2017 ජුනි 10 වන සෙනසුරාදා

ගොළු හදවතේ දුවයි මායි එකට රඟපෑවා

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119

 

අද My Path හි කතාව සිංහල සිනමාවේ අහිංසකාවිය සමඟ. ඇය ශ්‍රියාණි අමරසේන. ඇගේ කලා ජීවිතයේ ගමන් මඟ තමයි මේ. 

කලාවට ආදරය ඇති වුණේ කොහොමද?
මට දැනුම් තේරැම් ඇති කාලයක ඉඳන්ම  කලාවට තිබ්බේ  පුදුම ආසාවක් සහ ඇල්මක්. කලාව කියන නොදන්න විෂය මගේ සිරුර පුරා දුවනවා කියලා මට  දැණුනා. කොහොමත් මම චිත්‍ර අඳින්න, ගීත ගයන්න, නටන්න වගේම රඟන්නත් සාහිත්‍ය කතාන්දර කියවන්නටත් පෙළඹුණා. ඒ අතීතය නම්  හරිම සුන්දර මිහිරි මතක පොතක් කිව්වොත් තමා නිවැරදි. ඉතින් අද වෙද්දී දශක 5කට ආසන්න කාලයක් මම මේ කලාව තුළ රැඳිලා ඉන්නවා. ඒ ගැනත්  නිහතමානීව සතුටු වෙනවා. 

ළමා පිටියට සම්බන්ධ වුණේ කොයි විදියටද? 
අපේ මීතොටමුල්ල ගෙවල් ගාව තමා හිටියේ යූ.එස්. පෙරේරා මහතා. ඔහු හොඳ කථිකයෙක් වගේම දක්ෂ නීතීඥ කෙනෙක්. හැබැයි එයාව. හැමෝම දන්නේ සිරි අයියා කිව්වම මොකද ඒ දවස්වල ගුවන් විදුලියේ ළමා පිටියේ එයා වැඩසටහනක් කළා සිරි අයියයි සොමි අක්කයි කියලා. මටත් මොකක් දෝ වාසනාවකට අවස්ථාව ලැබුණා මේ ළමා පිටියේ ගීත ගායනා කරන්න. ඒ ලැබුනේ මම ගෙදර ඉන්නකොට සින්දු කියනවා සිරි අයියට ඇහිලා. අපේ අම්මගෙන් ඇවිත් අහනවා මට මේ කෙල්ලව දෙන්නකෝ වැඩසටහනට කිව්වම අම්මා කීවා මේ ඉන්නේ කියලා. ඉතින් මමත් ගියා ඒ කාලේ තිබ්බේ රේඩියෝ සිලෝන් කියලනේ. 

සිරි අයියා එක්ක ගිය පළමු දවසේ මම හොඳටම බය වුණා

කොහොමද ලැබුණු ඒ අවස්ථාව? 
මුලින්ම මම ගිය දවසේ පුදුමාකාර විදියට බය වුණා. මොකද මම කවදාවත් ගිහින් තිබ්බේ නැහැ. ඒ දැවැන්ත කුළුණු, එහි තිබුණු ගාම්භීරත්වය විශාලත්වය දැක්කම, ලොකු දොරවල් දෙකක් ඇරගෙන නේ යන්න තියෙන්නේ දවසක් මම හිර වුණත් එක්ක. ඒ වුණාට මම ඒකට හැඩගැහුණා. මම කවදාවත් සංගීතය ඉගෙන ගෙන නෑ. නමුත් කනට හුරු අයුරින් සිරි අයියගේ ආභාෂයත් එක්ක මම වසර ගණනාවක් ළමා පිටියේ සින්දු කිව්වා.

කොහොම හරි නරි බෑනා ගේ ගම දුවත්  වුණා නේද?
ඒ කාලේ පත්තරේක තිබ්බා තම්මැන්නා කියන නාට්‍යට  කුවේණියක් හොයනවා කියලා. මේක දැකලා මම අම්මට කිව්වා අනේ යමු කියලා කොළඹ කම්කරු දෙපාර්තමේන්තුවේ ශාලාවකට තමා එන්න කියලා තිබ්බේ. ඉතින් අම්මා තාත්තාටත් කියලා අවසර අරගෙන අම්මයි මායි ආවා එතනට. එතන හිටියා ලොකු උස මහත මහත්වරු සහ තව කාන්තාවන් කිහිපදෙනෙක්. මම එතනට ගියේ සායකුයි හැට්ටයකුයි ඇඳන්. ඉතින් එතැන අය මා දිහා බලන් ඉඳලා මට කතා කරලා කිව්වා අපි හොයන්නේ කුවේණිට ගැළපෙන කෙනෙක්, පොඩ්ඩක් සැර පරුෂ කෙනෙක් කියලා. ඔයාගේ මුණේ ඒ පෙනුම අඩුයි, හැබැයි අපි ඔයාව නිකම් යවන්නේ නෑ කියලා ඒ නාට්‍යයේම පොඩි චරිත දෙකක් දුන්නා මට. ඒක මම කළෙත් හරිම ආසවෙන්. ඕක දැකලා තමා දයානන්ද ගුණවර්ධන මහතා මට නරි බෑනා නාට්‍යට කතා කළේ. මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ තමයි මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වුණේ. ඒ වගේම තමා මම පාසල් අධ්‍යාපනය ලබන අතරේ ගම දුව චරිතය සමඟ රට පුරා ගියා. ගම දුවගේ චරිතය රඟමින් ඒ ඇරුඹි ගමන මගේ ජීවිතයේ ශක්තිමත් අත්තිවාරමක් බවට පත් වුණා.  

‘ගම දුව හරහා ද සිනමාවට පිවිසෙන්නට ඇරැයුම් ලැබුණේ? 
ඇත්තටම ඔව්. නමුත් මගේ මවුපියන්ගේ අවසර ලැබුණේ නැහැ.  

එතකොට නිළියක් වීමේ ආසාවක් තිබ්බද? 
නිළියක් වීමට කැමැත්තක් ඒ දවස්වල තිබුණ නමුත් ජනප්‍රියවීමේ හීනයක් තිබුණෙ නැහැ. ඒ නිසා මමත් අම්මාගේ සහ තාත්තාගේ තීරණවලට අභියෝග කරන්න ගියේ නැහැ.

මා සිනමා නිළියක් කළේ අාතර්

හරි ඊට පස්සේ? 
ඊට පස්සේ අධ්‍යාපන කටයුතු අවසන් වුණාම මම විවාහ දිවියට ඇතුළත් වුණා ආතර් යුග අමරසේන එක්ක. එයත් සිනමා ක්ෂේත්‍රය සමඟ ඉතා සමීප සබඳතාවක් තිබුණෙ කෙනෙක්. මගේ හැකියාව ආසාව සහ ඔහුගේ මඟ පෙන්වීම යටතේ මුලින්ම මම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොළු හදවත චිත්‍රපටයට තමයි සම්බන්ධ වුණේ. 

ඒ වෙද්දී වයස කීයද?
ඒ වන විට මට වයස අවුරුදු විසි එකයි. බිරියක් පමණක් නොවෙයි ඒ වන විට මම මව් පදවියත් ලබලයි හිටියෙ. මම රඟපෑවේ චම්පා කියන චරිතය. ඒ වගේම තමා මගෙත් එක්ක මගේ ලොකු දුවත් රඟපානවා. දුවට එතකොට අවුරුදු එකහමාරක්. එතැනින් පස්සේ ඒ කාලේ තිබ්බේ කළු සුදු චිත්‍රපට සාගරිකා, රත්තරන් අම්මා, රිදී තැල්ල වගේ නිර්මාණ ඊට පස්සේ වර්ණ සිනමාවට එද්දී මම මුල්ම චිත්‍රපය වන රන් මුතු දුවේත් රඟපෑවා. 

රඟපෑ නිර්මාණ අතර සුවිශේෂී නිර්මාණ මොනවද? 
මෙහෙමයි, මම දායක වූ නිර්මාණවලට මම දායක වුණේ ඇත්තටම කැමැත්තෙන්. ඒ නිසා ඒ ඔක්කොම විශේෂයි. නමුත් සුවිශේෂී කියලා ඇහුවම මට කියන්න තියෙනේ චරිතයක් තුළින් සමාජයට ආදර්ශයක් දිය හැකි නිර්මාණ ඒ අතර මේ මොහොතේ මතක් වෙනවා. ගොළු හදවත, අහසින් එහා, දෑස නිසා, මහගෙදර, කුලගෙය, රත්තන් අම්මා, සරුංගලේ, තරණය, නිවෙන ගින්න වගේ නිර්මාණ. දැනට මම චිත්‍රපට 105කට විතර දායක වෙලා තියෙනවා. 

අද මොකද හිතෙන්නේ? 
සිංහල සිනමාවට අවුරුදු 75ක් වෙනවා දැන්. ඇත්තටම ඒ කාල සීමාව තුළ අපි ගොඩක් කැපකිරීම් කරලා තමා මේ අද ඉන්න තැන ඉන්නේ. හුඟක් අයට මේ ගමන එන්න ලැබෙන්නේ නැහැ. නමුත් මම වාසනාවන්ත වුණා මේ ගමන මේ විදියට එන්න. අද ශ්‍රියාණි අමරසේන ගැන කෙනෙක් කතා කරනවා නම් ඒ කලාව නිසයි. ඒ වගේම කියන්න ඕනේ මට ඕනේ වුණේ නැහැ කාර්යබහුල කරගෙන ජීවත් වෙන්න. මට ඕනේ වුණේ ජීවිතය සුන්දරව අත්විඳිමින් අත්දකිමින් ජීවත් වෙන කෙනෙක් වෙන්න. ඉතින් මම කාන්තාවක් විදියට ලබන්න පුළුවන් හැම දෙයක්ම හොඳින් ලබා ගත්තා කිව්වොත් හරි. මම ඒ නිසා ජීවිතය ගැන උපරිම තෘප්තිමත්.

► Text- Anusha Rnasinghe / Pic — Sumudu