2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ලොවක් හෙල්ලූ පින්තූරයේ අයිතිකාරයා ලංකාවට ඇවිත්...

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 235

අගෝස්තු 19 වැනිදා පැවැති ලෝක ඡායාරූප දිනය සැමරීම උදෙසා ලොව බොහෝ රටවල විවිධාකාර උත්සව පැවැත්විණි. ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමය ද (NAPSL) එය සැමරීම සඳහා ජාත්‍යන්තර කීර්තියට පත් නික් උට්‌ නමැති වියට්නාම යුද්ධය ආවරණය කිරීම නිසා ජාත්‍යන්තර කීර්තියට පත් ඡායාරූප ශිල්පියා මෙරටට ගෙන්වා ඔහුගේ ලෝකප්‍රකට ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක් සහ සැමරුම් උළෙලක් නෙලුම් කුළුණ පරිශ්‍රයේදී ජනමාධ්‍ය ඇමැතිවරයාෙග් ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. එම සැමරුම් උළෙලට තවත් විදේශීය ඡායාරූප ශිල්පීන් 30 දෙනෙක් ද සහභාගී වූහ. 

නික් උට් වියට්නාමයේ Long An ග්‍රාමයේදී 1951 මර්තු 29 වැනිදා උපත ලැබීය. ඔහුගේ මුල්ම නම වූයේ Huynl Cng ut ය. නමුත් වෘත්තීය නාමය වූයේත්, ජනප්‍රිය වූයේත් නික් උට් ලෙසිනි.

ඔහු Associated Press ආයතනයට එක්වූයේ 16 හැවිරිදි වියේදීය. එය අහඹු සිදුවීමක් විය. නික්ගේ වැඩිමල් සොහොයුරා AP ආයතනයේ ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කළ අතර ඔහු වියට්නාම යුද්ධයේදී ප්‍රහාරයකට ලක්ව මිය ගියේය. Associated Press ආයතනය නික්ට අවස්ථාවක් ලබා දුන්නේ ඔහුගේ සොහොයුරාගේ අකල් වියෝව හේතුවෙනි. නික් AP ආයතනය වෙනුවෙන් වියට්නාම් යුද්ධය ආවරණය කරමින් සිටියදී තුන්වරක් අනතුරට පත් වූයේය.


The Terror of War  ජාත්‍යන්තර කීර්තියට පත් නික්ගේ ඡායාරූපය

නික් උට්ගේ ජනප්‍රියතම ඡායාරූපය වූ "The Terror of War” නමැති ඡායාරූපය ගන්නා ලද්දේ 1972 දීය. Trang Bang ග්‍රාමයේදී පිළිස්සුණු තුවාල සහිතව ඉදිරියට දිව ආ දරුවන් පිරිසක් ඔහුගේ වස්තු විෂය විය. එම ඡායාරූප AP ආයතනයට යැවීමට පෙර තමන් එම දරුවන් රෝහල වෙත ගෙන යාමට පියවර ගත් බව ඔහු පැවසීය. ඡායාරූප AP කාර්යාලයට ගෙන යාමට වඩා ළමුන්ගේ ජීවිත අවදානම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔහු තුළ ඇති මානුෂිකත්වය කැපී පෙනෙයි. මෙම ඡායාරූපය AP කාර්යාලය වෙත යැවීමෙන් පසු සංස්කාරකවරුන් එය පළකිරීම ප්‍රතික්ෂේප කළේය. පැවැති නීතිරීති අනුව අවුරුදු 9ක දැරියකගේ වුවද නිරුවත  දිස්වන ඡායාරූප සන්නිවේදන මාධ්‍යවල පළකිරීම නීතිවිරෝධී වීම ඊට හේතුව විය. කෙසේ වුවද AP හි නිව් යෝර්ක් ප්‍රධාන කාර්යාලය සමඟ ද සාකච්ඡා කර විවිධ තර්ක විතර්ක මැද මෙම ඡායාරූපයේ ඇති ප්‍රවෘත්තිමය වටිනාකම හා ඉන් නිරූපණය වූ යුද්ධයේ අමානුෂිකත්වය සලකා නීතිරීති නොසලකා එය පළකිරීමට ප්‍රධාන සංස්කාරකවරයා තීරණය කළේය.

පුලිට්සර් (Pulitzer Prize) ත්‍යාගය යනු වසරක් පාසා ලෝකයේ පළවන හොඳම ජනමාධ්‍ය ඡායාරූපය වෙනුවෙන් ප්‍රදානය කෙරෙන ලොව ප්‍රමුඛතම ත්‍යාගය වේ. මෙය නිව්යෝර්ක් හි Colombia University මගින් Joseph Pulitzer හට උපහාර පිණිස සිදුකෙරෙන්නකි. මේ සඳහා ලැබෙන ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් 15,000 කි. එය රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලකි. 1973 වර්ෂයේ පුලිට්සර් ත්‍යාග හිමිවූයේ The Terror Of War ඡායාරූපයේ හිමිකරුවා වන නික් උට්ය. මීට අමතරව මෙම ඡායාරූපය 1972 දී ප්‍රවෘත්ති ඡායාරූපකරණය වෙනුවෙන් පිදෙන The George Polk ත්‍යාගයද දිනාගන්නා ලදී. 1972 දී overseas press club of America වෙතින් පිරිනමන වසරේ හොඳම පුවත්පත් ඡායාරූප ශිල්පියාට හිමි ත්‍යාගය පිරිනමන ලදී. තවද 2014 පුවත්පත් ඡායාරූපකරණයේ විශේෂ දක්ෂතාව උදෙසා පිරිනමන The Lucie සම්මානයද නික් උට්ට හිමි විය. 2021 දී ඇමෙරිකා එක්සත් ජනපදය මගින් කලාකරුවෙකුට පිරිනමන ඉහළම ත්‍යාගය වන "the National Medal of Art" දිනාගැනීමට නික් උට් සමත් විය. යුද්ධයේ බියකරු බව සහ අමානුෂික ස්වභාවය ලොව පුර පැතිරීමට මෙම "The Terror of War” ඡායාරූපය හේතු වූ බව විචාරකයන්ගේ මතය විය. ලෝකවාසීන් තුළ යුද්ධය කෙරෙහි පැවැති විරෝධය වැඩිවීමට මෙම ඡායාරූපය හේතු වූ බව පැවසේ.

නික්  උට්ගේ මෙම ඡායාරූපය ප්‍රවෘත්ති ඡායාරූපකරණයේ spot news අංශයට ගැනෙන ඡායාරූපයකි. Spot news යනු කිසියම් සිදුවීමක් සිදුවෙමින් පවතින අවස්ථාවේම වාර්තා කිරීමය. ඡායාරූපකරණයේදී මෙම අංශය ඉතා වැදගත් වේ. නික් උට්ගේ බොහෝ ඡායාරූප මෙම අංශයට අයත් වේ. 

කෙසේ වුවද NAPSL ආයතනය 2023 ලෝක ඡායාරූප දිනය වෙනුවෙන් ලෝකයේ ශ්‍රේෂ්ඨ ඡායාරූප ශිල්පියෙකු වූ නික් උට් ලංකාවට ගෙන්වීම මෙන්ම ඔහුගේ ජනප්‍රිය ඡායාරූප එකතුවෙහි ප්‍රදර්ශනයක් පැවැත්වීම වැදගත් කාර්යයක් ලෙස සඳහන් කළ යුතුය. මෙරට ශිල්පීන්ට නික් උට්‌ ඇසුරු කිරීමට හා ඔහුගේ නිර්මාණ විඳින්නට අවස්ථාවක් සැලසීම සම්බන්ධයෙන් අප එම සංගමයට ස්තුතිවන්ත විය යුතුය.  

I හෙන්රි රාජකරුණා