2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

අවුරුදු ගාණක් දැක්ක හීනයට නිමිත්තක් හම්බවුණේ චීනයේදි - මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:02 95

 බෝලයක් විසි කරපු චීන කෙල්ලක් මාව මනමාලයෙක් කළා 

Q සිහින සිහිනයෙන් ඇහැරවා යථාර්ථය වෙත මුදාහල තැන දැනෙන සතුට අනන්තයකි. මක් නිසාද යත් සීමාවක් ඒ සතුටේ කොතැනකවත් සලකුණු නොවන හෙයින්මය. 

''කවදා හරි පොතක් ලියන හීනයක් විශ්වවිද්‍යාලයට යන කාලයේ ඉඳන්ම මට තිබුණා.'' ඒ හීනය සැබෑ කරගත් සතුටත් රැගෙන ආදරණීය පත්තරකාර සගයා ඉරිදා ලංකාදීප මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ පැමිණියේය. මා ඔහු පිළිගත්තේ මකර දේශයේ සිට රැගෙන ආ අත්දැකීම් කන්දරාවක් රසවිඳිනු රිසියෙනි. එළැඹෙන අගෝස්තු 8 වැනිදින සවස 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී ''මකර දේශයේ සිට'' ග්‍රන්ථය ජනගත කෙරෙන අතර එම සන්ධ්‍යාව විඳගන්නට ඔබවෙත විවෘත ආරාධනාවක් කෙරේ.

Q මකර දේශයේ සිට... හරි ඉතින් කතා කරමු පොතට අකුරු එකතු කරන්න හිතපු තැන ඉඳන්ම?

පොතක් ලියන්න නිමිත්තක් හොය හොයා හිටපු මට 2018 අවුරුද්දේ මාස දහයක කාලයකට චීනයට යන්න හම්බවුණා. ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ ආරාධනාවකට අනුව ඉරිදා ලංකාදීපය පුවත්පත නියෝජනය කරමින් තමයි මට චීනයට යන්න ලැබුණේ. බීජිංවල හිටියත් මාස දහය පුරා චීනයේ ප්‍රාන්ත එකොළහක ඇවිදින්න මට ලැබුණා. එහෙ ඉද්දි විවිධ හමුවීම්, සංස්කෘතික ක්‍රියාකාරකම් වගේම ජීවිතේ කවදා හරි යන්න ආසා තැනක් වෙච්ච චීන මහා ප්‍රාකාරය බලන්න යන්නත් පුළුවන් වුණා. ඒ සංචාරයේ අත්දැකීම් හරිම චමත්කාරයක් වින්දනයක්. ඉතින් මට හිතුණා මම වින්ඳ, මට දැනුණු චීනය හා බැඳුණු ඒ හැම මතකයක්ම පොතක පිටු අතරටම එකතු කරන්න ඕනෙ කියලා. 

Q භූගෝලීය, සංස්කෘතික වෙනස සංචාරයකදි අත්විඳීම සාමාන්‍ය දෙයක්. එහෙත් සංචාරයකදි හමුවන මිනිසුන් ඇසුරේ ඔවුන්ගේ සිනහව සහ කතාබහ ඇසුරෙන් විඳින අත්දැකීම් හැමදාමත් වෙනස්. ඒ වෙනස ලංකාවෙන් චීනයට ගිය ගමනේදී දැනුණු විදිහ කොහොමද?

අවුරුදු පන්දාහකටත් එහා අතීතයක ඉඳන් ගොඩනැගිච්ච සංස්කෘතියක් චීනයට තියෙන්නෙ. සාම්ප්‍රදායික ඒ සංස්කෘතියේ හැඩරුව තාමත් චීනයේ දකින්න තියෙනවා. අපි එහිදී හුබෙයි පළාතේ ෂන්සියා කියන ගම්මානයට ගියා. එහිදී අපි චීනයේ සාම්ප්‍රදායික මංගල උත්සවයකට සහභාගි වුණා. විදේශිකයන් එහෙට ගියාම ඔවුන්ගේ චාරිත්‍රයක් තියෙනවා. මුලින්ම අපිව බිම ඉන්දෙව්වා. තට්ටු දෙකක ගෙයක් ඉන් එහායින් තිබුණා. එතෙන්දි මනමාලියක් ලෙසින් සැරසුණු යුවතියක් පිරිමි අයගෙන් තමන් කැමති පිරිමියා දිහාට බෝලයක් විසි කරනවා. මට තමයි ඒ බෝලය ඇය විසි කළේ. මම ඉතින් මනමාලයෙකුට ඇන්දා. චීනයේ තියෙන තවත් ලස්සන දූපතක් තමයි හයිනාන් දූපත. අපි එහෙ ගියා. ඔන්න සාම්ප්‍රදායික සංගීතයක් ඇහෙනවා.කට්ටියක් දෙපැත්තෙ ඉඳන් උණ බට ළං කරනවා. ඈත් කරනවා. අපි ඒ උණ බටවල කකුල් වද්දගන්නෙ නැතුව  නට නටා යන්න ඕනෙ. ඒ උණ බට ලී නැටුම නමින් තමයි එය හඳුන්වන්නේ. එවැනි සංස්කෘතික අත්දැකීම් අපි එහෙදි සජීවීව අත්වින්දා. 

Q ඔබට චීනයේදී මුණගැසුණේ මිත්‍රශීලී ජනතාවක්ද? නැත්නම් කොයි විදිහේ ගති සොබා පෙන්වන ජනතාවක්ද? 

මම දැක්ක දෙයක් තමයි එයාලා හුඟාක් වෙලාවට ඉන්නෙම ජංගම දුරකථනයත් එක්ක. පාරේ ගියත් යන්නෙ ජංගම දුරකථනය දිහා බලාගෙන. අවට පරිසරය ගැන එයාලා අවධානය දෙනවා හරි අඩුයි. ඒත් ඒ අය කතා කරද්දි, හිනා වෙද්දි හරි මිත්‍රශීලීයි. 

Q මේ හැම දෙයක්ම පොතේ පිටු අස්සේ අකුරු විදිහට හම්බවෙනවද?

මම ගියා හයිනාන්, සිචුආන්, යුන්නාන්, ග්වන්දොන්ග්, ගුයිජොවු, ගන්සු, ෂාන්සි, ජියන්ග්සු, ටියන්ජින්, ෂාංහයි, හුබෙයි කියන ප්‍රාන්ත එකොළහටම. එක ප්‍රාන්තයක අපිට හුඟාක් සංචාරය කරන්න ලැබුණෙ නැහැ. දවස් දෙකක් පමණයි සංචාරය කළේ. ඒ ප්‍රාන්තය හැර අනිත් හැම ප්‍රාන්තයකදිම වින්ඳ අත්දැකීම් පොතේ තියෙනවා. ඒ වගේම එහිදී සිදුවූ විවිධ හමුවීම්, සංස්කෘතිකමය තොරතුරු සියල්ල පොතේ තියෙනවා. චීනයේදී මම වින්ඳ ලස්සනම අත්දැකීමක් තමයි චීන මහා ප්‍රාකාරය බලන්න ගිය ගමන. ඒ වගේම පැන්ඩා කෙනෙක් සියැසින් දකින්න තිබුණු ආසාව. පුංචිම පැන්ඩගේ ඉඳන් ලොකු පැන්ඩා වෙනකම් පැන්ඩලා යායක් මම දැක්කා. මම ඒ විදිහට දැක්ක, වින්ඳ හැම අත්දැකීමක්ම මෙම පොතේ තියෙනවා. ඒ වගේම හුබෙයි ප්‍රාන්තයේ තියෙනවා ලෝකයේ තියෙන විශාලම වේල්ල. ඒ වේල්ල බලන්න ගිය ගමන ගැන මම පොතේ ලිව්වා. 

Q උපුල් ඔබ හිතනවද චීනයට සංචාරයකට යන්න ඉන්න කෙනෙකුට මකර දේශයේ සිට යනුවෙන් ඔබ ලියූ පොත අංශුමාත්‍රික හෝ මඟපෙන්වීමක් කියලා?

චීනය ගැන, චීන සංස්කෘතිය ගැන උනන්දුවක් දක්වන, චීනයේ අනගි නිමැවුම් ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මම හිතනවා මගේ පොතෙන් චීනයේ යම් ස්ථාන සහ සංස්කෘතික නැමියාවන් ගැන අවබෝධයක් ලැබෙනවා කියලා. 

Q මාධ්‍ය ජීවිතයේ රස මතක අවුස්සන තැන් ගැන අතීතාවර්ජනයක යෙදෙද්දි හිත ගිහින් නවතින තැන් හුඟාක් ඇති. මතක දිගේ යමුද ඒ ඒ තැන්වලත් ඇවිදින්න?

මාධ්‍යයට ආපු ගමන අහම්බයක්. උසස් පෙළ කරලා ප්‍රතිඵල බලාගෙන ඉන්න කාලේ ඉරුදින පුවත්පතට සම්බන්ධ වෙන්න හේතුව ඒ කාලේ දැනුණු ආර්ථික ප්‍රශ්න. ලේඛකයෙක් වෙන්න වුවමනාවක් තිබුණට මාධ්‍යවේදියෙක් වෙන හීනයක් කවදාවත් මගේ තිබුණේ නැහැ. ඒත් අවසානයේදී මම මාධ්‍යවේදියෙක් වුණා. දැන් මම ඒ ජීවිතය විඳිනවා. ඉරුදිනේ ඉන්න කාලේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්න ගිය මම ආයෙමත් මාධ්‍ය ජීවිතයේ තැනක් හොයාගෙන නැවතුණු තැන තමයි ඉරිදා ලංකාදීපය. ඉරිදා ලංකාදීපයට ආ ගමනෙදි දිනපතා ලංකාදීප කර්තෘ සිරි රණසිංහ, ඉරිදා ලංකාදීප හිටපු කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත සහ එහි හිටපු නියෝජ්‍ය කර්තෘ වූ ප්‍රේමකීර්ති රණතුංග යන මාධ්‍ය ප්‍රවීණයන්ගෙන් ලද සහාය, මඟපෙන්වීම කවදාවත් අමතක වෙන්නෙ නැහැ. මගේ මතකයේ හැටියට 2014 පෙබරවාරි 10 හෝ 11 තමයි මම ඉරිදා ලංකාදීපයට ආවේ. ඕනෑම දෙයක් රසද නීරසද කියන මනෝභාවයට පරිවර්තනය වෙන්නෙ අපේ චින්තනය අනුව. කටුක තැන්, රිදුණු තැන්, දරාගැනීම් ජීවිතය දිගේ ඇවිදිද්දි හමුවෙනවා. මට හිතෙනවා ජීවිතය කියන්නෙ රස, අමුතු, වින්දනීය තෙම්පරාදුවක් කියලා. 

I සංජීවිකා
සේයාරූ : අන්තර්ජාලයෙන්