පාර දෙපැත්තේ පුස්ලෝඩං එල්ලයි
පෝස්ටරයක් යනු ප්‍රචාරක කෘතියකි. ප්‍රචාරක කෘතියක් කලා කෘතියක් ද විය හැකිය. හැකිතාක් දුරට කලාත්මකව පෝස්ටරය සැලසුම් කිරීමට උත්සාහ ගත්තොත්, ඉන් බොහෝ ප්‍රයෝජන ලබාගත හැකිය. මේ දිනවල කොළඹ නගරයේ ප්‍රධාන වීදීවල අලවා ඇති වේදිකා නාට්‍ය පෝස්ටර්වල ඉතා උසස් තත්ත්වයක් දැකිය හැකිය. චිත්‍රපට සඳහා නිර්මාණය වෙන පෝස්ටර්වලට වඩා නාට්‍ය පෝස්ටර් ගුණාත්මක බවින් ඉහළ මට්ටමක පවතී.. චිත්‍රපට පෝස්ටරය මෙන් නොව නාට්‍ය පෝස්ටරයේ සංකේතාත්මක රූප හා අකුරු අඩු කලාත්මක නිමාවක් දැකිය හැකිය.
මහගම සේකර - 1975- 01- 10 සරසවිය
මෙරට නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය වූයේ 1970 සහ 1980 වැනි කාලයයි. එකල ඉතාම විශිෂ්ඨ නාට්‍ය කලාවක් පැවැති අතර නාට්‍ය නිර්මාණකරුවෝ ප්‍රේක්ෂකයන්ට උසස් රසවින්දනයක් ලබා දෙන නාට්‍ය නිර්මාණය කිරීමට උත්සුක වූහ. එකල නාට්‍ය කෙරෙහි ජනතා පෙළඹවීමක් ඇති කිරීමට නාට්‍යයේ පෝස්ටරයද වැදගත් විය. එවක මහ මග දිගට තාප්පවල ඇලවී තිබුණු පෝස්ටර් දකින විට සිහිපත් වූයේ චිත්‍ර ප්‍රදර්ශනයක් නරඹනවා වැනි හැඟීමකි. එකල සිටි නාට්‍යකරුවන්ට තම නිර්මාණය පිළිබඳව ප්‍රචාරය කිරීමට තිබුණේ මාධ්‍ය තුනක් පමණි. ඒ පුවත්පත, ගුවන් විදුලිය හා පෝස්ටරයයි. පුවත්පතක හා ගුවන් විදුලියේ දැන්වීමක් පළ කිරීමට සෑම නාට්‍ය නිෂ්පාදකයකුටම හැකියාවක් නොවීය. එහෙයින් වැඩි ජන ආකර්ෂණයක් ලබා ගත හැකි මාවත අයිනේ ඇලවෙන පෝස්ටරය කෙරෙහි ඔවුහු වැඩි විශ්වාසයක් තැබූහ.
එකල කලාත්මක නාට්‍ය පෝස්ටර වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කළේ සෝමපාල හේවාකපුගේ සහ එඩ්වින් හේවාකපුගේ සොහොයුරන් සතු මරදානේ අයිපීබී ආයතනය සහ මරදානේ ඩාලි පාරේ ටීටූ නමින් පෝස්ටර් නිර්මාණය කළ තෝමස් තිලකරත්නය. අනුර දහනායකගේ පන්නිපිටියේ ඇඩ්ඇඩ්ස් ආයතනයත්, මහනුවර ලක්ෂ්මන් තලකොටුනගේ එල්.ටී. ඩිසයිනර්ස් නිර්මාණ ආයතනයත්, මරදාන ටෙක්නිල් හන්දියේ tcea නමින් පෝස්ටර් නිර්මාණ ආයතනයක් පවත්වාගෙන ගිය සිරිනාථ වික්‍රමසිං හා පාස්ට් ඇඩ්හි ප්‍රේම් දිසානායක පසුකාලීනව පෝස්ටර් කලාවට නව මානයන් එකතු කළහ.
අයිපීබී පෝස්ටර් වැඩි ප්‍රමාණයක නිර්මාණ දායකත්වය සිදුවූයේ ටෝනි රණසිංහගේ වැඩිමහලු සොහොයුරා වූ සුප්‍රකට නිර්මාණ ශිල්පි රුලේක්ස් රණසිංහ වෙතිනි. ඔහු ඉතා සරල එහෙත් බෙහෙවින් කලාත්මක පෝස්ටර් කලාවක් නිර්මාණය කළේය. .මුලින් ලෙටර් ප්‍රෙස් ක්‍රමයටද ඉන්පසු ඕෆ්සෙට් ක්‍රමයටද පසුව සිල්ක් ස්ක්‍රීන් ක්‍රමයටද නිර්මාණය වූ මෙම පෝස්ටර් බොහෝ විට වර්ණ දෙකකට පමණක් සීමා විය. එයට කඩදාසියේ සුදු වර්ණයද වර්ණයක් ලෙස භාවිත කිරීම මත පෝස්ටරය ත්‍රිවර්ණ නිර්මාණයක් ලෙස ඉස්මතු විය. ලෙටර් ප්‍රෙස් සහ ඕෆ්සෙට් පෝස්ටරයට වඩා සිල්ක් ස්ක්‍රීන් ක්‍රමයයට නිර්මාණය කෙරුණු නාට්‍ය පෝස්ටරය වඩාත් කලාත්මක හා ලාබදායි එකක් වූ බැවින් බොහෝ නාට්‍ය නිෂ්පාදකයෝ තම නිර්මාණ සඳහා සිල්ක් ස්ක්‍රීන් පෝස්ටරය යොදා ගැනීමට උනන්දු වූහ. සයිමන් නවගත්න්තේගම ඔහුගේ පුස්ලෝඩං නාට්‍ය සඳහා පල්ප භාවිතයෙන් නිර්මාණය කළගෙඩි වර්ගයක පුස්ලෝඩං යන නම සඳහන් කොට එම නාට්‍යය ප්‍රදර්ශනය කිරීමට නියමිත ශාලාව අසල මාවත දෙපස ගස්වල එල්ලා අමුතුම ආකාරයේ ප්‍රචාරක ක්‍රියාවලියක නිරත වූ බව මට මතකය. මොරටුවේ බෞද්ධ මන්දිර ශාලාවේ පුස්ලෝඩං නාට්‍ය ප්‍රදර්ශනය කළ දිනයේ ගාලු පාර දෙපස එම පුස්ලෝඩං ගෙඩි එල්ලා තිබු අයුරු මගේ මතකයට නැඟේ. මේ 1976 පමණ කාලයේය.
පෝස්ටර ම්‍රදුණය කිරීමේදී සිදු වූ අත්වැරදීම් නිසාද පෝස්ටරවලට නව මානයක් එකතු වූ අවස්ථා අසන්නට ලැබේ. වරක් අයිපීබී ආයතනයේ සෝමපාල හේවාකපුගේ සඳහන් කළ පරිදි සුගතපාල ද සිල්වාගේ හරිම බඩු හයක් නාට්‍යයේ අවසන් අකුර වූ අල් ක යන්න වැරදීමකින් පැත්ත මාරුවී මුද්‍රණය වී තිබීම හේතුවෙන් පෝස්ටරයට වෙනස්ම හැඩයක් එක්වී තිබිණි. පසුව එම ආර බොහෝ නාට්‍ය නිෂ්පාදකවරුන්ට අවශ්‍ය විය.
වර්තමානයේ පෝස්ටර් කලාව තාක්ෂණය විසින් ගිලගෙන ඇති බව පෙනේ. පෙර මෙන් වේදිකා නාට්‍ය විශාල ලෙස බිහිවන්නේද නැත. පැරණි නාට්‍යවේදීන් අතරින් තවමත් නාට්‍ය නිෂ්පාදනය කරන්නේ පරාක්‍රම නිරිඇල්ල වැනි කිහිප දෙනෙක් පමණි. 70, 80 දශකයන්හි සිටි විශිෂ්ට නාට්‍යවේදීන් බොහෝ දෙනෙක් අද අප අතර නොමැත. දැන් පෙර මෙන් වීදිවල නාට්‍ය පෝස්ටර ඇලවෙන්නේද නැත. මුද්‍රණ වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇති හෙයින් බොහෝ විට නාට්‍ය ප්‍රචාරක කටයුතුද සමාජ මාධ්‍ය හා ජංගම දුරකතනය ඔස්සේ සිදුවෙනු දැකිය හැකිය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා