් අනන්ත වූ දෙරණ සරා ගීතය ගැයූ ඒ සුමධුර මනරම් සුලාලිත ස්වරය, දෙවියනි සන්තුෂ්ටියේ අනන්තය වෙත මා කැටුව යන හැටියක්.
ගලක ගලන සිඟිති දොළක
සිහිල විඳින්නයි
ගසක වෙළෙන සිඟිනි වැලක
පහස ලබන්නයි
යස උරහිස හිස තියා ජීවිතය නොව ප්‍රේමය යදින්නට සිත්වෙන්නේ ප්‍රේමය යනු සාංසාරික පෙරවදනක් මිස ප්‍රේමයක් පමණක්ම නොවන නිසාමය.
තවරාලූ සාහිත්‍යමය රස භාව වදන් සමුදායට පමණක් නොවේ, මේ ගීතයේ ඉතින් මා පෙම් කළේ. එහි සියල්ල රසයේ දියවරකි. සදාතනික සිහින ඇස් පියන් යට සඟවාන ඇහැරෙන්නට යළිඳු නොසිතෙන නින්දක් සොයා යන ආ දුර කෙතෙක්ද නොදන්න සංසාර සුවිසැරියක විඩාපත් මගීන් නොවෙමුද අපි මට කියන්න...
වරෙක ප්‍රේමය සේම මරණයත් සොඳුරුය
මරණය සේම සිහිනයත් සොඳුරුය
ඉතින් නොනැවතී ඇවිද යා යුතුමය
සිහිනයෙන් මුදාහල ප්‍රේමයක් දරාගෙන සංසාර වීදියෙන් වීදියට අනන්ත සක්මනක ප්‍රේමයේ රටා වියමින් ජීවිතයට මොහොතක් පාසා ක්ෂණයක් පාසා පෙම් කළ යුතුමය.
අනන්ත වූ දෙරණ සරා
දෑස නිවන නිලක් සොයා
එන්න ඉතින් අපි ජීවිතයේ පාර දිගේ ඇවිදිමු
ප්‍රේමණීය පාරමිතා දිගේ ඇවිදිමු. ප්‍රේමය ප්‍රේමය වෙසින්ම ප්‍රේමය ප්‍රේමය වෙසෙසින්ම හමුවෙන තෙක් ඇවිදිමු.
I ස