2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

රඟ නොපා රඟපෑ අමුතු හිනාවේත් හිතුවක්කාර කොණ්ඩයේත් අයිතිකාරයා අමරසිරි කලංසූරිය

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:02 126

නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහකොළ පුරා
බිමට බර වුණු කැකුළු අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළුවෙලා

ආදරණීය කලං... වරක් ඔබ ගැන මම මෙසේ ලිව්වෙමි. විසිරුණු අහංකාර, හිතුවක්කාර, දඟලන, නැටවෙන, ගැස්සෙන ඒ 'පිස්සු' කොණ්ඩය, මනමත් කරවමින් හදවතින් දෝර ගලන හැඟුම් සමුදායක අප්‍රකාශිත ප්‍රකාශනයක් වූ ඒ පුදුම පිරිමි හිනාව සිංහල සිනමාවේ එදා මෙදා තුර මා දුටු කඩවසම්ම, අමුතුම, නිර්ව්‍යාජම නළුවා ඔබය යන සිතුවිල්ල මා තුළ ඉපැද්දුවේය. බොත්තම් හරියට නොපියවූ කමිසය, ඇට මාලය, ඇට පෑදුණු බෙල්ලක්, උරහිසක් සහිත කෙසඟ සිරුරට ගෙනාවේ ඇත්තටම අමුතුම අලංකාරයකි. ඔබ කිසිදා රඟ නොපෑවේය. ඔබ කළේම චරිතය තුළට ආවේෂ වී ඔබ ඔබවම අත්හැර ඔබ තුළ හිඳින අනෙකා සමඟ හදවතින්ම හුස්මක් ගැනීම පමණය. මගේ නිර්වචනයට, මගේ අර්ථකථනයට සහ සිනමාමය ගවේෂණය තුළ මගේ දැකීම තුළ නළුවා යනු ඒ සැරිසරන්නාය. කලංගේ රංගන සුවිසැරිය ඉසියුම් ලෙස කියවිය හැකිනම් ඒ ආත්මීය විඳුම්, ආත්මීය රිදුම් ඔහුගේ රංගනයේ න්‍යෂ්ටිය විනිවිද ඔබ හඳුනාගනු ඇත. 

ඒ සා ආත්මීය භාව සම්මිශ්‍රණයක් ඔහුගේ රංග රේඛා විනිවිද දැකිය හැකි වන්නේ සැබැවින්ම මනුෂ්‍යත්වයත්, නිර්ව්‍යාජත්වයත් එන්නත් කළ මනුෂ්‍යත්වයේ හදවතක් ඔහු සතු වූ හෙයින් යැයි මම විශ්වාස කරමි. 1960 දශකයේ රිදී තිරය සැරසූ අවසන් චිත්‍රපටය ලෙස සම්භාවනාවට පාත්‍ර වන සිනමාවේදී සුගතපාල සෙනරත් යාපාගේ හන්තාන කතාව චිත්‍රපටයේ සරසවි සිසුවෙකුගේ චරිතයට ප්‍රාණාවේෂ දුන් අමරසිරි කලංසූරිය ඕනෑම හැඟීමක් ඉසියුම්, තියුණු, භාවමය චිත්‍රණයක් බවට පරිවර්තනය කළ හැකි ඔහුගේ මුහුණෙන් විදාහල යුරු මේ මොහොතේත් මතකය අභිමුවය. කලංගේ රංගන ජීවිතයේ සමාරම්භය සනිටුහන්ව ඇත්තේ මිලිමීටර් 16 ප්‍රමාණයේ චිත්‍රපටයක් වූ රංජිත් පෙරේරාගේ රුයක් දවාලක් චිත්‍රපටයෙනි. 

''මම හිතන් ඉන්නවා මිලිමීටර් දාසයේ කෙටි චිත්‍රපටයක් කරන්න. ඔයා තමයි ප්‍රධාන චරිතයට හරියන එකම තරුණයා. ඒ නිසා ඔයාම තෝරගන්න හිතුවා. මොකද කියන්නේ?'' 

ඒ ප්‍රශ්නය රන්ජිත් පෙරේරා ඇසුවේ මහනුවර මල්ලිකා ස්ටුඩියෝවට පැමිණ කලං හමුවෙමිනි. මේ ඉල්ලීම කලං ප්‍රතික්ෂේප කළේ නැත. එතනින් එහාට හන්තානේ කතාව සමඟ පටන්ගත් ගමන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අක්කර පහ, ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව, ධර්මසිරි ගමගේ අධ්‍යක්ෂණය කළ පූජා, බඹරු ඇවිත්, පරිත්‍යාගය, වජිරා, ඩොරින්ගේ සයනය, පොඩි විජේ, යස ඉසුරු, මේ ආදී චිත්‍රපට නාමාවලියක්ම මේ අපූරු රංගධරයාගේ නමට ඉදිරියෙන් සටහන් කර තැබිය හැකිය. 

රංගනය යනු කලංගේ ආත්මීය සාංසාරික ප්‍රවේශයක් ලෙස දැකිය හැකි තරම් රංගනමය කෞෂල්‍ය ඔහුගේ ජීවිතය හා බැඳී තිබුණත් චිත්‍රපට 35 කට වඩා ඔහු රඟ නොපෑ බව විචාරක මතයයි. එහෙත් වැදගත් වන්නේ කලං චිත්‍රපට කීයක රඟපෑවාද යන්න සංඛ්‍යාත්මක ඇගයීම නොවේ. චිත්‍රපට එකක රඟපෑවත්, සීයක රඟපෑවත් රංගධරයෙකුට රංග සුවිසැරිය තුළ රඟ නොපාන රංගධරයෙක් විය නොහැකිනම් සංඛ්‍යාත්මකව ඇති වටිනාකමක් නැත.

කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
ඔබ සිටියා මඟ දෙනෙත් අයා
සිහින විමානෙන් ඇවිදින් ඔබ අද
මා හදවත මල් ලොවක් කළා

සුන්දර මාලිනිය කලංට වඩා උසින් වැඩි වුණත් ඒ ලස්සන උස කෙල්ලගේ අත අල්ලාගෙන රේල් පාර දිගේ ඔහේ දුවමින් ඒ ගීයට කලං එක් කළ කලංගේ රංගනය මේ මොහොතේත් මතක අවුස්සයි. වරක් කලං මෙසේ කීවේය. 

''චාල්ස් බ්‍රොන්සන්, ජිම් බ්‍රවුන්, ක්ලින්ට් ඊස්වුන්ඩ් වගේ බටහිර නළුවන්ට ගොඩක් ඇළුම් කළ කෙනෙක් මම. මම හොඳ නිරීක්ෂණයකින් ඔවුන්ගේ රංගන විලාසයන් අධ්‍යයනය කළා. කවදාවත් මම ඔවුන් අනුකරණය කළේ නෑ ඒත්. රංගනය ගැන ලියවුණු පොත පත මම කියෙව්වේ ඒ කාලයේ ඉඳන්මයි. How to be a good actor කියන පොතෙන් ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා. මට වුවමනාව තිබුණේ වෙන කවුරුත් නොවී අමරසිරි කලංසූරියම වෙන්න. මම හිතන්නෙ මම ඒක කළා.''
කලං සිනමාමය ගමන් මඟේ මතක සටහන් ගැන කළ අතීතාවලෝකන මේ මොහොතේත් මගේ මතකය අවුස්සයි. 

''හන්තාන කතාව රඟපෑවේ විජය ස්වර්ණා එක්ක. ඒ මතක හරි සුන්දරයි. විජය කියන්නේ හරිම කඩවසම් නළුවෙක්. දවසක් විජය මට කියනවා මචං කලං.. උඹේ කොණ්ඩෙ හරි ලස්සනයි. මටත් උඹ වගේ කොණ්ඩයක් තිබුණනම් කියලා. විජයට තිබුණේ ඒ කාලේ කෙල්ලො පිස්සු වට්ටපු ලස්සන රැලි කොණ්ඩයක් වුණාට මාව එහෙම අගයන්න තරම් නිහතමානී හිතක් තමයි විජයට තිබුණේ.'' 

තවත් වරෙක බඹරු ඇවිත් චිත්‍රපටයේ මතකය කලං සිහිපත් කළේ මෙහෙමය. 

''බඹරු ඇවිත් රූගත කිරීම් කළේ කල්පිටිය වෙරළේ. ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ, විජය කුමාරණතුංග, මාලනී ෆොන්සේකා, සෝමසිරි දෙණිපිටිය, දයා තෙන්නකෝන්, කොස්තා, ශාන්ති ලේඛා, අපි ඔක්කොම මාර විනෝදෙකින් ඒ කාලය ගෙව්වේ. ජෝතිපාල හිටපු ගමන් වෙරළට ඇවිත් ගියා. මම ඒ කාලේ බොන්නෙ නැහැ. ඒත් බොන අයට ආවතේව කළේ මම. බාර් කොහේවත් ළඟක තිබුණේ නැති හින්දා ගමේ බඩු තමයි කට්ටිය බිව්වේ. බුලි පිටින් අපිට ගෙනත් දුන්නේ පොලිසියෙන් අල්ලන ඒවා. ඇත්තටම බඹරු වගේ තමයි කට්ටිය හිටියේ. මාලනීට ඉස්සො කන්න ආසයි කිව්වාම බේසම් පිටින් ඉස්සො ගෙනත් දුන්නේ ගමේ අය. ඇත්තටම ඒ ගමේ මිනිස්සු අපට සැලකුවේ දෙවියන්ට වගේ.'' ඒ මතක හැමදාම ඔහු සුවපත් කරන්නට ඇත.
පූජා හි අප්‍රමාණ රංගනය උදෙසා කලං හොඳම සහාය නළුවාට හිමි ජනාධිපති සම්මානය ලද්දේය. පූජා හි මතක වරක් කලං සිහිපත් කළේ මෙහෙමය.

''මගේ තාත්තට හිටියේ ජෝ අබේවික්‍රම මහත්තයා. තාත්තා තමයි අළුගෝසුවා. මාව මරණ දණ්ඩනයට නියම වුණාම තාත්තට අළුගෝසුවා විදිහට මාව එල්ලලා මරන්න නියම වෙනවා. මම වරදකාරයා. තාත්තා අළුගෝසුවා. ඒ දර්ශනය කරන්න ඉස්සරින් දවසේ මම රූ හිර ගෙදරට ගිහින් හිටියා. ජෝ මහත්තයා මුලින් කිව්වා ඒ අවසාන දර්ශනය නොකර ඉමු කියලා. මම කිව්වා ඒ දර්ශනය ගන්න. නැත්නම් මම ඒ චිත්‍රපටය රඟපාන්නේ නෑ කියලා. මම ඒ අවස්ථාව රඟපෑවට පස්සේ මාලනී ෆොන්සේකා ඇහුවා, මල්ලි ඒ දර්ශනය කළේ කොහොමද? ඒක හරි ලස්සනයි කියලා. මම කිව්වා මම කාලෙක ඉඳන් බ_ස්ලි අධ්‍යයනය කරනවා කියලා.''

දරු දුක උහුලා 
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා 
පූජා

භාව නිරූපණය අනන්ත වූත්, සුවිශිෂ්ට රංගනයක මතකයක් සිංහල සිනමා වියමන්හි මතක අතරට එක් කරන්නට පූජා තුළින් කලංට හැකි වූ වගට සැබැවින්ම කිසිදු තර්කයක් නැත. 

කලං යනු ජීවිතයේ ආ මඟ මල් පියවිලි මතින් ඇවිද ආ මිනිසෙකු නොවේ. ජීවිතය යන කටු අත්ත මලින් සරසන්නට අප්‍රමාණ වෙහෙසක් ගත්, කඳුළු මත සිනහ අතුරමින් දෛවයට අභියෝග කර ජීවිතය සෙවූ අප්‍රමාණ මිනිසෙකි. වරක් මම කලං ගැන මෙසේ ලිව්වෙමි. 

ඔන්න දවසක් කලං දුම්රිය පොළක කඩල ගොටුවක් අතේ තියාගෙන කඩල කකා ඉද්දි සුගතපාල සෙනරත් යාපා ලස්සන කොණ්ඩයක්, අමුතු කෙට්ටු මූණක් ඇති ඒ තරුණයා දුටුවේය. 

''මල්ලි මොනවද ඕකෙ තියෙන්නෙ?''

කලංගෙන් විකුණන්නට යන කලිසම් බෑගය පෙන්වා සුගතපාල සෙනරත් යාපා විමසුවේය. 

''කලිසම්.'' 

ඒ ඔහුගේ උත්තරයයි. 

''මල්ලි කැමති නැද්ද රඟපාන්න.'' 

මම රඟපාන්න දන්නෙ නෑනෙ. 

''රඟපාන්න දන්න නැති එකම තමයි හොඳ. මල්ලිගේ ඇඩ්‍රස් එක දෙන්නකො. අපි දන්වලා එවන්නම්.''

ලිවුම ආවේය. කලං ගියේය. ස්වර්ණා මල්ලවආරච්චි, ශෝභනී අමරසිංහ, සුගතපාල සෙනරත් යාපා, විජය කුමාරණතුංග අතරට කලං පැමිණියේය. 

''සෙනඟ ගොඩක්නෙ. මම වෙනින් දවසක එන්නම්.''

අන්ද මන්ද ස්වරයෙන් කලං පැවසුවේය. 

''නෑ මල්ලි ඉන්න. මල්ලි අපට රඟපාලා පෙන්නන්න. ඔයාගේ බිරිඳ ඝාතනය කරලා ඔයාට මරණ දණ්ඩනය හිමිවෙලා ඒක ඔළුවේ තියාගෙන විනිශ්චයකාරතුමාට මල්ලිට කියන්න තියෙන දේ කියනවා කියලා හිතාගෙන.''
කලං හිස ඔසවා ඉහළ මානයකට හිස හැරෙව්වේය.

..... සුද්ද සිංහල යැයි කියන වචනයක් සමඟ කලං එසේ වූවානම් කියන දේ කට ඇර කිව්වේය. 

''හා ඇති ඇති මල්ලි ඇති.'' 

අර වචනය ඒ තරම් සැර වෙන්නට ඇත.

''මල්ලි කොහෙද ඉස්කෝලෙ ගියේ.''
''නුවර ධර්මරාජේ''
''හරි මල්ලි දැන් යන්න. අපි මල්ලිට දන්වලා එවන්නම්.''

ඒ දන්වා එවීමේ ලිපිය සිංහල සිනමාවේ සම්මත නළු ආකෘතිය, සම්මත නළු සම්ප්‍රදාය වෙනස්ම මඟක් කරා යොමු කරලීය. 
ඔව් කලං.. ඒ ඔබමය. 

''මල්ලි වර්ක් ෂොප් කරලා නළුවෙක් වෙන්න බෑ. නළුවෙක් වෙන්න ඕනෙ ජීවිතයෙන් ඉගෙනගෙන.''

ඔව් ඔබ දවසක් ඒ වග කිව්වේය. 

විචාරයේ ඉසියුම් විවරණය තුළ අමරසිරි කලංසූරිය රංග වින්‍යාසය සම වූයේ ප්‍රංශ නව රුල්ලේ පෙරළිකාරකයෙකු වූ ෂෝන් පෝල්ගේ රංග පෞරුෂයටය. රංග වින්‍යාසයටය. ප්‍රංශ, ඉතාලි, ඉංග්‍රීසි ආදී චිත්‍රපට නරඹමින් රංගනය ස්ව අභ්‍යාසාත්මක ලෙස හැදෑරූ කලං කිසිදා රඟ නොපෑවේය. ඒ ඔබමය. ආත්මීය හුස්මකින් ඔබ චරිත තුළ සැරිසැරුවා පමණි. නැවත වතාවක් කියනවානම් කලංගේ රංගන සුවිසැරිය ඉසියුම් ලෙස කියවිය හැකිනම් ඒ ආත්මීය බැඳුම්, ඒ ආත්මීය විඳුම්, ඒ ආත්මීය රිදුම් ඔහුගේ රංගනයේ න්‍යෂ්ටිය විනිවිද ඔබ හඳුනාගනු ඇත.

ඔව් ඔබ ඔබමය.

I සංජීවිකා
I අන්තර්ජාලයෙනි