එදා දවසම පිළිකා රෝහලේ...
අනුරාධා උදයංගනී
උපන් දිනය - ජූලි 31 වැනිදා
මගේ උපන් දිනය ජූලි මාසේ 31 වැනිදා. (හරියටම තව දවසකින් උපන් දිනයයි.) ගිය අවුරුද්දේ මගේ උපන් දිනයට මම මහරගම අපේක්ෂා රෝහලේ ශාන්ති නිවාසයට දානයක් දුන්නා. ඒ දවසේ හවස තේ පැන් සංග්‍රහය මම බාරගත්තා. මහරගම ශාන්ති නිවාසයේ පැවැත්වුණු විවිධ වැඩසටහන්වලට මමත් කිහිප වතාවකදිම සහභාගිවෙලා තිබුණා. ඉතින් පසුගිය කොවිඩ් වසංගතයත් එක්ක අපිට එතැනට යන්න අවස්ථාව අඩු වුණා. ඒ නිසා ගිය අවුරුද්දේ ජූලි 31 වැනිදා වෙනුවෙන් මම මාස තුන හතරක ඉඳන් සූදානම් වුණා. සාද පැවැත්වීම වෙනුවට ඒ මිනිසුන් වෙනුවෙන් මට හැකි දේ කරන්න මට ඕනෑ වුණා. ඉතින් මගේ ක්ෂේත්‍රයේ අය වගේම මගේ නෑදෑයෝ, යාළුවෝ, හිතමිතුරන් සියලු දෙනා එකතු කරගෙන මම ගිය වසරෙදි ඒ දේ කළා. අපි තේ පැන් සංග්‍රහයක් පවත්වලා ඒ රෝගීන්ගේ මානසික සුවය වෙනුවෙන් හවස පොඩි සංගීතමය වැඩසටහනක් පැවැත්වුවා. ඒකෙන් ඒ අය ගොඩක් සතුටු වුණා. ඒ සතුට දැකලා මගේ හිතටත් ලොකු සතුටක් දැනුණා. මට ඒ දවස ආයෙ ආයෙත් මතක් කරලා, ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්.
අමා අක්කා මට කේක් එව්වා
කස්තුරි ජයවර්ධන
උපන් දිනය - ඔක්තෝබර් 12 වැනිදා
මේ වසරේ උපන් දිනයට එහෙම විශේෂ සාදයක් නම් තිබුණෙ නැහැ. හැම වසරකදිම වගේ මේ වසරෙදිත් අමා අක්කා මට කේක් එකක් එවලා තිබුණා. ඉතින් මම දන්නෙවත් නැතිව සංගීත් අයියා අපේ යාළුවෝ කිහිප දෙනෙක් එක්ක උපන් දිනය දා පොඩි 'සප්‍රයිස්' එකක් දුන්නා. ඒ අය එක්ක මම කේක් කපලා සතුටු වුණා. හැබැයි ලොකුවට සාදයක් නම් තිබුණෙ නැහැ. එදා හවස අපි පන්සල් ගියා.
සාද නැතුවට පින් වැඩ කළා...
ඕෂධී හේවාමද්දුම
උපන් දිනය - ජනවාරි මස 3 වැනිදා
පුංචි කාලෙදිනම් මගේ උපන් දිනය වෙනුවෙන් සාද පවත්වලා තියෙනවා. ඉස්සර මගේ අම්මයි තාත්තයි මම වෙනුවෙන් ඒවා ගත්තා. හැබැයි මම රඟපාන්න ආවට පස්සෙ ටිකෙන් ටික තේරෙද්දි එහෙම ලොකුවට මගේ උපන් දිනය වෙනුවෙන් සාද ගත්තෙ නැහැ. ගෙදර අය, ළඟම අය, පවුලේ අය එකතුවෙලා එදාට කේක් කැපුවට ලොකුවට සාද අරගෙන නැහැ. හැබැයි හැම වසරකදිම ඒ දිනය වෙනුවෙන් කුමක් හෝ පින් අතේ වැඩක් නම් කළා. සමහර වසරවලදි මම සාංඝික දානයක් දුන්නා. පත්තිනි මෑණියන්ට දාන දුන්නා. එහෙම නැත්නම් අසරණ, පිළිසරණක් අවශ්‍ය මිනිසුන්ට උදව් කළා.
මේ වසරේ ජනවාරි තිබුණු මගේ උපන් දිනයටත් එහෙම පිළිසරණක් අවශ්‍ය පවුල් කිහිපයකට උදව් කළා. කොහොමත් මගේ Facebook fan page එකට සෑහෙන මිනිසුන් උදව් ඉල්ලලා ඉල්ලීම් කරලා තියෙනවා. මම එහෙම උදව් කරන නිසා ගොඩක් අය මගෙන් උදව් ඉල්ලලා පණිවිඩ දාලා තියෙනවා. ඉතින් ඒ අතරින් මට වදයක් නොවන, ඇත්තටම පිළිසරණක් අවශ්‍ය පිරිස තෝරාගෙන ඒ අයගේ අවශ්‍යතාවයන් මට පුළුවන් විදිහට මම ඉටු කරලා තියෙනවා. සමහර අයට මගේ දන්න අය මාර්ගයෙන් මම උදව් කළා. ඒ අනුව මම ඒ අයට අවශ්‍ය වියළි ආහාර වගේම දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනික පොත්පත් තෑගි කළා. ඒ පවුල්වල තත්ත්වය බලලා මම මේ වසරේ උදව් කළා. සමහර ගැබිණි මව්වරුන්ට ඒ අයට අවශ්‍ය දෑ මට පුළුවන් විදිහට ලබා දුන්නා. ඇඳුම් පැළඳුම් දුන්නා. ඉතින් ඒ අයට ඒ තෑගි ලබාදීලා මේ අවුරුද්දේ මගේ උපන් දිනයෙදි මම ගොඩක් සතුටු වුණා.
නිෂ්පාදකතුමාගෙන් කේක් ගෙඩියක් ලැබුණා...
මනෝජා ප්‍රනාන්දු
උපන් දිනය - ජූලි 12 වැනිදා
මේ අවුරුද්දේ ජූලි 12 වැනිදා යෙදිලා තිබුණු මගේ උපන් දිනය දවසේ සුපුරුදු පරිදි මම මගේ නිදහස් ජීවිතේ ගත කළා. එදා මම පන්සල් ගියා. ගෙදර අයත් එක්ක සතුටින් ගත කළා. එදා මම රෑපගත කිරීම්වලට දින දීලා තිබුණේ නැහැ. හැබැයි මගේ උපන් දිනයට පස්සේ මම මුලින්ම 'සිදාදියේ සමනලියෝ' ටෙලිනාට්‍යයේ රෑගත කිරීම්වලට ජූලි මාසේ 15 වැනිදා සහභාගි වුණා. එදා මම හැමෝටම කේක් අරගෙන ගියා. හැබැයි අපේ නාට්‍යයේ නිෂ්පාදකතුමා වන පණ්ඩුක වීරසේකර මහතා මම වෙනුවෙන් කේක් එකක් ගෙනත් තිබුණා. කොහොමත් ඔහු ටෙලිනාට්‍යයට සම්බන්ධ හැම ශිල්පියෙකුගේම උපන් දිනය වෙනුවෙන් කේක් සූදානම් කරලා තිබුණේ. ඉතින් එදා කේක් වැඩියි. හැමෝම කේක් කෑවා. ඒ මගේ කලා ජීවිතේ රෑගත කිරීමක් අතරේ උපන් දිනය වෙනුවෙන් කේක් එකක් කපපු පළමු වතාව. ඒ නිසා 'සිදාදියේ සමනලියෝ' මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
ගිරවෙකුයි වී කුරුල්ලොයි නිදහස් කළා
දුමේෂ් බණ්ඩාර
උපන් දිනය - අප්‍රේල් 02 වැනිදා
මගේ උපන් දිනය පටන් ගන්නෙම මගේ යාළුවන් කිහිප දෙනෙක් එක්කයි. අප්‍රේල් 1 වැනිදා රූ මගේ යාළුවෝ කිහිප දෙනෙක් මට පොඩි 'සප්‍රයිස්' පාටියක් දුන්නා. ඒ අය යාළුවන්ගේ පාටියකට මාව අප්‍රේල් 1 වැනිදා රූ එක්කගෙන ගිහින් දොළහ වෙද්දි තමයි මට සුබ පතලා මේක මම වෙනුවෙන් කියලා කිව්වේ. ඉතින් මගේ උපන් දිනය දවසේ මම උදේ දහයට විතර නැගිට්ටා. ඊටපස්සේ මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ළඟ කුඩ යට හෙවණේ ඉඳගෙන බත් පාර්සල් විකුණන ආච්චි අම්මලාගෙන් බත් පාර්සල් විසි පහක් මිලදී ගත්තා. ඒ එක්කම යෝගට් විසි පහකුයි වතුර බෝතල් විසි පහකුයි අරගෙන ඒ අවට ඉන්න අහිංසක මිනිසුන්ට බෙදලා දුන්නා. ඒවා කරලා ඉවරවෙලා මම බෙල්ලන්විල උද්‍යානය ළඟ කුරුල්ලන් නිදහස් කරන තැනින් ගිරවෙකුයි වී කුරුල්ලන් ටිකකුයි අරගෙන ඒ අහිංසක සතුන්වත් නිදහස් කළා. ඒ දෙයින් මගේ හිතට පුදුම සතුටක් ලැබුණා. ඒ දේවල් කරලා හවස මම මගේ යාළුවන්ට පොඩි සාදයක් දුන්නා.
I දිශානි
සේයාරුව : අන්තර්ජාලයෙන්