2023 ජුලි 15 වන සෙනසුරාදා

ස්වර්ණා

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:02 337

 පවුරු බිඳිමින් පියා විදාහල ලාංකික සිනමාවේ එකම ගැහැනිය 

සීමාවන් අතික්‍රමණය කළ අසංවාදී සොඳුරු ගැහැනියක සිනමාමය මහ පොළොවේ පමණක් නොව ජීවිතයේදීත් මට හමුවී නම් ඒ ස්වර්ණාය. ඇය යනු මා දුටු සොඳුරුතම සරාගීම ගැහැනිය ලෙස මගේ මනෝමය ප්‍රේමය තුළ සම්භාවනාවට පාත්‍ර වන්නේ පවුරු බිඳහල ඇගේ සිනමාමය යාත්‍රාවේ අප්‍රමාණ නවාතැන් උන්මාදනීය ප්‍රේක්ෂකත්වයකින් විඳගත් නිසා පමණක් නොවේ. ස්ත්‍රීත්වයේ මෘදු සේම රළු භාව සත්තාවන් සරාගී ප්‍රේමණීය සේම මානුෂීය අලංකාර සහ යථාර්ථයෙන් ඔබ්බට සත්‍යවාදී ප්‍රවේශයන්හි ලැඟුම් ගනිමින් විඳගත් මනෝමය ප්‍රකම්පනය මගේ හදවත තුළ උපදවාලූ සියක් දහසක් බිංදුමාත්‍රික හැඟුම් සමුදායන්හි සමුච්චිතකරණය ඇය මගේ ජීවන සුවිසැරිය තුළ මා දැන හඳුනාගත් සොඳුරුතම ප්‍රේමණීයම ප්‍රබලම සහ සිනමාමය ගැහැනිය බවට පත්කර හමාරය. මගේ සිනමාමය ප්‍රේමය තුළ ඈ විසින් මා හදමඬලේ සහ චින්තනමය අවකාශය තුළ අත්පත් කරගත්තා වූ ඉඩහසර තවත් සිනමාවේදී ගැහැනියක විසින් කිසිදා අත්පත් කර ගනිතැයි නොසිතන තරමට මගේ සිනමාමය ප්‍රේමය තුළ ඇගේ සැරිසැරීම ප්‍රබලය.

‍නිම් වළල්ලෙන් විදාහල රංගන ප්‍රතිභාවක සංධ්වනිය පිළිකා ශල්‍ය විශේෂඥ නෙඔමාල් පෙරේරාගේ දඩඉම සිනමා රූපකාරකයේ රෝහිණී දක්වා ගමන් මඟ තුළ ඈ මුදාහල විවිධ ප්‍රවේශ ඉසියුම් විචාරක්ෂයකින් පිරික්සද්දී සම්මතයට සාපේක්ෂව අසම්මත ලෙස නිර්වචනය වන ජීවන කඩඉම් සහ ප්‍රේමණීය නවාතැන්හීද ඇගේ සරනය මාගේ දැක්ම තුළ අතිශය මනරම්ය. ස්ත්‍රීත්වයේ ආත්මයන් පුරා ගල්වන ලද අනේක වත්සුණු සුවඳ විනිවිද මම ආත්මීය හදගැස්මකින් ඉඹ බැලූයේ අප්‍රමාණ දුක් වේදනා සහ අප්‍රකාශිත කඳුළු දහරාවන් තුළ සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ සත් සමුදුරේ සෝමාගේ පටන් දඩඉමේ රෝහිණී දක්වා ඇගේ සිනමාමය සංසරණයේදී ඈ තවරාලූ සුවඳ ස්නේහයන්ය. ඒ සියල්ල තුළ මට හමුවූයේ කැමරාවක් අබිමුව සිනාසෙන, දෙබස් කියන, විසේකාර ඕවිල්ලක ඔහේ නැලවෙන හුදු මටසිලිටු නිළියක නම් නොවේ. එවන් නිළියක මට කිසිදා ස්වර්ණා මල්ලවආරච්චි නම් ඇය තුළින් හමු නොවුණි. සිනමාවේ ගැහැනිය ලෙසත්, සිනමා විචාරකයන්ගේ අප්‍රමාණ ගිනිසිළුව ලෙසත්, සිංහල සිනමාව සදාතනිකව සුවඳවත් කළ සාර පොළොවක උපන් සදාතනික සිනමාමය රෝස කුසුම ලෙසත් ස්වර්ණා එදා මෙදාතුර මගේ සම්භාවනාවට පාත්‍ර වන්නේද එහෙයින්මය.

සත් සමුදුර, හන්තානේ කතාව, හංස විලක්, දු ළිහිණි, මායා, සාගර ජලය, දඩයම, සුද්දිලාගේ කතාව, ඉන් නොනැවතී අනන්ත රාත්‍රිය, චන්න කින්නරී, භව දුක, භව කර්ම, කැඩපතක ඡායා ආදී සිනමාමය තරණයේදී අතිශය ඉසියුම් ඉවසිලිවන්ත ගැහැනියක මා නෙත් අබිමුව 

ප්‍රතිනිර්මාණය කළ ඇගේ ඇස අග ගැහැනියකගේ පපුවක උපදින සියලු මනෝභාවයන් විෂයයෙහි සැපයූ සංනිදර්ශන අප්‍රමාණය. 

සිංහල සිනමාවේ ස්වර්ණවත් දිශානතිය ස්වර්ණාය. එදා මෙදාතුර ඇයට කිසිදු ආදේශයක් හෝ විකල්පයක් මා දකින කියවන සහ මගේ අධ්‍යයනය සහ ගවේෂණය තුළ දිගහැරෙන සිනමාමය මහ පොළොවෙහි නම් නැත්තේමය. ස්වර්ණා යනු ස්වර්ණාම මිස අන් දෙයක් හෝ අන් කිසිවක් නොවේ. රංගනය තුළ ඇගේ ආත්මීය යක්ෂාවේශය කොතෙක් ප්‍රබල වන්නේද යත් ඇගේ කිසිදු රංගනමය චාරිකාවකදී මට ස්වර්ණා මල්ලවආරච්චි යන ගැහැනිය සිහිපත් නොවේ. 

ප්‍රවීණ සාහිත්‍යවේදී විචාරක ඩබ්ලිව්. ජයසිරි විද්වතාණන් වරක් ස්වර්ණා ගැන සනිටුහන් කළ සටහනක් මේ මොහොතේ මට සිහිපත් වේ.

''දිනය නිච්චියටම මතක නැත. 1965 හෝ 1966 විය හැකිය. දිනපතා සිංහල පුවත්පතක පිටු කාලක දැන්වීමක් දුටුවෙමි. එය චිත්‍රපටයක දැන්වීමකි. චිත්‍රපටය 'සත් සමුදුරය'. කට පුරා පිරුණු සිනාවකින් පාඨකයන් දෙස බලා සිටියේ නුපුරුදු මුහුණකි. ඔහු සිරිල් වික්‍රමගේ බව කවුරු හරි කීවේය. දැන්වීමේ ගැහැනු මුහුණක්ද විය. අලස රාගික අදහසින් අප දෙස නෙත් හෙලාගෙන සිටි ඇය කවුදැයි මට කවුරුත් කීවේ නැත. තුංමං හන්දියේ අයිසේ එක්ක තොදොල් වෙන විසේකාරී ඇයමය. අහස් ගව්ව නැග එන සිහිනි ධේනුව.. ඒත් ඇයමය. මම ඇය කිහිප වතාවකදී වෙනත් අයුරින් දැක සිටියෙමි. සුමිත්‍රා පීරිස්ට ඇය හීන් කෙල්ල වූවාය. ධර්මසිරි බණ්ඩාරනායකගේ සුද්දි සයිමන් නවගත්තේගම පින්තාරු කළාට වඩා රාගාධික වුණාද නැද්ද කියා තවමත් තීරණය කර ගැනීමට මා අපොහොසත් වීම විචාරකයන්ගේ ගැටලුවක් නොවේ. පිරිමි එක්ක මේ තරම් නිදි වැදුණ ගැහැනියක බඩක් හදා නොගැනීම ඒ කාලයේදී ගුණදාස අමරසේකරට නම් ප්‍රශ්නයක් විය. නෝනෙහාමි පසුපස පන්නන්නට තරම් මුහන්දිරම්, ඇය ඔය තරම් වයස්ගත වෙනකං හිටියේ ඇයිදැයි විචාරකයන් දැක්කේ නැත. 

තිස් හතළිස් අවුරුද්දක් ඇය රෝන්දේ ගියාය. ඒ ඇයගේ ඕනෑකමට නොවේ. ඒ හැම ගමනකටම හේතුවක් නැතිවුණත් ඇය තමා වෙනුවෙන් වෙන්කර තිබූ අම්බලමේ ලැග්ගාය. ස්වර්ණා මල්ලවආරච්චි ශ්‍රී ලංකාවේ බයිස්කෝප් සීමාවේ මහ බක්කක් නොවීය. සිනමාවේ හුදෙකලා සංසිද්ධිය වූවාය. අපේ චිත්‍රපටවල බෝනික්කෝ ඇතිපදම් පෙනී සිටියෝය.''

ඒ ඩබ්ලිව්. ජයසිරිගේ සිනමාමය විචාරය තුළ ස්වර්ණාගේ සිනමාමය ආකෘතිය වර්ණ ගැල්වූ ආකාරයයි.

''ස්වර්ණාගේ රංගන ශෛලිය වෙනස්. රංගනයේදී ඇය තම චරිතය බවට රූපාවතරණය වනවා වෙනුවට තම රංග පෞරුෂය අදාළ චරිතය තුළ ආයෝජනය කරනවා. පුවත්පත්වලත් මුහුණුපොතේත් 'ස්වර්ණා ලාංකේය මෙරිල් ස්ට්‍රීප්' යනුවෙන් හඳුන්වනු නිතර කියවන්නට ලැබෙනවා. මේ සංසන්දනාත්මක සමකිරීම කොතරම් යුක්ති යුක්තදැයි අවබෝධ වන්නේ; මෙරිල් ස්ට්‍රීප් රංගනය පිළිබඳ දරන සමහර අදහස් සලකා බැලීමේදීය. ''No one has ever asked an actor,'' You are playing astron. Minded man…'', We assume that men are strong – minded, or have opinions, But a strong – minded woman is a different animal''. කිසිවෙකු නළුවෙකුගෙන් අසන්නේ නැහැ, ඔබ මානසිකව ශක්තිමත් චරිතයක් රඟපානවා නේද කියා. මිනිසුන් මානසිකව ශක්තිමත් බවත්, දැඩි අදහස් දරන බවත් අප උපකල්පනය කරනවා. ඒත් සවිමත් මානසිකත්වයක් ඇති ගැහැනියක් යනු අමුතු සතෙක්යැ'යි මෙරිල් ස්ට්‍රීප් පවසනවා. ස්වර්ණා සිංහල සිනමාවේ අමුතු සතෙක්. ඇය රඟපෑවේ යකඩ ගැහැනියකගේ චරිතයයි.''

ඒ සිනමාවේදී අශෝක හඳගමගේ කියවීම තුළ ස්වර්ණා විවරණය වන ස්වරූපයයි.

ස්වර්ණා.. නැවත නැවතත් ඔව් මගේ කියවීම තුළ නැවත නැවතත් ස්වර්ණා යනු ස්වර්ණාම මිස අන් කිසිවෙකුත් නොවේ. එහෙයින්ම ඈ කෙරේ මගේ ප්‍රේමය ද අතිශය ගැඹුරුය. මක් නිසාද යත් තවත් ස්වර්ණා කෙනෙකු දැකිය නොහැකි වන සහ කිසිදා හමුනොවන වග මා මැනවින්ම දන්නා හෙයින්මය.

I සංජීවිකා
සේයාරූ: අන්තර්ජාලයෙන්