භාරතයෙන් පායාවිත් සිරිලක සිනමාවේ මියැසි අම්බරය හැඩකළ ඔහු පහන් තරුවකි. සිරිලක සංගීත ක්ෂේත්‍රය පෝෂණය කරමින් එහි උන්නතිය තකා නිර්මාණ කාර්යයේ නිරතවූ ඔහු ශ්‍රී ලාංකික සිනමා සංගීතයට පාර ෙපන්වූ තාරකාවකි. ඒ නිසාම ආර්. මුත්තුසාමි නම් අපූර්ව මිනිසා පිළිබඳ අප අප සිනමා චාරිකාවේදී ලියා තැබිය යුතුමය.
මුත්තුසාමි නම් කුඩා බිලිඳා උපත ලැබුවේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාගරකෝවිල්හී දීය. එකදාස් නමසිය විසි නවයේදී උපන් ආර්. මුත්තුසාමිගේ, සැබෑ නම ''ආර්. මුත්තුස්වාමි'' නම් වූ බව කියැවේ. එහෙත් ඔහු මෙරටට පැමිණි පසුව ''මුත්තුසාමි'' යන්න ඔහුගේ ව්‍යවහාරික නාමය වී තිබේ.
මුත්තුසාමිගේ පියා වූ ඉසෙක්කි මුත්තු රාමයියා හෙවත් රාමයියා බගවතාර් දක්ෂ වයලින් වාදකයකු හා ගායකයෙකි. එකල භාරතයේ මහාරාජාවරුන් හා ප්‍රභූන් අතර ඔහු තරමක් ප්‍රසිද්ධව සිටි බව කියැවේ. මුත්තුසාමිගේ මව තංගම්මා ය. පවුලේ එකම පිරිමි දරුවා වූ මුත්තුසාමි වයලීනයට අත තබා ඇත්තේ පියාගේ ආභාෂයෙනි. ඔහු පිළිබඳ පත පොතේ සඳහන්ව ඇති පරිදි වයස අවුරුදු දහය පමණ වනවිට මුත්තුසාමි වයලීන වාදනයේ දක්ෂයකු වී ඇත.
මුත්තුසාමිගේ දෛවය අපූරු සිදුවීම් රුසකින් පිරී ඇති බව මෙහිලා සඳහන් කළ යුතුය. තුරුණු වියට එළැඹෙත්ම නිවසින් පැන මදුරාසියට පැමිණෙන මුත්තුසාමි තරුණයා ජීවිතය සොයමින් විවිධ මාවත් පුරා සැරිසරා තිබේ. සැබවින්ම ඔහුට සිය දෛවය මුණගැසී ඇත්තේ, චිතල්කර් රාමචන්ද්‍රන් නම් ප්‍රකට ඉන්දීය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයාගේ ආවතේවකරුවකු වීමට ලද අවස්ථාව හේතුවෙනි.
ආවතේවකරුවකු ලෙසින් වාදක මණ්ඩලයට ආහාර පාන සපයමින් සිටි මුත්තුසාමි ගැටවරයා වාදක මණ්ඩල විවේකයේදී රහසේ වයිලීනයට අත තබා ඇත. මේ දසුන රාමචන්ද්‍රන්ගේ ඇස ගැටී ඇත්තේ වාසනාවකටය. ඒ අනුව එම විශිෂ්ට සංගීතඥයා මුත්තුසාමිව ඔසවා තැබීමට කටයුතු කර ඇති බව කියැවේ.
ශ්‍රී ලාංකික ව්‍යාපාරික එස්.එම්. නායගම් මහතා මුත්තුසාමි මෙරට දෙසට නැඹුරු කරලීමේ පුරෝගාමී චරිතය වී තිබේ. සිංහල පළමු කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ ඉන්දියාවේ නිෂ්පාදනය කරන විට එහි සංගීත අධ්‍යක්ෂ නාරායන අයියර්ගේ ප්‍රධාන සහායකයා හා වාද්‍ය මණ්ඩලයේ වයලීන් වාදකයා වීමේ අවස්ථාව මුත්තුසාමිට ලැබුණේද නායගම් මහතාගේ මැදිහත්වීම මත බව කියැවේ.
අවසානයේ ඉන්දියානු විසල් සංගීත දායාදයක් රැගෙන, ආර්. මුත්තුසාමි ශ්‍රී ලංකාවට පැමිණියේද නායගම්ගේ ඇරයුමකිනි. ඔහු මුත්තුසාමිට සුවිශේෂී රාජකාරියක් පවරා තිබේ. ඒ නම් ඔහු විසින් පිහිටවූ සුන්දර සවුන්ඩ් නම් චිත්‍රාගාරයේ ශබ්ද පටිගත කිරීම් හා ගීත පටිගත කිරීම් සඳහා නිත්‍ය වාදක මණ්ඩලයක් ඇති කිරීමේ කාර්යභාරයි. මේ සමඟම මෙරට සංගීතඥයන්ගේ සමීප ඇසුර මුත්තුසාමිගේ ගමන තවදුරටත් සවිමත් කළ බව පෙනී යයි. බී.එස්. පෙරේරා හා ආර්.ඒ. චන්ද්‍රසේන යන සංගීතඥයන් සමඟ වූ සමීප ඇසුර නිසා මුත්තුසාමිට ග්‍රුමෆෝන් හා ගුවන්විදුලි පටිගත කිරීම්වලට සහාය වීමට ලැබී ඇත. පසුකලෙක ඔහු ගුවන් විදුලියේ දෙමළ වාදක මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් වූයේද මෙම සමීප ඇසුර ප්‍රතිඵලයක් ලෙසිනි.
ගුණරත්නම් අධ්‍යක්ෂකවරයා විසින් 1953 දී අධ්‍යක්ෂණය කළ ''ප්‍රේම තරංගය'' නම් සිනමා පටයේ සංගීතඥයා වීමට වයස අවුරුදු 25ක් වත් සම්පූර්ණ වූ මුත්තුසාමි නම් තරුණ සංගීතඥයා සමත් වූයේය. එය ඔහුගේ ජීවන වෘත්තාන්තය තවත් පරිවර්තනීය අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. මුත්තුසාමිගේ සිනමාවතරණය ශ්‍රී ලාංකික සිනමාවේ වාසනාවකට සිදුවූවක් බව සඳහන් කළ යුතුමය. ඔහු ශ්‍රී ලාංකික සිනමා සංගීතය පෝෂණය කිරීමේ ලා පුරෝගාමී චරිතයක් විය.
''ප්‍රේම තරංගය'' ශ්‍රී ලාංකික සිනමා සංගීතයට පා තැබූ මුත්තුසාමි නම් ගාන්ධර්වයා විසින් සිනමාපට 225ක පමණ සංගීත අධ්‍යක්ෂණය කර ඇත. අහංකාර ස්ත්‍රී (1953), මාතලන් (1955), සංදේශය (1961), අල්ලපු ගෙදර සහ චණ්ඩියා (1965) වැනි චිත්‍රපටවලින් ඇරඹූ ඔහුගේ මෙම චාරිකාව පරීක්ෂණාත්මක එකක් වූ බවද සඳහන් කළ යුතුමය.
''රම්‍යලතා'' චිත්‍රපටය වෙනුවෙන් මෙරට සිනමා සංගීත ඉතිහාසයේ ප්‍රථමවරට විශාලතම වාදක කණ්ඩායම භාවිත කළේ මුත්තුසාමි මාස්ටර් විසිනි. චිත්‍රපට නිෂ්පාදක විජේපාල හෙට්ටිආරච්චි විසින් මෙරටට පළමුවරට රැගෙන එන ලද ''කී බෝඩය'' අත්හදා බැලීම සිදුකළේද මුත්තුසාමි විසිනි. ඔහු සිනමාව තුළටද කී බෝඩය රැගෙන ඒමට මැලි වූයේ නැත.
සංගීතඥයෙකු වාදකයකු පමණක් නොව දක්ෂ ගායකයකුද වූ ආර්. මුත්තුසාමි සදා නොමැකෙන සිංහල ගීත කිහිපයක උරුමකරුවෙකි. සුජාතා අත්තනායක සමඟ එක්ව ‘සිතක මහිම’ චිත්‍රපටය සඳහා ඔහු ගායනා කළ ‘මදුර යාමේ’ ගීතය එදා මෙන්ම අදද අතිශය ජනප්‍රියය. ඊට අමතරව ගිලුණා සෝක ගඟේ, ඔබ පානා ඔය බැල්මේ, මගෙ දෑසම පිය වී එන්නේ, ළිඳ තුළ මැදි වූ මැඩියා වැනි ගීත රුසක් ඔහුගේ ගීතාවලියට ඇතුළත් වේ.
1961දී ආර්. මුත්තුසාමි විවාහ වූයේ බමුණුකුල ආරච්චිගේ දෝන නීලියා පෙරේරා නම් සංගීත පවුලකින් පැවත ආ සිංහල කාන්තාවක් සමඟයි. එම ආදර කතාව ඉතා අපූරු දෛවෝපගත කතාවක් වූ බව කියැවේ. මාපියන්ගේ විරෝධතා මැද මුත්තුසාමි හා නීලියා අතර විවාහය සිදුවී ඇත. නීලියා ඔහුට වඩා වසර 26කින් බාල වූ බව කියැවේ.
කවරක් වෙතත් ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලාංකික සංගීතය උදෙසා තවත් සුවිසල් දායාදයක් ලබා දී තිබේ. ඒ මුත්තුසාමි යුවළගේ වැඩිමහල් පුතා මෝහන්රාජ් මුත්තුසාමිය. ඔහුද සිය පියාගේ අඩි පාරේ යමින් ශ්‍රී ලාංකික සංගීත පෝෂණය කිරීමට දායක වී තිබේ.
සංගීත ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදුකළ සංගීතඥ මුත්තුසාමි 1988 වසරේ ජූනි මස 27 වැනි දින මෙලොව හැරගියේ දියවැඩියා රෝගය උත්සන්න වීම හේතුවෙනි. අවසන් කාලයේ ඔහුගේ සමීපතමයකු වූ විජය කුමාරණතුංග ඝාතනයද ඔහු තුළ විශාල කම්පනයක් ඇති කළ බව කියැවේ.
කෙසේ නමුත් ශ්‍රී ලාංකික සංගීතයේ පෝෂණයට භාරතයේ සිට පැමිණ අපේම කෙනෙකුන් බවට පත්වූ ආර්. මුත්තුසාමි නම් ගාන්ධර්වයා සිදුකළා වූ මෙහෙය මෙපමණ යැයි කියා ලියා තැබීම පහසු නොවේ. ඔහු ශ්‍රී ලාංකීය සිනමා සංගීතයේ පහන් තරුවයි.
I චමිඳු නිසල් ද සිල්වා
(මූලාශ්‍ර: මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ''ගාන්ධර්ව අපදානය 2'' කෘතිය සහ Roar Media ඇතුළු වෙබ් අඩවිවල පළව තිබූ ලිපි.)
I සේයාරූ: අන්තර්ජාලයන්