සීතල සුළඟ අතරින් මට ආයෙමත් ඇහුණේ ඒ හඬ. දෙවියනේ... මා තුළ ඇතිවුණු ක්ෂණික තිගැස්ම නිසා මා සිටි තැන එලෙසම නැවතුණා.
දුල්යානා...
දෙවියනේ මට කවදාවත්ම ඇයගෙන් ගැලවීමක් නැද්ද? මගේ හිත මහ භයංකර හැඟීමකින් වෙලී ගියා. සොහොන් කොතක් අද්දර නැවතී සිටි මා හිස හරවා බැලුවේ ගැහෙන හදවතකින් යුතුව. ඇය රෝස්. මා දිහා ඇගේ දිගු දිලිසෙන නෙතින් ඈ බලා සිටියා.
දුල්යානා... මම ඔයාට කීවා මතකද මම කවදාවත් ඔයාව අමතක කරන්නෙ නෑ කියලා. මම කොහේ හිටියත් ඔයා දිහා බලාගෙන ඉන්නවා. ඔයා පස්සෙන් එනවා. මගේ ජීවිතේ ඔයා නොදන්න හැමදෙයක්ම ඔයා අහනකම් මම ඔයා පස්සෙන් එනවා.
මම කීවා දැන් මගේ ජීවිතේ රෝස් කෙනෙක් නෑ කියලා...
ඒත් මගේ ආත්මය ඇතුළෙ දුල්යානා කෙනෙක් ඉන්නවා... එක්වරම ඇගේ සීතල අතක පහස මගේ අතට දැනුණා. ඒ සීතලේ රුදුරු ගිනි බවින් මගේ සර්වාංගයම හිරිවැටී ගියා. මම ඇය දෙස බැලුවේ හැමදාම ඇය දෙස බලන මෘදු බැල්මෙන්. ඇය මගේ අත දැඩිව අල්ලාගෙන සිටියා. සීතල සුළඟ අස්සෙන් ඒ දැඩි සීතල මගේ හදවතට දැනුණේ ඉදිකටු තුඩු ඇනෙන වේදනාවකින්.
මගේ අත අත්හරින්න...
ඔයා ඇයි මේ සොහොන් බිමේ ඇවිදින්නේ.. ඔයා කවුරැ බලන්නද ආවේ
රෝස් ඔයා මගේ අත අත්හරින්න... ඔයා දැන් ජීවතුන් අතරෙ ඉන්න කෙනෙක් නෙවෙයි... දැන් මගේ ලෝකෙට අයිති කෙනෙකුත් නෙවෙයි
ඒත් මට මගේ ලෝකේ ඉන්නෙ ඔයා විතරමයි දුල්යානා...
බලහත්කාරෙන් මගේ ලෝකෙට ඔයා එන්න එපා... ඇය මගේ අත අල්ලාගෙන සිටි වේගයෙන්ම නැවත මගේ අත අත්හැරලා දැම්මා. ඉන්පස්සෙ දුහුල් මීදුමක් සේ ඈතින් ඈතට පාවෙලා ගියා. ඒත් ඇගේ අතේ රුදී තිබුණ සීතල යළි යළිත් මගේ අතට දැනෙන්න පටන් ගත්තා.
මම සොහොන් පිටිය මැද හුදෙකලාව අරමුණු විරහිත ලෙසකින් ඈත බලාගෙන හිටියා. සීතල පරදා මට දැනෙමින් තිබුණේ මහා බයක්. ඇය මගේ ජීවිතය දැඩිව අල්ලාගෙන සිටින බවක් මට දැනෙමින් තිබුණා. මම පල්ලිය උද්‍යානය අසල සුදුවැලි පාර දිගේ තනියෙන් ඇවිද ගියා. බය යන හැඟීම ටිකෙන් ටික මගේ හදවතින් අතුරැදන් වෙමින් තිබුණා. මම කළුවර සමඟ හුදෙකලා ආදරයක පැටලෙමින් සිටියා. මගේ හිතට දැනුණේ මහා නිහඬ හැඟීමකින් ගමම ගියේ ගඟේ ඉවුරට. ගඟ රුලි නංවමින් ගලාහැලෙමින් තිබුණා. ඒ ගං දිය ගලා යන රිද්මය මගේ සවන්පත් අතරින් හදවතට රිංගා ගියා. මම ගං ඉවුරෙ ඉඳගත්තේ මගේ හදවතට දැනෙමින් තිබූ කාලකන්නි හැඟීමකින්.
ගංදියේ සීතල නිරාවරණ වූ උරහිස්වල හැප්පෙමින් හිරිගඬු නැංවුවා. මට එක්වරම මතක් වුණේ ඔරුකාරයව. ඔහු තේරුම් ගත නොහැකි අද්භූත මිනිසෙක් වග මට සිතුණා.
ඇයි මට මගේ ජීවිතේ මහ අමුතු මිනිස්සු මුණගැසුණේ. දෙවියනේ මාත් එක්ක සතුටින් ඉන්න පුළුවන් මිනිස්සු ඇයි මට මගේ ජීවිතයේදී මුණනොගැසුණේ. මාත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන මිනිස්සු ඇයි මට මුණනොගැසුණේ. මම මහා කම්පිත හැඟීමකින් මටම තුරුල් වුණා.
නැවත වරක් තද සීතල අතක ස්පර්ශය මට දැනුණා. එක්වරම මම හිස ඔසවා බැලුවා. පෙසෙකින් හිටියෙ ඇය. දිලිසෙන ඇස් දෙකින් ඈ නැවතත් මා දෙස බලා සිටියා.
රෝස් ඔයා මගේ පස්සෙන් එන්න එපා මේ විදිහට...
නෑ දුල්යානා මම කවදාවත් ඔයා අත්හරින්නෙ නෑ...
උඹට අයිතියක් නෑ මට මේ විදිහට වද දෙන්න...
ආදරය කියන්නෙ වදයක්ද දුල්යානා...
උඹට පිස්සුද රෝස්...
මම මැරුණට මගේ හදවත මැරුණේ නෑ දුල්යානා....
මට මැරිච්ච ගෑනියක් එක්ක ගනුදෙනුවක් නෑ... කරුණාකරලා උඹ මගේ පස්සෙන් එන එක නවත්තපන් රෝස්...
උඹ මගේ ගිනි ගහන ආත්මයේ කතාව අහනකම් මම උඹගේ පස්සෙන එනවා දුල්යානා...
උඹ මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ...
ඉස්සර තිබ්බ යාළුකම...
දෙවියන්ගේ නාමෙන් තේරැම් ගනින් අපිට ඉස්සර වගේ යාළුවෝ වෙන්න බෑ අායෙ කවදාවත්...
මිනිස්සු මැරුණට මිනිස්සුත් එක්ක බැඳීම් මැරෙන්නෙ නෑ දුල්යානා...
ඒත් මට දැන් උඹත් එක්ක කිසිම බැඳීමක් නෑ...
ඒත් මට මගේ ජීවිතේ ලොකුම බැඳීම තියෙන්නෙ උඹත් එක්ක...
ඇය ඇඟේ තල මුහුණ මගේ උරහිස මත රදවා ගත්තා.