හොඳම දේ දරුවන්ට යන්න අපේ රටේ ජනප්‍රිය කියමනකි. එසේ නමුත් එය හුදෙක් කියමනකට පමණක්ම සීමාවූ ප්‍රායෝගිකව දක්නට ලැබෙන්නක් නොවන බවද පුවත්පතක් ගෙන බැලීමේදී පසක් වනු ඇත. බිළිඳු දරුවන් මහමඟ දමා යාම්, බිළිඳු දරැවන් මරාදැමීම වැනි පුවත් බොහෝමයක් නිරන්තරයෙන් ඇසෙන අපුල සහගත යථාර්ථයක් අපි අත්දකින්නෙමු. නමුත් දරුවන් මහමඟ අනාරක්ෂිතව දමායෑම හෝ ඔවුන් ජීවිතක්ෂයට පත්කිරීම අප රටට පමණක්ම සීමාවූවක් යැයි කෙනෙක් සිතුවහොත් එයද වැරැදිය. විශේෂයෙන් දරුවන් මහ මඟ දමා යාම දියුණු යැයි සම්මත බටහිර ලෝකයේ පවා සුලභව දක්නට ලැබෙන කාර්යයකි. රුසියාව ඒ අතින් නම් දැරූ රටකි.
මේ තත්ත්වය හමුවේ රුසියානු බලධාරීන් ගනු ලැබූ එක් මූලික පියවරක් වූයේ Baby Boxes වැඩපිළිවෙලක් හඳුන්වාදීමය. 2011 වසරේදී හඳුන්වා දුන් මෙම වැඩපිළිවෙලළ යටතේ මේ දක්වා දරුවන් 50කගේ පමණ ජීවිත බේරාගැනීමට හැකිවුණු බව රුසියානු පුවත්පතක් වන ‘කොම්සොමොල්ස්කායා ප්‍රව්ඩා’ අනාවරණය කොට තිබුණි.
එසේ වුවත් එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවක් විසින් රුසියාවට අවධාරණය කර තිබුණේ රුසියාව තුළ Baby boxes ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවය. එවැන්නකට හේතු වී තිබුණේ, රුසියාවේ Baby boxes ළදරුවන් ආරක්ෂාකාරී ලෙස අත්හැර දැමීමට භාවිත කරනවා වෙනුවට මරණයට පත්වූ ළදරුවන් අත්හැර යාමට බහුලව භාවිත කර තිබීමය.
Baby Boxes යනුවෙන් හඳුන්වන්නේ, දරුවන් අනාරක්ෂිත අයුරින් මහ මඟ දමායෑම වෙනුවට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරැ කළ හැකි අයුරින් ස්ථාන ගත කර ඇති විශේෂ පෙට්ටියක දරුවන් අත්හැර යාමය. කුමන අයුරින් වුවද දරැවන් අත්හැර දමා යාම අප සමාජය තුළ අනුමත නොකරන්නක් බව සැබෑ නමුත් මෙම වැඩපිළිවෙළ හරහා සැලකිය යුතු ළමුන් ප්‍රමාණයකගේ ජීවිත බේරාගැනීමට රුසියාව සමත් වූ බවද කිව යුතුමය.
රැඩිකල් සංකල්පයක් ලෙස බැලූ බැල්මට පෙනී ගියද Baby boxes පිහිටුවීමේ ඉතිහාසය යුරෝපයේ වැඩවසම් යුගය දක්වා දිවයන්නකි. Foundling Wheel ලෙස එකල හැඳින්වුණු මෙම කාර්යය මුලින්ම පටන් ගෙන ඇත්තේ කතෝලික ලෝකයේ අගනගරය වන වතිකානුවේ බව වාර්තා වේ. ක්‍රි.ව. 1198 දී වතිකානුවේ හුන් තුන්වැනි ඉනොසන්ට් පාප් වහන්සේ විසින් මුලින්ම Baby Box ස්ථාන පිහිටුවීම පිළිබඳ ප්‍රසිද්ධියේ නියෝග කොට තිබේ. පාප් වහන්සේ විසින් එවැනි ආන්දෝලනාත්මක නියෝගයක් ලබාදීමට මූලිකවම බලපා ඇත්තේ එවකට ඉතාලියේ ටයිබර් නදියට බිළිඳුන් අත්හැර දමා යාමට බොහෝ මව්වරුන් පෙළඹී සිටීම නිසාය. එය දරුණු සමාජ ප්‍රශ්නයක් ලෙස මතුවන්නට පටන් ගැනීමත් සමඟ ඊට විසඳුමක් ලෙස පාප්වහන්සේ එවැන්නක් ප්‍රකාශ කර සිටියහ.
වතිකානුව හා Baby boxes අතර ඇති සම්බන්ධයට සාක්ෂි දරන Foundling wheel ස්ථානයක් දැනුදු වතිකානුවේ සැන්ටෝ ස්පිරිටෝ රෝහලේ දක්නට ලැබේ. එය 19වැනි සියවස දක්වා භාවිතයට ගනු ලැබූ බවද සඳහන් වේ.
ජර්මනියට ද Baby boxes හා අතීත සම්බන්ධයක් පවතී. 1709 වසරේදී ජර්මනියේ හැම්බර්ග්හි එවැන්නක් විවෘත කෙරී ඇති නමුත් වසර පහක් ගතවනවිට එය වසා දමන්නට බලධාරීන්ට සිදුවිය. බලාපොරොත්තු වූ ප්‍රමාණය මෙන් කිහිපගුණයකින් ළදරුවන් එහි අත්හැර දමා යාම ඊට බලපා තිබුණි.
1811 වසරේදී ප්‍රංශය තුළ Baby boxes භාවිතය රාජාඥාවකින් නීතිගත කෙරැණි. පසුකාලීව ප්‍රංශ ගත්කතුවරියක වන ඈන් මාටින් ෆුජියර් සඳහන් කර තිබුණේ, ප්‍රංශය තුළ එවැනි නිත්‍යනුකූල Baby boxes 251ක් ක්‍රියාත්මක වූ බවයි.
නූතන යුගයේ පළමු වරට Baby boxes පිහිටුවීම ආරම්භ කළේ දකුණු අප්‍රිකාවය. ඒ 1999 වසරේදී ජොහැනස්බර්ග් නුවර පිහිටි කුඩා දෙව් මැදුරකය. එහිදී යම් හෙයකින් බිළිඳෙකු දේවස්ථානයේ Baby bin ලෙස හැඳින්වූ ස්ථානයේ දමා යාමකදී ඒ බැව් ඉලෙක්ට්‍රොනික් සංඥාවක් මගින් එය භාරව සිටින අයට දැනගැනීමට ලැබේ. 1999 සිට 2013 වසර දක්වා කාලය තුළදී එම දේවස්ථානයට ලැබුණු බිළිඳුන් සංඛ්‍යාව 1300කට අධිකය. වර්තමානය වනවිට බටහිර ලෝකයට පුරාමත් අසල්වැසි ඉන්දියාව හා පාකිස්තානය තුළත් මෙවැනි Baby boxes පිහිටුවා තිබේ. පාකිස්තානයේ පමණක් එවැනි ස්ථාන 300කට අධික ප්‍රමාණයක් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතුදු Baby boxes පවත්වාගෙන යාමේ නිත්‍යනුකූල භාවය පිළිබඳවද ලොව පුරා වරින් වර සාකච්ඡාවට බඳුන් කෙරිණ. විශේෂයෙන්ම ළමා ආරක්ෂාව වෙනුවෙන් හඬ නගන ඇතැම් සංවිධානවල අවධානය ඊට යොමුවී තිබුණි. අනෙක් අතට එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් ප්‍රඥප්තියේ 8වැනි වගන්තිය ප්‍රකාරව සෑම ළමයෙකුටම තම අනන්‍යතාවය දැනගැනීමේ අයිතියක් පවතී. Baby boxes වැනි වැඩසටහන් හරහා එම අයිතිය උල්ලංඝනය වන බවට විවිධ පාර්ශ්ව විසින් කාලයක් පුරාවට අදහස් දැක්විණි. නමුත් එක්සත් ජාතීන්ගේ එකී ප්‍රඥප්තියේම 6වැනි වගන්තියේ දැක්වෙන්නේ මෙලොව උපත ලබන සෑම දරැවෙකුටම ජීවත්වීමේ අයිතිය පවතින බවය. මේ තත්ත්වය තුළ 6 වැනි වගන්තියෙන් 8 වැනි වගන්තියේ බලය අහෝසි වී ගොස් ඇති බවක් පැහැදිලිව පෙනෙන්නට තිබේ.
Baby boxes යනු ස්ථීරසාර විසඳුමක් විය නොහැක. එය තාවකාලික පැලැස්තරයක් හෝ ළමා රක්ෂණය වෙනුවෙන් බොරුවට හුවා දක්වන විසඳුමකි. ඒ වෙනුවට සමාජගත කළ යුතුව ඇති විසඳුම වන්නේ විධිමත් පවුල් සැලසුම්කරණයයි. ශ්‍රී ලංකාව වැනි ආසියාතික සමාජයන්හි පවුල් සැලසුම්කරණය හෝ උපත් පාලනය යනු අසැබි වදනක් ලෙස සැලකීමට පවා ඇතැම්හු පෙළෙඹෙති. නමුත් නිසි දේ නිසි ලෙස දකිමින් කටයුතු කරන්නට හැකි නම් සමාජ ප්‍රශ්න ගණනාවකින් මිදීමට අපට හැකිවනු ඇත.
Text — Rajitha