2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ඉන්දීය සිනමාව ලෝකයටම අරගෙන ගිය පාථර් පංචාලි චිත්‍රපටයේ දුර්ගා හා ඕපු

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 117

ඉන්දියානු සිනමාවේ මුද්‍රාව ජාත්‍යන්තරයේ සටහන් කළ චිත්‍රපටය වූයේ පාථර් පංචාලි (මාවතේ ගීතය) නමැති බෙංගාලි සිනමාපටයයි. බෙංගාලි නවකතාකරුවකු වූ විභූතිභූෂන් බන්ද්‍යෝපාද්‍ය 1929දී රචනා කළ එනමින් යුතු නවකතාව ඇසුරින් එම සිනමාපටය නිර්මාණය කළේ සත්‍යජිත් රායි විසිනි. අපරාජිතෝ සහ ඕපු සංසාර් නමින් තවත් සිනමා නිර්මාණ දෙකකින් යුතු තුන් ඈඳුතු චිත්‍රපටයක් ලෙස නිර්මාණය වූ එය ඉන්දියානු සිනමාවේ හැරවුම් ලක්ෂය ලෙස පිළිගැනෙයි. පාථේර් පංචාලි ප්‍රදර්ශනය වූයේ 1955දීය. 1956 වසරේ ඛාන් චිත්‍රපට උළෙල නියෝජනය කළ එය උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර වූ අතර පසුව එය ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබීය.

පාථර් පංචාලි සිනමාපටයේ ප්‍රධාන චරිත දෙක වූයේ දුර්ගා සහ ඕපු යන සොයුරු සොහොයුරියන් දෙපළයි. දුර්ගාගේ චරිතය උමා දාස්ගුප්ත විසින්ද ඕපුගේ ළමා කාලය සුබීර් බැනර්ජි විසින්ද නිරූපණය කෙරිණි. මේ වනවිට පාථර් පංචාලි චිත්‍රපටය මුල්වරට ප්‍රදර්ශනය කර වසර 68ක් ගතව තිබේ. එහි ප්‍රධාන චරිත දෙකක් රඟපෑ ළමා නළු නිළි යුවල වයෝවෘධයන් වී සිටිති. උමා දාස්ගුප්ත චිත්‍රපටයේ රඟපාන විට ඇගේ වයස අවුරුදු 12කි. 

සත්‍යජිත් රායි තම පළමු නිර්මාණය සඳහා ළමා නිළියක සොයන බවට ආරංචිය උමා අධ්‍යාපනය ලද පාසලට ගෙන ආවේ රායිගේ මෙන්ම එම පාසලේ විදුහල්පතිවරයාගේද මිතුරෙකු වූ අශීෂ් බර්මන් විසිනි. විදුහල්පතිවරයා පාසලේ දක්ෂ දැරියක වූ උමා දාස්ගුප්ත ඒ සඳහා නම් කළ අතර පසුව රායිද ඇය දුර්ගාගේ චරිතයට සුදුසුයැයි තීරණය කළේය.

මේ වනවිට උමා 80 හැවිරිදි කාන්තාවකි. ගත්කතුවරියක වන ඇය චරිත කතා රැසක් රචනා කොට ඇති අතර ''තාගෝර් අ බයොග්‍රුෆි'', ''ඉලස්ට්‍රේඩඩ් ලයිෆ් ඔෆ් තාගෝර්'', ''ෆ්‍රෙන්ඩ්ෂිප්ස් ඔෆ් ලාජනස් ඇන්ඩ් ෆ්‍රීඩම්'' වැනි කෘති ඒ අතරින් විශේෂිතය. පාථර් පංචාලි චිත්‍රපටය පිළිබඳ කතාබහකදී පළමුවරට තමන් රඟපෑ චිත්‍රපටය නැරඹූ අයුරු ස්මරණය කළ ඇය “මම මගේ රඟපෑම්වලට සතුටු වුණේ නැහැ. ඒත් හැමෝම එය අගය කරමින් කතා කරද්දී පුදුම සතුටක් දැනුණා. දුර්ගා මියයන අවස්ථාව සහ ඕපු ගම අතහැර නගරයේ පදිංචියට යන අවස්ථාව දැකලා මට ඇත්තටම ඇඬුණා. වසර ගණනාවක් පැරණි ඒ  අතීතය තවමත් මගේ හිතින් බැහැර වෙලා නැහැ. දුම්රිය එනකොට ඒක බලන්න ඈතට දුවපු හැටි, රේල් පීල්ලට කන තියාගෙන දුම්රියේ ශබ්දයට කන්දුන් හැටි මතක් වෙනකොට අදටත් පුදුම සතුටක් දැනෙනවා.” යනුවෙන් මාධ්‍යයට පවසා තිබුණි. පාථර් පංචාලි චිත්‍රපටයෙන් පසු ඇය වෙනත් කිසිදු චිත්‍රපටයක රඟපෑවේ නැත. එහෙත් දුර්ගා වර්තමානයේද ලෝක සිනමාව තුළ ජීවමානය.

දුර්ගාගේ සොහොයුරු ඕපුගේ ළමා කාලය නිරූපණය කළේ සුබීර් බැනර්ජි විසිනි. පාථර් පංචාලියේ රඟපාන විට ඔහුට වයස අවුරුදු නවයකි. පාථර් පංචාලි චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදනය අතරතුර, සත්‍යජිත් රායි ඕපුගේ චරිතය සඳහා වයස අවුරුදු පහේ සිට හත දක්වා පිරිමි ළමයින් සොයමින් පුවත්පත්වල දැන්වීම් පළ කළේය. පිරිමි ළමයින් කිහිප දෙනෙක් පරීක්ෂණය සඳහා පැමිණි නමුදු ඒ කිසිවෙක් රායිගේ ඕපුට සැසඳුණේ නැත. දිනක් රායිගේ බිරිඳ බිජෝයා රායි ඔවුන් වාසය කළ මහල් නිවාසයේ අසල්වැසි ගොඩනැගිල්ලක වහලය මත සෙල්ලම් කරමින් සිටි පිරිමි ළමයෙකු දුටුවාය. ඒ දරුවා තම නිර්මාණයට මනාව ගැලපෙන බව රායිට හැඟිණි.

දරුවා සුබීර් බැනර්ජිය. ඔහු වාසය කළේ සත්‍යජිත් රායිගේ නිවහන  ආසන්නයේමය.  දිනක් සුබීර්ගේ නිවෙසට අමුත්තෙක් පැමිණියේය. ඒ සත්‍යජිත් රායිය. එම සිදුවීම සුබීර් මතකයට නැඟුවේ මෙලෙසිනි. “මගේ පියා මා සාලයට කැඳවූවා. අප නිවෙසට පැමිණ සිටි අමුත්තා පෙන්වා ‘මෙයාට ඔයාව චිත්‍රපටයකට ගන්න ඕනෑ කියනවා^ යැයි පැවසුවා. අමුත්තා සත්‍යජිත් රායි. මා චිත්‍රපටයට සම්බන්ධ වනවාට පියාගේ එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. එවිට අමුත්තා මෙහෙම කිව්වා. ‘මිත්‍රයා අද දවසේ මාවවත් ඔබගේ පුතාවත් කිසිවකු දන්නේ නැහැ. මම හදන චිත්‍රපටයෙන් බෙංගාල සිනමාව වෙනස් වේවි. එවිට මුළු බෙංගාලයම ඔබගේ පුතාවත් මාවත් හඳුනා ගනීවි’ කියලා.

''මැනිලා චිත්‍රපට උළෙලේ මා හොඳම ළමා නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණා. මා රෝගාතුරව සිටි බැවින් සම්මාන උළෙලට සහභාගී විය නොහැකි වුණා. බෙංගාලි රජයේ නියෝජිතයකු ලෙස ඇමැතිවරයකු එයට සහභාගි වුණා. බෙංගාලි රජය ඒ වෙනුවෙන් සතුට පළ කළත් කිසි දිනෙක අපට උපහාර දැක්වූයේ නැහැ.”

පාථර් පංචාලි චිත්‍රපටයේ රඟපෑමෙන් පසු සුබීර් බැනර්ජිද උමා මෙන් වෙනත් කිසිදු චිත්‍රපටයක රඟපෑවේ නැත. “පාථේර් පංචාලි චිත්‍රපටයට 50 වසරක් පිරීම නිමිත්තෙන් විශාල උත්සවයක් කල්කටා චිත්‍රපට උළෙලේදී පැවැත්වුණා. ඒත් මට ඒ සඳහා ආරාධනාවක් හෝ ලැබුණේ නැහැ” සුබීර් බැනර්ජි ශෝකබරිත ස්වරයෙන් පැවසීය.

කල්ගතවත්ම මෙම ළමා නළුවා පිළිබඳ අවධානය ගිලිහී යන්නට විය. ඔහු පිළිබඳ යළි අසන්නට ලැබුණේ 1980දී ඉන්ඩියා ටුඩේ සඟරාව ඔහු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් හේතුවෙනි. කලක් කම්හලක සේවය කළ ඔහු පසුව රජයේ ලිපිකරු සේවයට එක් වූයේය. 78 හැවිරිදි ඔහු දැන් විශ්‍රාමික දිවියක් ගත කරයි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා