2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

නුවර පැණි බූන්දි රසායි

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 126

මේ දෙන්නා එංගලන්තෙ ඉඳලා ලංකාව බලන්න ආපු හරිම කියුට් කපල් එකක්. පහුගිය කාලේ මෙයාලා හිටියේ මහනුවර. ඔන්න දවසක් දෙන්නට හිතුණා නුවර ටවුම පැත්තෙ පොඩි රවුමක් දාලා පේරාදෙණිය උද්භිත උද්‍යානයත් බලලා එන්න.
ඔන්න නුවර පොළ පැත්තෙ ගිහිල්ලා, දෙන්නා එතැන එහෙට මෙහෙට කැරකුණා. එක එක ජාතියේ එළවළු වර්ග, ඒවගේ පාටවල් මේ දෙන්නට ගෙනාවේ වෙනස්ම හැඟීමක්. ඒ අතරේ පොළේ බඩු විකුණන අයියලාත් මෙයාලත් එක්ක හොඳින් කතා කළා. එනිසා මේ අත්දැකීම අපූරු එකක් වුණා.

ඔන්න ඔහොම ඇවිදගෙන යද්දී මෙයාලා දැක්කා රසකැවිලි කඩයක්. පැණි බූන්දි, මස්කට් අරවා මෙව්වා ඔක්කොම ස්වීට් ජාති තියෙන කඩයක්. මෙයාලා නැවතිලා මේ මොනවද කියලා ඇහුවා. එතකොට ඔන්න කඩේ අයියා රස බලන්න කියලා බූන්දි ටිකක් මෙයාලට දුන්නා.

''වාව් මේක හරිම රසයි'' එහෙම කිව්වේ ගෑනු ළමයා.

''සර්, එහෙනම් මටත් දෙන්න පොඩ්ඩක් 'චෙක්' කරන්න.'' පිරිමි කෙනාත් අපේ කඩේ අයියගෙන් කෑල්ලක් ඉල්ලා ගත්තා.

''මේක නම් මාර පැණි රහයි. මේ ජාති රසකැවිලි නම් මම ලෝකෙ කොහෙවත් දැකලා නෑ. මේවා නියමයි. මේක ශ්‍රී ලංකාවේ රස කැවිලි ජාතියක්ද?'' පිරිමි කෙනා එහෙම අහනකොට කඩේ අයියා ''ඔව්'' කියලා කිව්වා.

ඊටපස්සේ මේ දෙන්නා පස්සේ එන ගමන් බූන්දි ගන්නම් කියලා කඩේ අයියට පොරොන්දු වුණා. කොහොම හරි කඩෙන් එළියට බැහැලා එන ගමනුත් මෙයාලා කිව්වේ.

''ඒකනම් මාර පැණි රහයි. මේ තමයි ශ්‍රී ලංකාව බේබි'' කියලා.

ට්‍රුවල් කරන ටුවින්ස් අක්කා නගෝ

කැමීලිටා සහ නිකීටා නිවුන්නු. පහුගිය දවස්වල මෙයාලා ලංකාවේ සංචාරය කළා. දෙන්නා එක්ක එක යූ ටියුබ් චැනල් එකක් පවත්වාගෙන යනවා. සාමාන්‍ය ට්‍රුවල් බ්ලොග්වලට වඩා මෙයාලාගේ වීඩියෝ වෙනස්. සමහර දේවල් විස්තර කර කර සෑහෙන්න කෑම බීම කකා තමා මෙයාලා වීඩියෝ කරන්නෙ.

''ලංකාවේ කොත්තු රොටී, ආප්ප, වෙනස්ම කෑම ජාති ගොඩක් තියෙනවා. අපි කාලා බලන්න යන්නෙ.''

ඔන්න ඔහොම කියලා දවසක් මෙයාලා කාගිල්ස් එකට ගිහිල්ලා ලංකාවෙ බිස්කට්, රෝල් කේක්, චොකලට්, ටිපිටිප් වගේ කෑම ගොඩක් අරගෙන ඇවිත් කෑවා. ඔක්කොටම රුපියල් දෙදහස් ගණනක් වියදම් වුණා.

මේ දෙන්නා කොළඹ ලොකු ලොකු තැන්වලින් තමයි කෑම බීම ගත්තේ. පස්සේ මෙයාලා රෙස්ටූරන්ට් එකකින් ආප්ප කෑවා. එක එක ජාතියේ ආප්ප. බිත්තර ආප්ප. කිරි ආප්ප. පැණි ආප්ප. ඒ විතරක් නෙවෙයි ලංකාවේ තේ එකකුත් බීලා, වටලප්පන් එකකුත් කෑවා. රුපියල් හාරදාස් ගණනක විතර බිලක් වැටුණා.

දෙසීයට නම් බෑ සීයටමයි ඕනෑ

මෙයා ඇමෙරිකාව පැත්තෙන් ආපූ හාදයෙක්. ටිකක් වෙනස් කෙනෙක්. තාම වැඩි වයසකුත් පේන්න නෑ. ඒත් මේ හොඳ මොළකාරයා.

''තැඹිලි ගෙඩියක් කීයද?''

''රුපියල් දෙසීයයි.''

''මොනවා රුපියල් දෙසීයක් හොඳටම වැඩියි සීයේ ඒවා නැද්ද?''

මෙයා අහන්නේ ඔය ජාතියෙ ප්‍රශ්න. අවසානයේ තැඹිලි විකුණන අක්කා රුපියල් සීයට මෙයාට තැඹිලි ගෙඩියක් දුන්නා.

''අපි දුප්පත් මිනිස්සු.''

''හ්...හා... ඒ වුණාට අවංක ගණනට බඩු ගන්න තමා මම කැමතිම....''

මෙයා මෙහෙම කිව්වට ටිකක් වෙලා යද්දී කඩේ අයත් එක්ක හොඳට ෆිට් වෙනවා. ස්තූතියි, ආයුබෝවන් වගේ වචන දෙක තුනකුත් අල්ලගෙන ඉන්න නිසා වැඩේ ලේසි වුණා. තැඹිලි බීලා විතරක් මෙයා නතර වෙන්නෙ නෑ.

''මේකෙ ඇතුළේ තියෙන ඒවා කන්න පුළුවන් හරි රසයි හා කනවද?''

එහෙම ඇහුවේ කඩේ අක්කා.

''ඔව් මම කනවා. මට ඕක පලලා දෙන්න.''

නොදන්නවා වගේ හිටියට මෙයා  කුරුම්බා ගැනත් හොඳට දන්නවා. ඒ නිසා ඩයල් එක කැමරාව බලලා මෙහෙම කියනවා.

''මේකේ රසවත්ම හරිය තියෙන්නෙ ඔතන.''

වෙන සංචාරකයෝ වගේ නෙවෙයි මෙයා පුළුවන් තරමක් කනවා.

කොහොම හරි මුලදී හෙට්ටු කරාට රුපියල් දෙසීයක් මෙයා තැඹිලිවලට ගෙවලා. ''ගිහින් එන්නම් මචං'' කියලා තමා පිටත් වෙලා ගියේ.

I චමිඳු