2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

නා නා නා නනා නනා නා... මල්ගුඩිය හොයාගෙන සංචාරකයන් ඉන්දියාවට

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 02:00 72

සුප්‍රකට ඉන්දීය ලේඛක ආර්.කේ. නාරායන් 1943 දී අපූරු කෙටිකතා සංග්‍රහයක් එළිදැක්වීය. එහි නම ‘මල්ගුඩි ඩේස්''ය. ඉංග්‍රීසි බසින් රචිත එම කෙටිකතා සංග්‍රහයට කතා 32ක් ඇතුළත් විය. මේ සියලු කතාවලට පාදක වූයේ නාරායන් මැවූ මනඃකල්පිත මල්ගුඩි නම් ගම්මානයේ එදිනෙදා සිදුවීම්ය.

1987 දී මෙම කෙටිකතා ඇසුරින් ශංකර් නාග් නමැති කන්නඩ සිනමා සහ රූපවාහිනී අධ්‍යක්ෂවරයා ඉන්දියාවේ දූර්දර්ශන් රූපවාහිනියට අපූරු කතා මාලාවක් නිර්මාණය කළේය. පසු කාලයේ එම කතා මාලාව ටයිටස් තොටවත්තයන් විසින් මල්ගුඩි දවස් නමින් සිංහල බසින් හඬ කවා ලංකාවේද විකාශය කළ අතර එය වඩාත් ජනප්‍රිය වන්නට එහි ''නා නා නා නා'' නම් තේමා වාදනය ද බලපෑවේය. එම තේමා වාදනය නිර්මාණය කළේ කර්ණාටක සංගීතඥයකු වූ එල් වෛද්‍යනාතන් විසිනි.

ශංකර් නාග්, නාරායන්ගේ මනඃකල්පිත ගම්මානය ප්‍රතිනිර්මාණය කළේ කර්නාටක ප්‍රාන්තයේ ෂිමෝගා දිස්ත්‍රික්කයේ අගුම්බේ නමැති ගම්මානයේය. එහි ඇතැම් දර්ශන බැංගලුරු හා දේවරායනාදුර්ගා යන ප්‍රදේශවලද රූගත කෙරිණි.

මල්ගුඩි දුම්රිය ස්ථානය ලෙස යොදා ගැනුණේ කර්ණාටක ප්‍රාන්තයේ ෂිවමොග්ග - තලගුප්පා දුම්රිය මාර්ගයේ ෂිවමොග්ග නගරයට කිලෝමීටර 34ක් පමණ දුරින් පිහිටි අරසාලු දුම්රිය ස්ථානයයි. මල්ගුඩි දවස් කෘතිය කියවූ බොහෝ දෙනෙක් මල්ගුඩිය සැබෑ ගම්මානයක් යැයි සිතා එය සොයා පැමිණෙන්නට වූහ. එය මනඃකල්පිත ගම්මානයක් වුවද බොහෝ දෙනෙක් සිතුවේ එවැනි ගම්මානයක් ඉන්දියාවේ කොතැනක හෝ ඇති බවටය.

එහි අධ්‍යක්ෂවරයා වූ ශන්කර් නාග් එම ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් වූ වෙන්කතේෂ්ගේ චරිතයද රඟපෑවේය. මෙම කතා මාලාව රූගත කෙරෙමින් තිබියදී 1990 දී රිය අනතුරකින් ඔහු ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත් විය. මල්ගුඩි දුම්රිය ස්ථානය ලෙස රූගත වූ අරසාලු දුම්රිය ස්ථානය දැකගැනීමට විවිධ අවස්ථාවල සංචාරකයෝ එහි පැමිණියහ. 

එහෙයින් මල්ගුඩි දවස් රූපවාහිනී නාට්‍ය මාලාව අධ්‍යක්ෂණය කළ ශන්කර් නාග්හට උපහාරයක් ලෙසද, සංචාරක ආකර්ෂණයක් ලෙසද අරසාලු දුම්රිය ස්ථානය මල්ගුඩි දුම්රිය ස්ථානය ලෙස නම් කිරීමට ඉන්දීය දුම්රිය සේවය පියවර ගෙන තිබේ. එය ක්‍රියාවට නැංවෙන්නේ ෂිවමොග්ග ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ රඝවේන්ද්‍රගේ අදහසක් අනුවය. සවුත් වෙස්ටර්න් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඊ. විජය මහතා සඳහන් කර ඇති පරිදි, “දුම්රිය ස්ථානවල නම් වෙනස් කිරීම සඳහා, අපට මහජනයාගෙන් හෝ තේරී පත් වූ නියෝජිතයෙකුගෙන් ඉල්ලීම් ලැබෙන්නේ නම්, පළමුව අපට ප්‍රාන්ත රජය වෙත යා යුතුය. ඊට පස්සේ ඒක අනුමත වුණාම දුම්රිය අමාත්‍යාංශය තීරණයක් ගන්නවා.'' යනුවෙනි. 

අරසාලු දුම්රිය ස්ථානය එතරම් ජනාකීර්ණ දුම්රිය ස්ථානයක් නොවේ. ඒ ඔස්සේ දිනකට ඉහළ පහළ ගමන් කරනුයේ දුම්රිය දෙකක් පමණකි. එහෙත් ශංකර් නාග් මැවූ මල්ගුඩි දුම්රිය ස්ථානය එය වීම හේතුවෙන් අද එම ස්ථානයට සුවිශේෂී අගයක් හිමි වී තිබේ. ෂංකර් නාග් මෙම දුම්රිය ස්ථානය මල්ගුඩිය ලෙස තෝරාගත්තේ එතරම් ජනාකීර්ණ නොවූ හෙයින් හා රූගත කිරීම්වලට බාධාවක් නොවූ බැවිනි.

මෙම දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල බොහෝ සෙයින් අබලන් වී ඇති හෙයින් මල්ගුඩිය ලෙස නම් කිරීමට පෙර ලක්ෂ 130ක පමණ පිරිවැයකින් එය ප්‍රතිසංස්කරණය කිරීමට කර්ණාටක ප්‍රාන්ත රජයේ අනුමැතිය හිමිව තිබේ.

ආර්.කේ. නාරායන් මල්ගුඩි දවස් කෘතියේ පෙරවදනේ මෙලෙස සටහන් කර තිබිණි. ''මල්ගුඩිය යනු මනඃකල්පිත නගරයකි. එය කිසි දිනක සිතියමක දැකිය නොහැකිය.” එහෙත් අරසාලු දුම්රිය ස්ථානය මල්ගුඩි දුම්රිය ස්ථානය බවට පරිවර්තනය වීමත් සමඟ නාරායන්ගේ එම ප්‍රකාශය තවදුරටත් වලංගු නොවනු ඇත.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා