2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

ඔහ්... ඉංග්‍රීසි දෙබස් කණපිට! ඒක හරිම විනෝදයක්

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 109

අනෙක් අතට, ගෙවුණු 19 වැනි සියවසේ අවසාන භාගය වනවිට කලාත්මක රසවින්දනය පිණිස ඉන්දියාවේ නූර්ති හා ස්වදේශීය නාඩගම් ප්‍රදර්ශන මුදල් ගෙවා ප්‍රවේශපත්‍ර ලබාගෙන නැරඹීමට පුරුදු වී සිටී මෙරට ප්‍රේක්ෂක සමූහයට තත්කාලීන 20 වැනි සියවසේ මුල් වර්ෂයේම නව අත්දැකීමක් වශයෙන් සිනමා ප්‍රදර්ශනය හිමිවීමට එක් අතකින් එතෙක් නාට්‍ය කලා සේවනයේ යෙදීමේ තවත් වර්ධනීය අවස්ථාවක් ලෙස සිනමාව කලා සේවනය සිදු වීමට ගැලපෙන පසුබිමක් නිර්මාණය වී තිබිණි.

වර්ෂ 1903දී සිනමාව විෂයය අළලා මුල්කාලීනව භාවිත වූ වර්ගීය යෙදුමක් ව ප්‍රචලිත වූ ‘බයිස්කෝප්’ නාමකරණයෙන් යුතුව එළිමහන් ප්‍රදේශවල සවිකරන ලද තාවකාලික කූඩාරම්වල පවත්වාගනිමින් තවදුරටත් සංචාරක චිත්‍රපට ප්‍රදර්ශන අත්දැකීම ව්‍යාප්ත කළ වොරික් මේජර් නමැති ඉංග්‍රීසි ජාතිකයෙක් එතෙක් සීමිත පිරිසකගේ අත්දැකීමක් වූ චිත්‍රපට නැරඹීම කාටත් පොදු අත්දැකීමක් බවට පත් කළේය. ‘පාතේ’ නමැති ප්‍රංශ සිනමා සමාගමේ බොම්බායෙ ශාඛාවෙන් චිත්‍රපට ලබා ගෙන සංචාරක චිත්‍රපට ප්‍රදර්ශකයෙක් ලෙස චිත්‍රපට ප්‍රක්ෂේපන යන්ත්‍රයක් ද චිත්‍රපට කිහිපයක් ද ගෙන බ්‍රිතාන්‍යයේද ලංකාවේද ගම්දනව්හි සැරිසැරූ ඉන්දියාවේ අර්දේශර් ඇම්.අයිරාණි යනු පසුකලෙක පළමුවෙනි ඉන්දියානු කතානාද සිනමා කෘතියේ නිෂ්පාදක වූ තමා බව සිය අත්දැකීම් මගින් දක්වා තිබේ.

මේ අතර පෙර සඳහන් ඒ.ඩබ්ලිව්. ඇන්ඩ්‍රි විසින් වර්ෂ 1903දී ‘කෝරික් බයස්කෝප්’ නමින් මෙරට පළමුවෙනි වරට සිනමා සමාගමක් පිහිටුවා තිබේ. එමගින් ආනයනය කරන ලද ප්‍රක්ෂේපන යන්ත්‍රයක් ශාලාවක් තුළ යොදා ගනිමින් එහි යුරෝපයේ නිහඬ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සිදු කොට තිබේ. ඒ කොළඹ මල්වත්තේ පැගෝඩා හෝටලය තිබූ ස්ථානයේ ය. එහි කොරික් බයිස්කෝප් තිරය සවිකර තිබී ඇත්තේ ශාලාව මධ්‍යයේය. කොරික් බයිස්කෝප් ශාලාවේ ආසන පැනවීම පළමුවෙනි පන්තිය, දෙවෙනි පන්තිය හා ගැලරිය යනුවෙන් කොටස් 03කට බෙදා තිබිණ. පළමුවෙනි හා දෙවෙනි පන්තිවල ප්‍රවේශපත්‍රවල මිලගණන් පිළිවෙළින් ශත 25ක් හා ශත 15ක් වූ අතර ගැලරියේ ප්‍රවේශපත්‍රයක මිල ශත 10ක් විය. ශාලාවේ තිරය මත පතිත වන චිත්‍රපටය වැඩි මිල ගෙවූ පිරිස් බයිස්කෝප් පෙන්වන ප්‍රක්ෂේපනය යන්ත‍්‍රය පැත්තෙන්ද, එසේ නොවන ගැලරියේ පිරිස් තිරය පිටුපසින්ද සිට වාඩිවී චිත‍්‍රපට නැරඹූ බව ඩී.වී. සෙනෙවිරත්න 1958දී පළකළ ‘චිත‍්‍රපට කලාව’ ග‍්‍රන්ථයේ සඳහන් කරයි.

නිහඬ චිත්‍රපට පමණක් ප්‍රදර්ශනය කළ බැවින් ඒවා නැරඹීමේදී ප්‍රේක්‍ෂකයන් ඒ ඒ ජවනිකාවල අදාළ අන්තර්ගත දැන ගත්තේ කොරික් බයස්කෝප් තිරය මත අන්තර්-ශීර්ෂ වශයෙන් පතිත වූ ඉංග්‍රීසි අකුරින් සඳහන් වූ වාක්‍ය ඛණ්ඩ කියවා බැලීමෙනි. තිරය පිටුපස බංකු මත වාඩිවී චිත්‍රපට නැරඹූ ගැලරියේ ප්‍රේක්‍ෂකයන්ට තිරය මත පතිත වූ රෑපාවලිය මනාසේ දිස්වුවද ඉංග්‍රීසි වාක්‍ය නොපිටට ප්‍රදර්ශනය වීම විනෝදය දනවන්නක් විය.  

මේ අතර සංචාරක චිත්‍රපට ප්‍රදර්ශනයේ යෙදුණු ‘බයිස්කෝප්’ පෙන් වූ වොරික් මේජර් පවත්වාගෙන ගිය කොළඹ බේබෲක් පෙදෙසේ තිබූ ‘එම්පයර්’ නමින් එය කඩා බිඳ හෙලූ මෑතක් වන තුරුම මෙරට පැරණිතම සිනමා ශාලාව ලෙස ගෞරවාදරයට පත්විය. මේ අතර මරදානේ පැවති ‘පැවිලියන්’ නමින් වූ නාට්‍ය කලාව සඳහා කැපකොට තිබූ ශාලාවක් වොරික් මේජර් මිලදී අත්පත් කොටගෙන එය නිසි නඩත්තුවක් නොමැතිව පැවති අබලන් භාවයෙන් මුදාගෙන සහමුලින්ම අලුත්වැඩියා කොට ‘පැලස්’ නමින් චිත්‍රපට ප්‍රදර්ශනයට වෙන් කරගත්තේය. මරදාන නගර මධ්‍යයේ පිහිටීම ම සිනමා ප්‍රදර්ශනයට යෝග්‍යවන ඉඟියෙන් අනුදත් වොරික් මේජර් තමා සිනමාශාලා හිමියකු වීමේ අරමුණෙන් කටයුතු කළ සිනමා ව්‍යාපාරිකයෙකු විය.

අද්‍යතනයේ චිත්‍රපට ශාලාවක් යනු සිනමා ප්‍රේක්ෂකයන් උදෙසා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා විශේෂයෙන්ම ඒ වෙනුවෙන් නිර්මාණය කර ඇති ස්ථානයකි. එය උසස් තත්ත්වයේ ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ සහිත විශාල තිරයක චිත්‍රපට නැරඹීමට ප්‍රේක්ෂකයන් යන ස්ථානයකි. චිත්‍රපට ශාලා සාමාන්‍යයෙන් පුළුල් තිරයක්, ප්‍රක්ෂේපන යන්ත්‍රයක් සහ ශබ්ද පද්ධතියකින් සමන්විත එක් ප්‍රේක්ෂාගාරයකින් කාලාන්තරයක් පැවතියද අද්‍යතනයේදී එවැනි ප්‍රේක්ෂාගාරය කිහිපයකින් සැදුම්ලත් සිනමා සංකීර්ණ ස්වභාවයකින් පවතී.

ප්‍රවේශපත්‍රයක් මිලදීගෙන පැමිණි ප්‍රේක්ෂකයන් සෑම කෙනෙකුටම කිසිදු බාධාවකින් තොරව සුවපහසුවෙන් චිත්‍රපටය අත්විඳගැනීමට ඉඩ සලසමින් ආසන මෙන්ම ආසන පේළි ද සකසා ඇත. පෙර මෙන් නොව වර්තමානයේ චිත්‍රපට ශාලා යනු අද්විතීය සිනමා අත්දැකීමක් ලබා දෙන ස්ථානයක් වශයෙන් පිළිගන්නා අතර, ප්‍රේක්ෂකයා වටා සකස් කොට ඇති ශබ්ද පද්ධතිය සහිත අතිපුළුල් තිරය මගින් ප්‍රේක්ෂක අත්විඳගැනීම වඩාත් තියුණු කරන්නට ඉඩ සලසයි. ප්‍රේක්ෂකයා යනු චිත්‍රපටය අත්දැකීමක් වශයෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් එන චිත්‍රපට ලෝලියෙකු ලෙස පිළිගැනීම දියුණු සිනමාහලක කාර්ය මණ්ඩලයේ පරම වගකීම බවට අද පත්ව තිබේ.

I ආචාර්ය  සෙනේෂ් දිසානායක බණ්ඩාර