ලෝකයට ආදරය කරන ලෝකයක් ඔබ අභිමුව නිමවීමේ වගකීම සහ වගවීම ඔබත් මමත් සතු යැයි මම විශ්වාස කරමි. මේ විශ්වයේ ඇති චමත්කාරම මනෝභාවය කවරක්දැයි ඔබ අසන්නේ නම් මගේ උත්තරය ආදරයයි. මේ විශ්වයේ ඇති සොඳුරුතම සංධ්වනිය කුමක්දැයි ඔබ අසන්නේ නම් මගේ උත්තරය සංගීතයයි. එහෙත් ඔබ ඔබේ ඇසින් සහ මම මගේ ඇසින් දකින්නේත්, ඔබ ඔබේ හදවතින් සහ මම මගේ හදවතින් විඳින්නේත් ඒ මනරම් වූ චමත්කාරයම හෝ සංධ්වනියම නොවන්නේ ඇයි? වී.අයි. ලෙනින් රුසියානු විප්ලවයට යන මඟ හෙළි පෙහෙළි කරගත් පිහි තුඩ සාහිත්‍යයයි. ලියෝ තෝල්ස්තෝයි යනු රුසියානු විප්ලවයේ කැඩපත යැයි සම්භාවනාවට පත් වූ ලෝක ඉතිහාසයක අකුරුවලින් අරගල කරන්නට කියා දුන් සහ ඉගෙනගත් මානව වංශකතාවක අයනු ආයනු කියවා ඇති හදවතකට මනුෂ්‍යත්වයේ අරගලයක් වෙනුවෙන් විශ්වීය කැන්වසයක් මත වර්ණ ගල්වන්නට නොහැකි වෙන්නට හැටියක් නැත ඉතින්. පොළොවක් ඇත්තේ පය ගසා සිටගන්නට පමණක්ම නොවන්නේ නම් භූමිය වනාහි පැළ විය යුතු සහ පැළ කළ යුතු ගස් අනන්තයක උරුමක්කාර නිම්නය නම් ඒ ගස් පැළ කරන්නට දිගු විය යුත්තේ මනුෂ්‍යත්වය සහ සාධාරණත්වය උදෙසා දිගු කළ ප්‍රේමණීය දෑත් ඇති මිනිසුන්ගේ හදවත්ම මිස අන් කවරක්ද?
ප්‍රාණයෙන් නිරුද්ධ සීතල මළ සිරුරු උඩින් ජයග්‍රහණයේ ආශිර්වාද නොලත් කෙම් බිම් සොයා පියවර ඔසවන ආත්මාර්ථකාමී මිනිසුන් අතර මනුෂ්‍යත්වයේ සුවඳ අර්ථ ගැන්වූ විමුක්තියක් ගැන කතා කරන්නට හැකි එකම තැන කලාව විතරක්මද? ජරා ජීර්ණ සමාජ ආධ්‍යාත්මයක පතුලෙන් නැගෙන සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු දක්වා විහිද යන වේදනාවේ රිද්මය විඳිමින් විඳවන මානවයා අවසානයක් මිස කෙළවරක් නැති ලෝකයක ඉල්ලා හිඳින ප්‍රේමණීය ප්‍රේමය හමුවන දිනක් ඇත්දැයි කියන්න මම නොදන්නෙමි.
ධර්මසේන පතිරාජ නම් අද්විතීය කලාවේදියාණන්ගේ නිර්මාණාත්මක නිර්මාණ සමුදාය අතරෙහි හමුවන කොරා සහ අන්ධයා වේදිකා නාට්‍ය ධර්මසේන පතිරාජ සහ ධම්ම ජාගොඩ ප්‍රත්‍යවලෝකනයක් ලෙස යළි දිගහැරුණේ පරාක්‍රම නිරිඇල්ල නාට්‍යවේදියාගේ නව අධ්‍යක්ෂණයෙනි. මෙම නාට්‍යයට ප්‍රස්තුත වන්නේ සියක් අවුරුදු නින්දකට පසු අවදි වන කුමරියක් අභිමුවට යාමට ප්‍රයත්න දරන කොරකුගේ සහ අන්ධයකුගේ නිමිත්තක් තේමාවයි. විශ්වාසයේ හැටියට ඒ මොහොතෙහි ඇය හමුවට පැමිණෙන කොරුන් දහසක ඇවිදින්නටත් අන්ධයන් දහසකට ඇස් පෙනීමටත් වරම් ලැබේ. කොරා සහ අන්ධයා වේදිකා නාට්‍ය ඔස්සේ නිරූපණය කෙරෙන්නේ ප්‍රබල සමාජ යථාර්ථයක් සහ කියැවීමකි. තම අභිලාෂයන්, අරමුණු, බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් වෙනුවෙන් මිනිසා කොතරම් ආත්මාර්ථකාමී ප්‍රවේශයන් කරා ප්‍රවේශ වන්නේද යත් මනුෂ්‍යත්වය අවසන් අංශුමාත්‍රය දක්වා ගිලිහෙන තෙක් ගිලිහෙන වටිනාකම් ඔහුට නොදැනේ. එය නොනවතින ගමනක් සේම අරගලයක මගියෙකු බවට පත්වීම ඛේදනීයම අවසානයයි. පොදු විමුක්තිය දකින සිහින ඒ ගමනෙහිදී හදවතින් අත්හැරේ. සඟයින් පිරිවරා යන ගමනක සඟයින් අත්හැර තනි මඟක යමින් මානවයා පෙළඹෙන්නේ මම යන සාධකය තුළ මිස අපි යන පොදු භාවිතය තුළ ගමනාන්තය දකින්නට නොවේ. මම ඉක්මවා නොයන සියලු අවස්ථාවන්හිදී පරිත්‍යාගයත්, මානුෂිකත්වයත්, ආදරය සහ ප්‍රේමයත් අත්හැරුණු තැන ඉන් එහා අත් නොහැරෙන කිසිවක් නොමැත. ඕජස් ගලන සමාජ සත්‍යයක් ප්‍රතිබිම්භගත කිරීමක් ලෙස කොරා සහ අන්ධයා නාට්‍ය කියැවිය හැකිය. සංජීව උපේන්ද්‍ර සහ චමින්ද බටුකොටුව මෙහි නව නිෂ්පාදනයේ රංගධරයන් වේ. සැබැවින්ම රංගධරයකු යනු ආවේශය ගන්නා ඕනෑම චරිතයක් හා හුස්මක් ගන්නා අමුතුම ජීවියෙකි. ඒ හුස්ම දැඩිවන තරමට රංගධරයා තුළින් මම යන ස්වරූපය ගිලිහී ගොස් එම සිරුර තුළ හුස්ම ගන්නා අනෙකා ප්‍රබල වේ. කොරා සහ අන්ධයා තුළ ඒ සත්‍ය මැනවින් ඔප්පු කරන්නට සංජීව මෙන්ම චමින්ද උපරිමයෙනුත් උපරිමයට මුදාහල ශක්‍යතාව සැබැවින්ම ප්‍රශංසනීය වේ.
නොඉල්ලමි කිසිවක්ම ආදරය හැරෙන්නට
කීවත් නොකීවත් ලෝකයේ අවසාන ප්‍රාර්ථනය එය වන තැනකට මානව සංහතිය දිනෙක සපැමිණෙනු ඇති බව සිතෙන්නේ මටම විතරක් නොවන වග මම විශ්වාස කරමි.
I සංජීවිකා
I සේයාරුව - සුමුදු හේවාපතිරණ