2023 ජුලි 22 වන සෙනසුරාදා

රාවනා ඇල්ල දැකලා පිස්සු හැදිලා මහපාරේ කෑ ගැහුවා

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

දැක්කම දුක හිතෙන ලංකාවේ කැත වැඩ

මේ දෙන්නට පහුගිය දවසක ලංකාවේ පාරෙදි මනුස්සයෙක් හම්බවෙනවා. මේ මනුස්සයා මේ දෙන්නට කියන්නේ එයාට ඉංග්‍රීසි ලියන්න බෑ, පොඩ්ඩක් ගෙදරට ඇවිල්ලා එයාගෙ යාළුවෙක්ට ලියමනක් ලියලා දෙන්න කියලා. මේ කතාවට මේ දෙන්නම ටිකක් 'කන්ෆියුස්' වෙනවා.

“මට ඉංග්‍රීසි ලියන්න බෑ.. මගේ යාළුවෙක් ඉන්නවා පීටර් කියලා. එයාට ලියුමක් ලියාගන්න ඕනෑ. පීටර් කොහොමද මොනවද කරන්නේ වගේ පොඩි දේවල් ටිකක් ලියාගන්න ඕනෑ. පහුගිය දවසක මගේ 'ෆෝන් එක' මුහුදෙ වැටුණා. මට එයාට දැන් කතා කරගන්නත් බෑ." 

“හා හරි හරි ඔයාගේ ගේ තියෙන්නේ කොහෙද? අපි යමු."

කොහොම හරි දෙන්නා අර ගෙදරට ගියා. අර කිව්ව විදිහට පීටර්ට ලියුම ලියන්න කොළයකුයි පෑනකුයි එහෙමත් ගෙනත් දුන්නා. දෙන්නගෙන් ගෑනු කෙනා තමා ලියුම ලියන්න පටන් ගත්තේ. ඒ අතර ලංකාවේ අපේ එක්කෙනා හෙමිහිට මේගොල්ලන්ට තමන්ගේ නැති බැරිකම් කියන්න පටන් ගත්තා. ඒ අස්සෙ තව කෙනෙක් ඇවිල්ලා බෝට්ටුවේ 'ටුවර්' එකක් යන්නත් කතා කළා.

“පීටර් තමයි මට මේ බෝට්ටුව අරන් දුන්නේ. මගේ බෝට්ටුව කැඩිලා තියෙන්නේ. ඔයාලා මට ෆයිබර් කිලෝ තුනක් ගන්න උදව් කරන්න."

අවසාන හරියේ එයාගෙ අවශ්‍යතාවය කටින් එළියට. කොහොම හරි එතනින් මේ දෙන්නා එයා සම්බන්ධ වීඩියෝ එක ඉවර කළා. පස්සේ පාරට ඇවිල්ලා වෙච්ච දේ කිව්වා. සිද්ධ වුණේ සම්පූර්ණ රුවටීමක් කියලා මේ දෙන්නට හොඳටම තේරිලා තිබුණේ.. එයාලා කනගාටුවෙන් සිද්ධ වුණු දේ පැහැදිලි කළා.

“ලංකාවේ හැමෝම මෙහෙම නෑ. ගොඩක් හොඳ අය ඉන්නවා. අපි මේ රටට ආදරෙයි. ඒත් මෙහෙම දේවලුත් වෙනවා."

ත්‍රීවිල් එකෙන් ලංකාවේ කරක් ගහන එංගලන්ත ජෝඩුවක්

 

මේ දෙන්නා එංගලන්තේ ජෝඩුවක් මේ දවස්වල ලංකාවේ කරක් ගහනවා. ඔන්න පහුගිය දවසක ගාල්ල පැත්තෙ ගියා. ගාලු කොටුව බලන්න හිතාගෙන එළියට බැහැලා එනකොට දොඩම් විකුණන අක්කා කෙනෙක් දැක්කා. එක දොඩම් වීදුරුවක් රුපියල් 250 යි. ඒවා එයාලට අවුල් නැතත් අපිට ඒක දැක්කාම අවුල් ගියා.

ඔන්න ඊටපස්සේ මෙයාලා ටවුම හරහා කොටුව පැත්තට යන ගමන් හිටියේ. කොහෙන්දෝ මන්දා අංකල් කෙනෙක් මතු වුණා. එයත් මේ Tourism කරන එක්කෙනෙක් වගේ. එකෙක් උපදෙස් දෙන්න පටන් ගත්තා.
“කොටුවෙන් නමුත් තේ කොළ, රෙදි, සමරු, සිහිවටන වගේ දේවල් ගන්න එපා. එතැන හරි ගණන්. ඕනෑ නම් ටවුන් එකේ මේ පැත්තට යන්න."
ඊටපස්සේ දෙන්නා මෙහෙම කිව්වා.

 “නෑ නෑ අපිට යන්න ඕන කොටුවට. අපි යන්නේ ෆොටෝ ගන්න"

“අයියෝ කොටුවට යනවා නම් යන්න ඕන හවසට. බැහැගෙන යනකොට තමා ලස්සන. හරි කමක් නෑ ඔයාලා යන්න." 

මෙයාලා ටිකක් 'ජෙනුවින්'. මේ දෙන්නා ගියා කොටුවට. අඹ අයිස්ක්‍රීම් එකක් කාලා වටේ පොඩ්ඩක් ඇවිදින්න.

කොහොම හරි අවසානයේ තමා දැනගත්තේ මේ දෙන්නත් ලංකාව වටේ කරක් ගහන්නෙ ත්‍රීවිල් එකක් අරගෙන.

සුඩානේ ඉඳන් ආ කළුට ලංකාවෙදි සුද්දෙක්ලු

මෙයා ගැන මේ වෙනකොටත් ලංකාවේ ගොඩක් දෙනා දන්නවා. Mr BMG... අප්‍රිකානු ජාතිකයෙක්. ලංකාවට ඇවිල්ලා ලංකාවේ මිනිසුන්ගෙ හිත් දිනාගත්ත සංචාරකයෙක්. ටිකක් අපේ විදිහෙ කෙනෙක්. 

ඔන්න BMG ඇල්ලෙ ගිහිල්ලා. රාවනා ඇල්ල දැකලා පිස්සු හැදිලා මනුස්සයා මහ පාරේ කෑ ගැහුවා. කොහොම හරි මෙයා වටේ කැරකෙද්දි අපේ කට්ටියක් මෙයාට තිරුවාන ගල් වගයක් දීලා පිටරට සල්ලි කොළයක් ඉල්ලුවා. 
“මගෙ ළඟ ඔය ජාතියේ සල්ලි කොළ නෑ. මගේ ළඟ තියෙන්නේ කාඩ් විතරයි."

ගල් ටික ආපහු දෙනකොට තමා මෙයා එහෙම කිව්වේ. ඒ අස්සෙ මෙතනට ආපු මහත්තයෙක් BMG එක්ක කතා කරලා මරු කතාවක් කිව්වා. අර ගල් දුන්න කට්ටියටත් එක්ක තමයි එයා එහෙම කිව්වේ.
“හරි හොඳ සුද්දා. අතේ තිබුණා නම් දෙනවා."

මේක බලන් හිටපු අපිත් එකපාරටම අවුල් වුණා. දකුණු සුඩානෙ ඉඳන් ආපු අපේ මිත්‍ර Mr BMG සුද්දෙක් වුණේ කොහොමද?

කොහොම හරි අපේ යාළුවා ඇල්ලේදී ගොඩක් සතුටු වුණා. ලංකාවේ කට්ටියත් එක්ක නෑවා. එයා ලොකුවට දේවල් ගණන් ගන්න කෙනෙක් නොවන නිසාම නිතරම සතුටින් තමයි හිටියෙ.

I චමිදු නිසල්