නිම් වළල්ලේ ප්‍රධාන චරිතය සදහා තෝරා ගැනුණේ කිසි දිනෙක වේදිකා නාට්‍යයක හෝ රඟ පා නොසිටි නිශ්ශංක අමරසිංහය. නිම්වළල්ල තුළින් මනා රංඟන හැකියාවක් ප්‍රකට කළ නිශ්ශංක ඉන්පසු කිසිදු චිත්‍රපටයකට දායක නොවීම අභාග්‍යයකි. නිම්වළල්ට දායක වූ සියල්ලන් පාහේ එයට දායක වූයේ නොමිලයේය.
එහි මංගල දර්ශනය පැවැත්වූයේ එවක අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙනි. නිම්වළල්ල සියලු දෙනා විසින්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස ඇයගෙන් සහතිකයක්ද රන්ජිත් ලාල්ට ලැබිණි.
නිම්වළල්ල ඉහළ ආදායම් වාර්තා නොතැබුවද එහි වැය පියවා ගැනීමට සමත් විය. චිත්‍රපටයේ නිෂ්පාදකයා වූයේද රන්ජිත් ලාල්ය. සත්‍යවශයෙන්ම පාසල් සිසුවකු වූ ඔහුට මුදල් තිබුණේ නැත. ඒ සඳහා වූ සියලු බරපැන දැරුවේ ඔහුගේ පියා වූ මිනුවන්ගොඩ පීල්ලවත්තේ ඩේවිඩ් සිල්වා මහතාය.
නිම්වළල්ල අධ්‍යක්ෂණය කිරීමෙන් පසු රන්ජිත් ලාල් යළි වෘත්තාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය නොකළ ද පසුව රජයේ චිත්‍රපට අංශයට සම්බන්ධ වී අගනා වාර්තා චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළේය. සිනමාව හා සංගීතය පිළිබඳ ඉතා පුළුල් දැක්මක් හා දැනුමක් තිබූ ඔහු තම දැනුමෙන් ප්‍රයෝජන ගත්තේද යන්න සැක සහිතය.
52 වසරකට ඉහත නිම්වළල්ලෙන් උපන් බොහෝ දෙනෙක් පසුකාලීනව විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් හා නම රුන්දූ පුද්ගලයන් බවට පත් වූහ. එම පිරිසෙන් මේ වන විට ඉතිරිව ඇත්තේ සුළු පිරිසක් පමණි. රන්ජිත් ලාල්, සුනිල් මාධව, ඩිල්මන් ජයරත්න, ගාමිණී විජේතුංග, අමරසිරි කලංසූරිය, මහින්ද අල්ගම, බන්දුල පද්මකුමාර, රත්නසිරි රාජපක්ෂ, තිස්ස විජේසුරේන්ද්‍ර වැනි අය අද සමුගෙන ගොසිනි.
එවක දිනමිණ පුවත්පතේ කතුවරයා ව සිටි එස් සුබසිංහ මහතා නිම්වළල්ල සම්බන්ධයෙන් අපූරු සටහනක් තැබීය. ''සුනිල් මාධව ප්‍රේමතිලක ලියා ඇති කතාව තිරය මත කියාපෑමට රන්ජිත් ලාල් සිනමා මාධ්‍යය නිසියාකාරව උපයෝගී කරගෙන ඇති අන්දම පිළිබඳව සලකා බලන විට නිම්වළල්ල තවත් සිංහල චිත්‍රපටයකැයි හඳුන්වනවාට වඩා සිනමාත්මක චිත්‍රපටයකැයි හැදින්වීම මැනවයි මට සිතේ. චිත්‍රපට කතාව විකාශය වීමට රන්ජිත් කුමාරගේ පසුබිම් නිර්මාණය මහත් රැකුලක් වී තිබේ.
අධ්‍යක්ෂ රන්ජිත් ලාල්, කතා රචක සුනිල් මාධව ප්‍රේමතිලක, කැමරාව මෙහෙය වූ ඩිල්මන් ජයරත්න යන අයගේ හැකියාව මතින් ප්‍රකට වන්නේ ඔවුන් ලාබාල තරුණයන් පිරිසක් ලෙස නොව ජීවිතය පිළිබද පුළුල් අත්දැකීම් සහිත විවේක බුද්ධිය හා අවබෝධ ඥානයෙන් යුතුව සමාජ ප්‍රශ්න දෙස සානුකම්පිතව බලන වයොවෘද්ධයන් පිරිසක් ලෙසිනි.“
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා