මගේ කියැවීම තුළ ගීතයෙන් ලෝකය සොයා ගිය අමුතු ගැඹුරු හදගැස්මක් ඇති පිරිමි පපුවක අයිතිකාරයෙකි; මහාචාර්ය සුනිල් ආරියරත්න. කලාවේ විවිධ ශානර හා ආත්මීය ආලයකින් බැඳුණු ඔහු අප්‍රමාණ දිශානති ඔස්සේ කලාවේත් සාහිත්‍යයේත් ගීතයේත් සිනමාවේත් සොයා ගිය රස භාව මම බොහෝ වර ස්නේහ සිතින් ස්පර්ශ කළේ වචන අතරේ ලෝකයක් කියවන්නට අවැසි ගැඹුර සහ ගැස්ම මට දැනුණු නිසාවෙනි. අවසන මම ඔහු අස නැවතුණේ ෙමසම ෙයහි ක්ෂීර සාගරය කැලඹිණ තිරය මත දිගහැරෙද්දි දෙබස මුනිවතට වඩා මැනවැයි මට සිතුණු නිසාවෙනි.
ඉතින් එන්න... හදසර ආලින්දයට අපි කතා කරන්නම්.
ඔබ අසා සිටිනු මැනව...
I සුනිල් ආරියරත්න කියන මහාචාර්යවරයාගේ සිනමාමය භූමිකාව ගැන මගේ විචාරයේදි මම ඔබට චෝදනාවක් එල්ල කරනවා. ඇයි ඔබ ප්‍රස්තුතමය වශයෙන් රජ කතාවලටම සීමා වුණේ කියලා. ඔබ වැනි නිර්මාණශීලී චින්තකයෙකුට ඇයි චිත්‍රපට නිර්මාණයේදී සීමා මායිම් බිඳගෙන යන්න එච්චර පරක්කු වුණේ?
මට ගොඩක් අය චෝදනා කරනවා මම රජ කතාවලටම සීමාවෙලා කියලා. ඒත් ඒ මගේ පෞද්ගලික ඇල්ම. ඒ නිසා ඒකට කාටවත් අණ පනත් පනවන්න බෑ එහෙම කරන්න බෑ කියලා. ඉදිරියේදීත් මම එහෙම දේවල් කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඓතිහාසික කතා ඔස්සේ කරපු නිර්මාණ තුළින් මම ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.
I සිනමාවේදියෙක් ලෙස ඔබ නිර්මාණය කළ චිත්‍රපට අතරින් ක්ෂීර සාගරය කැලඹිණ මම දකින්නෙ සංධිස්ථානයක් විදිහට. ඔබේ චිත්‍රපට අතරින් මගේ ඇගයීම තුළ වඩාත් ප්‍රශංසනීය වන්නේ ඒ චිත්‍රපටයයි. හිතේ ඉපදුණ පළමු සිතුවිල්ලත් එක්කම ඒ නිර්මාණය ගැන දැන් ඉතින් කතා කරන්න?
සයිමන් නවගත්තේගමගේ නවකතාවක් චිත්‍රපටයකට නගනවා කියන එකම හරිම බැරූරුම් කාර්යයක්. ඔහු මේ රටේ සියලුම ආකාරයේ විචාරකයන් සහ පාඨකයන් එක හිතින් පිළිගත්ත, සම්භාවනාවට පාත්‍ර වෙච්ච ලේඛකයෙක්. එම නිසා ඔහුගෙ නවකතාවක් තිරයට ගේනවා කියන එක හරිම පරිස්සමෙන් කළ යුතු දෙයක්. ක්ෂීර සාගරය කියන්නෙ රජ කතාවක් නෙවෙයි.
I ඔව් ඔබ පළවෙනි වතාවට යටි පෙළ අරුතින් ගැඹුරු දේශපාලන ප්‍රස්තුතයක් ඔස්සේ සිනමා වියමනයක් ගෙත්තම් කරනවා. එම දේශපාලනය අද අප අත්විඳින සමාජය හා ගැලපෙන්නෙ කොහොමද?
මෙම චිත්‍රපටයේ යටි පෙළ දිවෙන දේශපාලනික කතාන්දරයට මම බෙහෙවින්ම ආදරය කළා. මේ නවකතාවත් සිනමාවත් කිසිම දෙයක් ගැන හරියට නොදන්න අය හිතන්නෙ අරගලයෙන් පස්සෙ මම චිත්‍රපටය කළා කියලා. අරගලයත් එක්කත් මේ නවකතාවේ එන සමහර සංසිද්ධීන් පෑහෙනවා. ඒකෙන් මොකක්ද තේරෙන්නෙ. සයිමන් නවගත්තේගම ඒ කාලෙදිත් කොච්චර ඈතක් දකින්න පුළුවන් දර්ශනයක් සහ චින්තනයක් එක්ක ජීවත් වුණාද කියලා.
I ක්ෂීර සාගරයටම හිත ගියේ සයිමන් නවගත්තේගමගේ නවකතා අතරින් ඔබ කැමතිම නවකතාව එයද?
ඇත්තම කිව්වොත් සයිමන්ගෙ නවකතාවලින් මම කැමතිම නවකතාව තමයි ක්ෂීර සාගරය. මම ඇරෙන්න වෙන කිසිම පාඨකයෙක් සහ විචාරකයෙක් කියන එකක් නැහැ තමන් කැමතිම නවකතාව ක්ෂීර සාගරය කියලා. එම නවකතාවේ එන දේශපාලන කතාන්දරය මගේ හදවත සසල කරන ප්‍රවෘත්තියක් වුණා.
I ක්ෂීර සාගරය තුළ ඔබ දකින, ඔබ ආදරය කරන දේශපාලන ස්වරූපය අපි ගැඹුරින් කතා කරමු?
මෙහි එන අධිරාජයාගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කිරීම තුළ මම දකිනවා මේ රටේ දේශපාලනය හෘද සාක්ෂිය සහ පාලකයා අතර මොන තරම් වෙනස්කමක් ඇද්ද කියලා. පළවෙනි වතාවට සයිමන් නරුම ඒකාධිපතියෙකුගේ හෘද සාක්ෂිය නිරාවරණය කරලා පෙන්නුවා. එම දේශපාලනයම තමයි එක් එක් යුගවලදී එක් එක් ස්වරූපවලදි අපි දැක්කෙ සහ වින්දේ.
I ඔබ පිළිගන්නවද ඔබ මෙතෙක් නිර්මාණය කරපු චිත්‍රපට අතරින් ක්ෂීර සාගරය කැළඹිණ කියන්නේ වෙනස්ම සහ හොඳම චිත්‍රපටය කියලා?
හුඟාක් අය මට කියනවා මම කරපු හොඳම චිත්‍රපටය මේ චිත්‍රපටය කියලා. මට හිතෙනවා ඒකට හේතුව මම ඒ චිත්‍රපටය එක්ක හදවතින්ම බැඳී සිටීම කියලා. චිත්‍රපටය ස්ථානගත කරන්නෙ කොහොමද කියලා හිතද්දි ලංකා ඉතිහාසයේ කොතැනකවත් ඒක ස්ථානගත කරන්න බෑ. ලංකාවෙ කිසිම පරිසරයක ස්ථානගත කරන්න බෑ. පොල් ගහක් පෙන්නන්න බෑ. තේ පැළයක් පෙන්නන්න බෑ. මේ අඳින කිසිම ඇඳුමක් අපේ රටේ ඇඳුමක් වෙන්න බෑ. චිත්‍රපටයේ ඉන්නෙ අධිරාජයා, කැරළිකාරයා, දැරිය, හිරිමලා ආදී වශයෙන් මේ චරිත විතරයි. මේ සියල්ල අභියෝගාත්මකයි. ඒ අය වඳින විදිහ, චාරිත්‍ර වෙනස්. මේ චිත්‍රපටය තුළ සියල්ල උඩු යටිකුරු කරලා තියෙන්නෙ. සංගීතය, නැටුම් හැමදේම වෙනස්. උඩරට, පහතරට, සබරගමු, කථකලි, මනිපුරි, මේ ආදී නැටුම් සම්ප්‍රදායන් එකක්වත් චිත්‍රපටයේ භාවිත කරන්න බෑ. කපිල පලිහවඩන කියන නර්තන ශිල්පියා වෙනස්ම නර්තන ශෛලියක් අනුව මේ චිත්‍රපටයේ නැටුම් නිර්මාණය කළා. රෝහණ වීරසිංහටත් මම කිව්වා සංගීත නිර්මාණය කරද්දි මේ චිත්‍රපටයට මට උත්තර භාරතීය සංගීතයත් එපා, දක්ෂිණ භාරතීය සංගීතයත් එපා, එහෙම නැති සංගීතයක් කොහෙන් හරි හොයාගෙන මේ චිත්‍රපටයට ඇතුළත් කරන්න කියලා.
I මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය තුළ මම දැකපු විශේෂත්වයක් තමයි ඉතා සුළු චරිත පවා සාමාන්‍ය චරිතයක් කියලා නොහිතෙන තරමට සූක්ෂමව සහ ඉසියුම් අයුරින් මෙහෙයවා තිබීම. ඒ තරම් විමසුම් ඇසක් යෙදවූයේ ඇයි සහ යෙදවූයේ කොහොමද?
පන්සීයක් පමණ අතිරේක නළු නිළියන් මේ චිත්‍රපටයේ ඉන්නවා. ඒ පන්සීයම යොදාගෙන අපි රූපගත කිරීම් කළේ කොවිඩ් 19 කාලේ. ලේ පරීක්ෂාවන් කරගෙන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ළඟ තියාගෙන තමයි කතරගම අවට කැලෑවල රූපගත කිරීම් කළේ. ඒ වගේම අපි පරීක්ෂණ වට තුන හතරක් තියලා දහස් ගාණක් අතරින් මුහුණු සහ ශරීර ස්වභාව දිහා බලලා තමයි අතිරේක නළු නිළියන් පවා තෝරගත්තෙ. මේ චිත්‍රපටයේ දැරියගේ චරිතය නිරූපණය කරන හරිනි කාව්‍යාංජලී තෝරගන්න ප්‍රධානම හේතුව තමයි ඇයගේ මුහුණේ සහ ශරීරයේ තියෙන අමුතු ස්වභාවය. ලංකාවේ නිළියකගේ ස්වරූපය ඇය ළඟ නෑ. ඇයගේ මුහුණේ තිබුණු අපේ නොවනකම ඒ චරිතයට ඇයව තෝරගන්න ප්‍රබලම හේතුව වුණා.
I බොහෝ චරිතවලට ඉන්දීය නළු නිළියන් ගන්න ඔබ දැරිවියගේ චරිතයට ලාංකික නිළියක් ගත්ත එකත් ඇත්තටම එක්තරා පුදුමයක්?
නෑ ඇත්තටම මුලින්ම කල්පනා කළෙත් එහෙම තමයි. එහෙම ඉද්දි මට මතක් වුණා මගේ කදිර දිව්‍යරාජ චිත්‍රපටයට ආව මේ නිළිය. මම ජැක්සන්ට ඇයව පෙන්නලා ඇහුවා ඔයා මෙයාට කැමති නැද්ද කියලා. ජැක්සන් කිව්වා නෑ එයා හොඳයි, මෙයා හරියටම හරි කියලා.
I කලාව එක්ක ඔබ පැමිණි ගමන දිහා බලද්දි ඔබට වැරදුණු තැන්, ඔබ නොකළා නම් හොඳයි කියන චිත්‍රපට, ගීත, සාහිත්‍ය, ඔබ පසුතැවිලි වෙන තැන් හමුවෙනවද? අවංකවම කතා කරමු?
කලාව තුළ විතරක් නෙවෙයි, අපේ ජීවිතවලත් ආපහු හැරිලා බලද්දි අපිට වැරදුණු තැන් තියෙනවා. මම දැනට දාහකට ආසන්න සින්දු ගාණක් ලියලා තියෙනවා. නමුත් මට අද හිතෙනවා සමහර සින්දු නොලිව්වනම් හොඳයි කියලා. සමහර නිර්මාණ ජනගත නොවී තිබුණනම් හොඳයි කියලා මට හිතෙනවා. සාහිත්‍ය කටයුතු ගැන හිතද්දිත් ලිව්ව සමහර පොත් මුද්‍රණය නොකර හිටියනම් හොඳයි කියලා හිතනවා. මගේ සිනමා ජීවිතයේ මුල් කාලයේ වාර්තාවක් තියන්න මට පුළුවන් වුණා. 1978 දී අනූපමා තිරගත වෙනකොට මම චිත්‍රපට තව දහයක් කරලා තිබුණා. කාටවත් එහෙම තමන්ගේ පළවෙනි චිත්‍රපටය තිරගත වෙද්දි චිත්‍රපට දහයක් කරන්න බැරි වුණා. ඒක වාර්තාවක්. අද මට හිතෙනවා අසවල් අසවල් චිත්‍රපට නොකර හිටියනම් හොඳයි කියලා. නමුත් ඒ ඔක්කොම අතීතයට බාරදීලා වැරදි තැන් නිවැරදි කරගෙන තමයි මේ ගමන මම යන්නෙ.
I ඔබ වැඩිම තෘප්තියක් ලබන්නෙ සාහිත්‍යයෙන්ද? සිනමාවෙන්ද? ගීත රචනයෙන්ද?
මම වැඩිම තෘප්තියක් ලබන්නෙ සංගීත පර් යේෂණ කටයුතුවලින්.
I ඇයි අපිට අලුත් ගීතයක් දැන් අහන්න නොදෙන්නෙ?
දැන් අවුරුදු දොළහක විතර ඉඳන් මම සින්දු ලියන්නෙ නෑ. මගේ චිත්‍රපටයකට ගීතයක් ලිව්වොත් ඇරෙන්න මම ගීත ලියන්නෙම නෑ.
I පෞද්ගලිකව මම හුඟාක් විඳින ගීත රචනාවල පද නිමැවුම් ඔබගේ. මෑතකදි ලියවූ ආලයේ ගාථා සජ්ඣායනා කළා ගීතය වෙනස්ම ආකෘතියක අලංකෘත වචන එකතු කළ ගීතයක්. එහෙම ගී ලියූ ඔබ ගී නොලියනවා කියන එකම වේදනාත්මක පුවතක්. ඇයි එහෙම පුවතක් අපිට අහන්න දුන්නෙ?
මම ගීත ලිව්වෙ උපයන්න නෙවෙයි, මගේ තෘප්තියට. ගීතයක් ලියලා දීලා ඒ ගීතය ගුවන්විදුලි නාලිකාවක ප්‍රචාරය වෙලා ඒ එන ප්‍රතිචාර තමයි මම ලබපු ලොකුම සතුට. මුදල් ලැබුණනම් ලැබුණෙ කැසට් සහ සංයුක්ත තැටිවලට ලියු ගී වලින්. චිත්‍රපටවලට ගීත ලියන්න පටන් ගත්තට පස්සෙ. තෘප්තිය මට මුදල්වලට වඩා හුඟාක් වටිනවා. ඒ තෘප්තිය නැතිවුණාට පස්සෙ මට කිසි දේකින් වැඩක් නෑ.
I ඇයි ඔබ තෘප්තිය නැතිවුණාට පස්සෙ කියලා කියන්නෙ. කොහොමද ඒ තෘප්තිය නැතිවුණේ. නැත්නම් කවුද ඒ තෘප්තිය නැති කළේ?
අලුතෙන් බිහි වූ ගායක ගායිකා පරපුර අතිශය බහුතරයකට මම කැමති නෑ. ඒ ගීත, කටහඩවල්, සංගීතය මම විඳින්නෙ නෑ. මම කැමති නෑ. අංක එක ඒ ගීතවල වචනවලට මම කැමති නෑ. ඒ ගීත බොහොමයක් හුඟාක් දුර්වල තත්ත්වයේ තියෙන්නෙ වචන. ඉතාමත් කලාතුරකින් දක්ෂ ගායකයෙක්, තනු රචකයෙක් ඉඳහිට මට හඳුනා ගන්න පුළුවන්. නමුත් වැඩක් නෑ. අංක එකට මම බැහැර කරන්නෙ නව ගීතවල පද මාලාව. ඊළඟට ඒවායේ තනු සහ ගායනා. ඒ නිසා මම ඒවායෙන් වියුක්ත වෙලා ඈතට වෙලා ඉන්නෙ. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ මම සංගීතය අතහැරියා කියලා. අහන්නෙ නැතුව හොඳ නෑ කියන්න බැරි නිසා මම ඔක්කොම අහනවා. දැන් මම සංගීත පර් යේෂණ කටයුතුවල නියැලී ඉන්නවා. ඒ තමයි මට තෘප්තිමත්ම දේ. මේ දවස්වල මුද්‍රණය වෙමින් පවතිනවා වන්නම් විනිස කියලා පොතක්. පහුගිය කාලෙ මම සංගීතඥයන් දොළොස් දෙනෙක් ගැන ගාන්ධර්ව ආපදාන නමින් පොත්ක් ලිව්වා. මට හිතෙනවා මම මේවා මගේ ජීවිත කාලය තුළ ලියලා තිබ්බෙ නැත්නම් අනාගත පරම්පරාවට ඒ කලාවේදීන් ගැන විස්තර දැනගන්න විදිහක් නැතිවෙයි කියලා. මුත්තුසාමි, රොක්සාමි, මොහොමඩ් සාලි, මේ අය ගැන අද වෙනකම් කවුරුත් ලියන්න උත්සාහ කරලා නෑ. මේ අය මේ රටේ ගීත කලාවට මොන තරම් සේවයක් කළාද? සිංහල ගීත හැදුවෙ මේ දමිළ මිනිස්සු. මේ මිනිස්සු ගැන හොයලා ලියපු එක ගැන මට මහ නිරාමිස සතුටක් තියෙනවා. ලොකු පින්කමක් කළා කියලා මැරෙන මොහොතෙත් මට ලොකු සතුටක් තියෙයි. ගීත කලාව ගැන ආයි දෙයක් කතා කරන්න මම කැමති නෑ, මම තවදුරටත් ගීත නිර්මාණවේදියෙක් නොවෙන නිසා. මම ගීත නොලිව්වා කියලා පාඩුවක් වෙන්නෙත් නෑ. මොකද මගේ පරම්පරාවෙ අයගෙන් ගීත ලිවීම නැවැත්වුවෙ මම විතරයි.
I ඔබ හිතනවද ගීත ක්ෂේත්‍රයේ රික්තකයක් ඇති නොවන තරමට ගී ලියූ ගීත රචකයෙක් කියලා ඔබ?
ඔව්. මම මේ ක්ෂේත්‍රයෙන් අයින් වුණා කියලා කිසිම රික්තකයක් ඇතිවෙන්නෙ නෑ. මම ගීතයක් ලියද්දි පුළුවන් තරම් මගේ වාග් මාලාව පුනරුච්චාරණය නොකර ඉන්න උත්සාහ කළා. මම පුළුවන් තරම් උත්සාහ කළේ එක සින්දුවක ලියපු වචන අනෙක් සින්දුවෙ නොලියන්න. ඒ වගේම ගීතයකදි කොහොමත් භාවිත නොකළ වචන අරගෙන ගීත ලියන්න උත්සාහ කරපු කෙනෙක් මම. ආලයේ ගාථා ගීතයේ චණ්ඩාල වශී බන්ධනය කියන වචනය ඔළුවට වැදුණෙ පත්තරවල පිටු කියවලමයි.
♦ සංජීවිකා
සේයාරූ: සුමුදු හේවාපතිරණ