ශ්‍රී ලංකාවේ පළමුවරට චිත්‍රපට ප්‍රදර්ශනයක් පවත්වා ඇති බවට වාර්තා වන්නේ 1910 වැනි කාලයේය. මෙරටට පැමිණි සී. වැග්නර් නමැති චිත්‍රපට ප්‍රදර්ශකයා කොළඹ කොටුවේ චාමස් ධාන්‍යාගාරය පිහිටි භූමියේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළේය. ඔහුගේ සිනමා ශාලාව විශාල කූඩාරමක් වූ අතර ප්‍රවේශ පත්‍රයක මිල සත දහයක් විය
ටී.ඒ.ජී. නූර්බායි එවක මෙරට සිටි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකි. වැල්ලවත්ත රෙදිමෝලේ හිමිකරු මෙන්ම ආනයන අපනයන ව්‍යාපාර රුසක හිමිකරුවකු වූ ඔහුට නැව් කිහිපයක්ද තිබූ බව පැවසේ. ඔහු 1920 වැනි කාලයේ කොළඹ කොටුවේ මල්වත්තේ (වත්මන් මල්වත්ත පාර නමින් හඳුන්වන ප්‍රදේශයේ) කුඩා සිනමාහලක් ආරම්භ කොට සී. වැග්නර් විසින් මෙරටට ආනයනය කළ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට පියවර ගත්තේය. පසුව වැග්නර් හා නූර්බායි එක්ව. ‘ලන්ඩන් බයිස්කෝප් කම්පැනි’ නමින් සමාගමක් පිහිටුවා චිත්‍රපට ප්‍රදර්ශනයේ නිරත වූහ. ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රපටයේ නිෂ්පාදකයා වූයේද නූර්බායිය. 1925දී ‘ඊස්ටන් කම්පැනි’ නමින් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ආරම්භ කළ ඔහු ‘රාජකීය වික්‍රමය’ නමින් නිහඬ සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට තීරණය කළේය.. එහි ප්‍රධාන නළුවා ලෙස ෙතා්රා ගැනුණේ පසුකාලයේ මෙරට මුදල් ඇමැතිවරයකු වූ නානායක්කාරගේ මාටින් පෙරේරා නොහොත්. ආචාර්ය එන්. ඇම් පෙරේරාය..
රාජකීය වික්‍රමය අධ්‍යක්ෂණය කරන ලද්දේ ගුප්තා නමැති ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ප්‍රධාන නිළිය බර්ගර් ජාතික තරුණියක වූ සිබිල් පිම්ය. සෙසු චරිත ග්‍රේෂන් පෙරේරා, එරික් වීරසේකර, ඇන්.ජී.ඩී. ඇල්බට් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා සහ ඩේවිඩ් මැනුවෙල් යන නළුවන් විසින් රඟදක්වා තිබේ.
රාජකීය වික්‍රමයේ සියලු දර්ශන රූගත කෙරුණේ කොළඹ බම්බලපිටියේ හිස්ව තිබූ විශාල මන්දිරයක හා නාවල දියවන්නා ඔය ඉවුරේය. එහි දර්ශන තල නිර්මාණය සහ කලා අධ්‍යක්ෂණය ප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ ඇම්. සාර්ලිස් මහතාට බාර වූ අතර ඔහුගේ සහාය කලා අධ්‍යක්ෂවරයා වූයේ ජී.ඇස්. ප්‍රනාන්දු මහතාය.
මෙරට සිටි පුරෝගාමි සිනමා ලේඛකයකු වූ ඩී. වී. සෙනෙවිරත්න මහතා රාජකීය වික්‍රමයේ ඉතිහාසය මෙලෙස සඳහන් කර තිබේ.
‘නූර්බායි මහතා වැල්ලවත්තේ ප්ලාසා සිනමා ශාලාව සාදා එහි නිශ්ශබ්ද චිත්‍රපට පෙන්වීමට පටන්ගත්තේය. එකල බයිස්කෝප් බැලීමට මහජනයා තුළ දැන් මෙන් උනන්දුවක් නොතිබුණ බැවින් ඒවා බැලීමට ගියේ ද ටික දෙනෙකි. එය සිංහල නාටකය අතිශයින් ජනප්‍රිය වී තිබුණ කාලයකි. මෙරට නළු නිළියන් යොදා මෙරට පරිසරය ඇතිව නිශ්ශබ්ද චිත්‍රපටයයක් නිෂ්පාදනය කිරීමට අදහස් කළ නූර්බායි මහතා එකල නාට්‍ය ශිල්පය ගැන දැඩි ආශාවක් දක්වමින් සිටි ඇන්.අැම්.පෙරේරා මහතාගේත් ටවර් හෝල් නළු නිළියන් කිහිප දෙනෙකුගේත් ආධාර ඇතිව චිත්‍රපටයක් පිළිවෙළ කිරීමට පටන් ගත්තේය. ඔහු තම කතාව වශයෙන් හින්දි චිත්‍රපට කතාවක් තෝරා ගෙන ඊට රෝයල් ඇඩ්වෙන්චර් (රාජකීය වික්‍රමය) යන නම යෙදුවේය. තරුණ ඇන්.ඇම්. කතා නායකයා වශයෙනුත් පාසැල් ශිෂ්‍යාවක් වන ලංසි තරුණියක් කථා නායිකාව වශයෙනුත් තෝරා ගන්නා ලදී. එකල ටවර් හෝල් ප්‍රසිද්ධ නළුවන් වූ ඇන්.පී.ඩී.ඇල්බට් ද සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා යන දක්ෂ නළුවෝත් තවත් දක්ෂ නළුවකු වූ ග්‍රේෂන් පෙරේරාත් එහි අතිරේක කොටස් නිරූපණයට යොදා ගන්නා ලදහ. ග්‍රේෂන් පෙරේරා කතාවේ දාමරිකයා හෙවත් විරුද්ධවාදියා වශයෙන් රඟ දැක්වූ අතර සෙසු නළුවන් කිහිප දෙනා දාමරික කණ්ඩායම වශයෙන් රඟ දැක්වූහ.
කථාව චිත්‍රපටයට නගන ලද්දේ දැනට බම්බලපිටියේ මාරකැට්ටුව සහ රේස් පිට්ටනිය අතර පිහිටි විශාල වත්තක් සහිත ගොඩනැගිල්ලකය. ජවනිකා, වීදි, කැලෑ, ගෙවල් යනාදිය සාදා එහි කුඩා චිත්‍රපට නිෂ්පාදනාගාරයක් බිහි කරන ලදී. ඉන්දියාවෙන් චිත්‍රපට ඡායාරූප යන්ත්‍රයක් සහ ඡායාරූප ශිල්පියෙකු ගෙන්වන ලදුව කථාව චිතුපටයට නැගීම ආරම්භ වීය. අතින් ක්‍රියාකරවන ලද මෙම අරුම පුදුම යන්ත්‍රය ඉදිරියේ රඟ දක්වනු මිස ඡායාරූප යන්ත්‍රය වෙත ගොස් එය පරීක්ෂා කර බැලීමට ඡායාරූප ශිල්පියා නළුවන්ට ඉඩ නොදුන් බව එම චිත්‍රපටයට දායක වූ තවමත් ජීවත්වන ඇම්.පී.ඇල්බට් මහතා කීවේය., යනුවෙන් සඳහන් කර ඇත.
එම චිත්‍රපටය රසායනාගාර කටයුතු සඳහා ඉන්දියාවට යැවිණි. 1925 දී එම චිත්‍රපටයේ මංගල දර්ශනය සහ තවත් දර්ශනයක් බොම්බායේ හා සහ සිංගප්පූරුවේ පවත්වා තිබේ. අවාසනාවකට මෙන් එහි රසායනාගාර කටයුතු අවසන් කොට පිටපත ඉන්දියාවේ සිට මෙරටට රුගෙන එන අතර නෞකාවේ ඇතිවූ ගින්නකින් විනාශයට පත්ව තිබේ. එසේ නොවුවානම් මෙරට සිංහල චිත්‍රපට ඉතිහාසයේ ආරම්භය සනිටුහන් කරන්නේ 1947 එස්. එම් නායගම් නිෂ්පාදනය කළ කඩවුණු පොරොන්දුව නොව 1925 නූර්බායි විසින් නිෂ්පාදනය කළ රාජකීය වික්‍රමයයි.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා