එහෙම ෆැන්ටසියක් මවන්න ලංකාවේ වෙන කාටවත් බෑ
තුන් සිත දැහැන්ගත වෙනා... සිතුවිලි සසල කරවනා... පද වැල් අතර රැඳුණ... ස්වරයේ සප්ත වර්ණ... හිත ළඟ ගයනු පිණිස ඔහු සපැමිණෙන්නේය. ඒ මේ සැප්තැම්බරයේම දවසකය. ඒ සන්ධ්‍යාව දුරාතීතෙක මතක මන්දිර අතර චාරිකාවකට ඔබ කැටුව යනු පිණිසම වෙන් වූ රාත්‍රියක් වනු නිසැකය. සුවඳ දැනී... දැනී දැනී... වියළි හදවත් පවා ළතෙත් හැඟුමින් හන්කිති කවන රාත්‍රියක් නම් වනු නොඅනුමානය. ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ හෙමිහිට ඇවිදින් අඬගසද්දී සප්ත ස්වර ස්වර්ගයේ ජීවිතය සුන්දරද මෙතරම් යැයි ඔබට සිතේ යැයි මට සිතෙන අරුමය කිම. රූන් රූන් එන පාට පාට ගී සමනලුන් හිත මත වසා සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද හදවතේ ගැඹුරුම අනන්තයට ස්නේහයෙන් ආමන්ත්‍රණය කරන රාත්‍රියට ඔබට ඉතින් නෑවිදින් නම් ඉන්නටම බැරිය. බලාපොරොත්තුව දෝත දරා ඔහු බලා හිඳී ඔබ එනතුරා. ඒ දවස සැප්තැම්බර් 16 සෙනසුරාදාය. තැන කොළඹ Waters Edge හි Grand Ballroom. වෙලාව රෑ 7 ඉඳන් එහාට හෝරාවන්ය. myshowmyticket.com, සරසවි නුගේගොඩ සහ Waters Edge පැමිණෙන ඔබ වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර අලෙවියෙහි යෙදී හිඳී. රූන රූන මතක සරා ගයනු රිසින් අතීතයක්, ඔබ සොයා පැමිණෙන ඔහු කමල් අද්දරආරච්චිය. ඔව්.. ඒ දඬුබස්නාමානය, වෙද හාමිනේ, සප්ත කන්‍යා, අග්නිදාහය, වැනි මුතුහරක් අමුණන්නට තරම් වටිනා මිණි මුතු නිමැවුම් ඔස්සේ ඔබේ හදවතේ සදාතනික ඉඩහසරක් වෙන් කරගත් කමල් අද්දර ආරච්චිය.
Qනිහඬ බව බිඳින්න ඔබ යළිත් ඇවිදින්. ඒ 'ඔබයි මමයි' අරගෙන. කියන්න ඉතින් අපි අහන්නෙ 16 වැනිදා හැන්දෑව ගැන?
අන්තිම චිත්‍රපටය කරලා දැන් අවුරුදු පහකට වැඩියි. කාලයක් නිහඬව හිටියා තමයි. ඒ කාලය වෙන්වුණේ හුඟක් වෙලාවට ව්‍යාපාර වෙනුවෙන්. ඒත් මට හිතුණා ජනතාවගේ රසවින්දනය වෙනුවෙන් මම දෙයක්, ලස්සන දෙයක්, අලුත් දෙයක්, වෙනස් දෙයක් දිය යුතුයි කියලා. මගේ චිත්‍රපට ගීත, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය ගීත එකතුවක් වගේම මම කැමතිම ගීත ගයන්න ඒ රාත්‍රිය වෙන් වෙයි. විශාල තිර දෙකක ඒ ගීතවලට අදාළ රූප රාමු දිගහැරේවි. එහෙම දිගහැරෙද්දි තමයි මම සජීවීව ඒ ගී ගයන්නෙ. මට ඕනෑ මගේ රසිකාගාරය අමුතුම ෆැන්ටසියකට අරගෙන යන්න. මනස දිව්‍යමය රසයකට ගෙන යන්න. නිවේදකයත් මම, ගායකයත් මම. මම හිතන්නෙ මම මේ කරන්න හදන්නෙ මේ තාක් ලෝකයේ කවුරුත්ම නොකරපු දෙයක්.
Qලංකාවේ මෙහෙම දෙයක් කරන්න කමල් ඇරෙන්න කවුරුත්ම නැද්ද කියලා ඇහුවොත් මොකක්ද කමල්ගේ උත්තරය?
හතර දෙනෙක් මතකයට එනවා. එක්කෙනෙක් විජය කුමාරණතුංග. අනෙක් කෙනා රුක්මණීදේවි. අනෙක් කෙනා ෆ්‍රෙඩී සිල්වා. ඒත් ඒ තුන්දෙනාම දැන් මේ ලෝකේ නෑ. කරන්න ඉතුරුවෙලා ඉන්න එකම කෙනා මම විතරයි.
Qඔබේ නොවන ගී සහ ඔබේම ගී ගයන, ඒ ගයද්දී රූප රාමු වේදිකාව තුළ දිගහැරෙන, ප්‍රේක්ෂකාගාරය අතීතයෙන් අතීතයටම අරන් යන 'ඔබයි මමයි' ප්‍රසංගයේ ගයන ගී ගැනත් ටිකක් කියමුද?
සිකුරුලියා චිත්‍රපටයේ මිල්ටන් පෙරේරා ගයන ගීතයක්, ඒ වගේම විජය මාලනී රඟන පෙම්බර මධූ චිත්‍රපටයේ වික්ටර් රත්නායක ගයන ගීතයක්, එක්ටැම් ගේ චිත්‍රපටයේ ගීතයක් ගයන ගී අතරේ තියෙනවා. 1980 ගණන්වල නළු නිළි සංගමය සංවිධානය කළ ප්‍රසංගයකින් පසු එච්.ඩී. ප්‍රේමරත්න මාව තෝරගත්තා අනාගත චිත්‍රපටයක ගීයක් ගයන්න. උන්මාද ප්‍රේමාදරේ ගීතය මට ගයන්න ලැබුණෙ ඒ විදිහට. උන්මාද සිතුවම් ගීතය මට උන්මාද ප්‍රේමාදරේ ගයන්න ඉඩහසර හදා දුන්නා විතරක් නෙවෙයි, උන්මාද ප්‍රේමාදරේ මගේ අතට ජනාධිපති සම්මානයත් තිළිණ කළා. මම රඟපෑ හුඟක් චිත්‍රපටවල සංගීතය කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස. නිධානය චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා ප්‍රබල රංගනයක. මට කවදාවත් අමතක කරන්න බැරි චරිත තමයි ඒ. මම ගුරුවරුන්ගෙන් සංගීතය ඉගෙනගෙන නැහැ. පණ්ඩිත් අමරදේව, සනත් නන්දසිරි, ගුණදාස කපුගේ වැනි අයගේ ගීත තමයි මගේ සංගීත ගුරුවරුන් වුණේ. අමරදේව ගැයූ කේමදාස මාස්ටර් සංගීතවත් කළ සඳ හොරෙන් හොරන් හොරෙන් ඇවිත් ගීතයත් එදාට ගයාවි මම, ලස්සන ඇරඹුමක් එක්කම. වෙදහාමිනේ ටෙලිනාට්‍යයේ පිටරටක ගායකයෙක් ගායනා කළ ගීතයක් තියෙනවා. එදාට මම ඒ ගීතයත් ගයනවා. එක නමක් හෝ කියන්න අමතක වුණොත් සමාවෙන්න, ගාමිණී ෆොන්සේකා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි අයගේ ඉඳන් කමල් අද්දර ආරච්චි කියන කලාවේදියා නිර්මාණය කරන්න අංශුමාත්රයක් හෝ දායකත්වය දුන් හැම කෙනෙක් වෙනුවෙන්ම උපහාර දක්වන්න මේ ප්‍රසංගයේ මා තෝරාගත් ගීතාවලිය හේතුවක් වේවි කියලා මම විශ්වාස කරනවා.
Qදැනට ජීවත් වෙන ගායකයන්ගෙ ගීතත් එදාට ගයනවද ඔබ?
එහෙම එකම එක ගායකයෙක්ගෙ ගීත මම ගයනවා. ඒ රූකාන්ත ගුණතිලකගේ ගීත. සුවඳ දැනී දැනෙනවා සහ අනාථ මාරුතේ කියන ගීත.
Qසහාය ගායනයෙන් එක්වෙන්නෙ කවුරුන්ද?
ඉන්ද්‍රානි පෙරේරා, උරේෂා රවීහාරි සහ සුබුද්ධි ලක්මාලි එක්වෙනවා. උරේෂා එක්ක මම ගයන්නෙ රෝජා චිත්‍රපටයේ දමිළ ගීතයක්.
සාම්ප්‍රදායිකත්වය අතික්‍රමණය කරමින් සොඳුරු දෑ නිමැවිය හැකි නවාතැන්පොළ වෙසෙසින්ම නැවත එන්නට හිතෙන තැනක් වෙයි. 'ඔබයි මමයි' එවන් තැනකි. වේදිකා පසුතල නිමැවුමේ සිට සියලු සංකල්ප කමල්ගේය. ඒ සංකල්ප උදෙසා වෙහෙසෙන්නට සහ දායක වෙන්නට එහි නිපුණයන් ඔහු හා අත්වැල් බැඳ සිටී. ප්‍රවීණ නිර්මාණශීලී වාද්‍ය වෘන්දයක්ද 'ඔබයි මමයි' පසුපසය. නම්වලින් කමල් කී නාමාවලිය දිගු බැවින් මට සිදුවන්නේ ඔබයි මමයි සමඟ අත්වැල් බැඳගත් ඒ වෙනුවෙන් සිතුවිලි මාත්‍රයක්, දහදිය බිඳුවක් හෝ වැගිරූ හැමෝටම හදවතින්ම කමල් ස්තූති යැයි කී වග කියන්නටය. ගී 25 කින් ප්‍රේක්ෂකාගාරයක් අනන්ත රස සංධ්වනියක් කරා කැටුව යන්නට හැම තත්ත්පරයක්ම වෙන් කරන දවසක වෙන් කළ තත්ත්පර වෙනුවෙන් අපිත්, ඉතින් කමල් ඔබට ස්තූතියි යැයි කියමු. ඔබයි මමයි රට වටා රැගෙන යන්නටත්, මුහුදෙන් එහා රටින් රට රැගෙන යන්නටත් කමල් අද්දරආරච්චිට හැකිවන වග මට ඉඳුරාම විශ්වාසය.
කමල්... හිතේ ඇති ඒ හැම කී නොකී පැතුමක් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් වෙනුවෙන්ම ඔබට හදසර සුබ පැතුමක්.!
I සංජීවිකා
I සේයාරුව: සුමුදු හේවාපතිරණ