ඔයාලට මතක ඇති පහුගිය සතියක මහාසෑය ළඟදී භික්ෂූන් වහන්සේ කෙනෙක් එක්ක ධර්ම සාකච්ඡාවක් පත්වපු සුදු නෝනා. ඔන්න පහුගිය පොසොන් පෝය දවසේ ඒ සුදු නැන්දා කරපු සත්කාරයක් ගැන වීඩියෝවක් පහුගිය සතියේ දාලා තිබුණා.
''අද ලංකාවට හරි විශේෂ දවසක්. අද තමයි අරහත් මහින්ද හිමියන් ලංකාවට බුදු දහම අරගෙන ඇවිත් තියෙන්නෙ. ලාංකිකයෝ බොහොම සතුටින් ඉන්නේ. මම අද අයිස්ක්‍රීම් බෙදන්න තීරණය කළා.''
කොහෙන්දෝ සුදු සාරියකුත් ඇඳගත්ත සුදු නැන්දා යනවා පෞද්ගලික වෛද්‍ය සායනයක් තියෙන තැනකට. එතන පුංචි රෝහලක් වගේ තැනක්. කොහොමහරි කට්ටියත් එක්ක කතාකරන්න උත්සාහ කළත් සමහරුන්ට ඉංග්‍රීසි බෑ. පෝය නිසා වෛද්‍යවරුත් නෑ. ඒත් සුදු නැන්දා වැඩේ අතෑරියෙ නෑ. කොහොමහරි එතන එක්කෙනෙක්ව අල්ලගෙන, කතාකරලා විස්තර කිව්වා.
''මෙතන අයට අයිස්ක්‍රීම් පන්සියයක් බෙදාදෙන්න මම සූදානම් කරල තියෙන්නෙ.''
ඉතින් ඔන්න කට්ටිය එකතුවෙලා පොඩි මේසයක් එහෙම දාගෙන අයිස්ක්‍රීම් ලොරියකින් බඩු ටිකක් ගෙනැල්ල අයිස්ක්‍රීම් බෙදන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දි දිග පෝලිමක් එහෙම හැදුණා. සායනයේ හිටපු කාර්ය මණ්ඩලයේ කට්ටියත් එකතුවෙලා වැඩේ කරගෙන ගියා. එළියට ඇවිල්ල පෝලිම දිහා බලලා සුදු නැන්දා කිව්වෙ මෙහෙම කතාවක්.
''ඔව්... සෑහෙන කට්ටියක් ඇවිල්ලා. මම කවදාවත් දැකලා නෑ මේ තරම් දිග පෝලිමක්. වාව්....''
වැලිගම වැල්ලේ අතිවිශේෂ රස බැලූ CIA සුද්දා
මෙයත් මීට කලින් දවසක අපිට හම්බවෙච්ච කෙනෙක්. ඔන්න පහුගිය සතියේ මෙයා ගිහිල්ලා තිබුණේ වැලිගම. වැලිගම ගිහිල්ලා බීච් එකේ කරක් ගහන ගමන් මෙය කල්පනා කරනවා.
''මේක සංචාරක ප්‍රදේශයක්ද? නැත්තං ධීවර ප්‍රදේශයක්ද?''
කොහොම හරි වෙරළට බැහැලා යාළුවා ඇවිදගෙන යනකොට දැක්කා, අපේ කට්ටිය ටිකක් එකතුවෙලා එක තැනක ඉන්නවා. මුලින්ම හිතුවේ මොනවාහරි විකුණන තැනක් කියලා. ගිහිල්ලා බැලින්නම් හොඳට ඇඳ කියාගත්ත අංකල්ලා ටිකක් පොඩි අඩියක් ගහනවා. ඔෆිසීයක කට්ටියක් වගේ.
හිමින් සැරේ සුදු යාළුවත් මෙතනට ගොඩවුණා.
''සර් ඔයාගේ රට මොකක්ද...?''
''මම නෙදර්ලන්තෙ ඉඳන් ආවේ...''
''ආ මගේ ආසම රට නෙදර්ලන්තෙ...''
''මොනතරම් අහම්බයක්ද? මගේ ආසම රට ශ්‍රී ලංකාව...''
කට්ටිය කතාව පටන් ගත්තෙ ඔය විදියට. පස්සෙ අන්කල්ලා කට්ටියට එකතුවෙලා අපේ සුදු යාළුවත් එක්ක පින්තූර ගත්ෙතාත් දඩි බිඩි දඩි ගාලා. සුදු යාළුවා මඤ්ඤංවෙලා හිටියෙ. හැබැයි අතහැරියෙ නෑ.
එයා අපේ කට්ටිය බොන්නේ මොනවද කියලා බලලා, අමුවෙන්ම ගල් අරක්කු ෂොට් එකකුත් ගැහුවා.
''වාව්... ඒක මරු. හිතුව තරම් සැර නෑ. මම ලංකාවේ ගෙවල්වල හදලා තියෙන ඒව බීල තියෙනවා...''
තරමක් සප්පායම් වෙලා හිටපු අංකල් කෙනෙක් කිව්වා මෙයා මෙයා සී.අයි.ඒ.කාරයෙක් කියලා. සමහරු සිගරට් ඉල්ලුවා. කොහොම හරි සුදු යාළුවට මෙතැනදී ආතල් කෝටියක් විතර හම්බවුණා. කොහොම හරි සුදු යාළුවා මේ කට්ටියට සමුදුන්නේ බොහොම අමාරුවෙන්.
ත්‍රින්කොමලී ආ ඉන්දියන් කෙලී
මේ අක්කා ටිකක් ඉන්දියාවේ ප්‍රසිද්ධ කෙනෙක්. එයාට ටිකක් ලොකු YouTube channel එකකුත් තියෙනවා. කොහොමහරි මෙයා පහුගිය දවස්වල ලංකාවේ තිරිකුණාමලේ අැවිද්දා. එයාට උදව් කරන වැඩේ භාරගෙන තිබුණේ තිරිකුණාමලේ අංකල් කෙනෙක්.
''ත්‍රිකුණාමලේ බොහොම ලස්සන වෙරළක් තියෙනවා. හමුදාව තමයි මේ ප්‍රදේශයේ වෙරළ පාලනය කරන්නේ. මෙතන හරිම පිරිසිදුයි. නිල්පාට වතුර.''
බීච් එක පැත්තට ගිහිල්ලා තනියම නා කියාගන්න ගමන් මෙයා කිව්වේ ඔහොම කතාවක්. කොහොම හරි මෙයා වැඩිපුර කතා කළේ හින්දි භාෂාවෙන්. ඒ නිසා සමහර දේවල් අපිට තේරුණේ නෑ.
ත්‍රිකුණාමලයේ නගරයේ සැරිසරන මුවෝ දැකලා ඉන්දියන් අක්කා ටිකක් පුදුම වුණා. කොහොමත් මේ පැත්තෙ නගරෙට ආපු මූවෝ කියන්නේ අපූරු දර්ශනයක්. පස්සේ මෙයා කෝවිල් එහෙමත් ගියා. කොහොමහරි හෙළ බොජුන්හලකට ගිහිල්ලා අපේ කාන්තාවො ඒකේ වැඩකරන විදිහ දැකලා අක්කා සෑහෙන්න සතුටු වුණා. කෑම රසයි කියලත් කිව්වා.
''ලංකාවේ කාන්තාවන්ට රජයෙන් මේ වගේ තැනක් හදලා තියෙන එක බොහොම අපූරුයි. මේක හරි හොඳ අදහසක්...''
I චමිඳු නිසල්