දශක තුනක ත්‍රස්තවාදය පරදා අප ලද යුද ජයග්‍රහණය සමරනු වස් ගැයුණු ගීත අතර වඩාත් ජනප්‍රිය වූ ආයුබෝ වේවා මහරජාණෙනි ගීතය තුළින් කාගේත් කතාබහට ලක්වූ විශාරද සහේලි ගමගේ නොබෝ දිනකින් විවාහ දිවියට ඇතුළත් වෙන්න සූදානමින් ඉන්නවා. ජෝර්ජියානු වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හමාරකොට වෛද්‍ය උපාධිය ලබාගත් සහේලිගේ අත ගන්නේ ඇය සමඟම එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ උදාරය.
ලබන බදාදා, එනම් ජූනි 14 මංගල ගමනට පා තබන්නට සූදානමින් සිටින සහේලිගෙන්, ඇගේ විවාහය හා එයට පසුබිම් වූ ආදර කතාව අසා දැනගන්නට හදසර සහේලි මුණගැසුණා.
ඔහුගේ නම උදාර. මාත් එක්කම ජෝර්ජියානු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ඉගෙන ගෙන අපි එකට සමත් වුණා. සහේලි කතාවට මුල පිරුවා.
කොහොමද ඔබ උදාර මුල්ම වතාවට මුණගැසුණේ?
අපේ විශ්වවිද්‍යාලයේ මුල්ම ලෙක්චර්ස්වලදි තමයි ඔහුව මට මුලින් මුණගැහුණෙ, 2012 දි විතර. එදායින් පස්සෙ මිත්‍රකම දැඩිවෙලා අපි දෙන්නා හොඳම යාළුවො විදිහට අවුරුදු හතරකට වැඩි කාලයක් ඇසුරු කළා. ඒත් මම දැනගෙන හිටියෙ නැහැ උදාර මගේ ගැන එහෙම අදහසකින් හිටිය බව.
කවදද ඔහු ඔබට ඒ බව කිව්වෙ?
අවුරුදු හතරහමාරක මිත්‍රත්වයකින් පස්සෙ තමයි ඔහු මට ආදරය ප්‍රකාශ කළේ.
ඒ වෙලාවෙ ඔබට මොනවද හිතුනෙ?
ඇත්තටම මටත් ඔහුව දැක්ක දවසෙම ඔහු ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා. විශේෂයෙන් ඔහු තුළ තිබෙන යහපත් ගති ලක්ෂණ නිසා.
සහේලි මොනවද උදාරගෙ දකින හොඳම ගතිගුණ?
මම කැමති ගතිගුණ හැම එකක්ම වගේ උදාරට තිබුණා. ඔහු සංගීතයටත් ආසයි. හොඳට බටනලාව සහ වයලීනය වාදනය කරන්න පුළුවන්. සින්දු කියන්නත් පුළුවන්. ලස්සනට චිත්‍ර අඳිනවා. හොඳ නිර්මාණශීලී ඩිසයිනර් කෙනෙක්. ඒත් මම වැඩිපුරම ආස කරන්නෙ ඔහුගෙ තිබෙන ඉවසිලිවන්තකමට. මට වඩා ගොඩක් එයාට ඉවසීම තියෙනවා. උදාර මාව හොඳින් තේරුම් අරගෙන ඉන්න කෙනෙක්. කාලයක් තිස්සෙ අපි ළඟින් හොඳ යාළුවො විදිහට ඇසුරු කිරීම අපිට ලොකු වාසියක් වුණා එකිනෙකා තේරැම් ගන්න. එයා මුලින්ම මගෙන් මේ ගැන අහන්න බයෙන් ඉඳලා තියෙන්නෙ. එහෙම වුණොත් අපේ යාළුකම නැතිවෙයිද කියලා හිතලා. මට ගොඩක් ආදරේ කරන, ආගම දහමට ළැදි හිත හොඳ කෙනෙක් තමයි උදාර. පවුල් දෙකෙන්ම අපට ආශීර්වාදය ලැබුණා. අපේ කේන්ද්‍ර ගැළපුණා. අපි විවාහ වෙන්න තීරණය කළා.
විවාහය කොයි ආකාරයටද සිද්ධ වෙන්නෙ?
උදාරගෙ ගම මහනුවර. අපේ විවාහ මංගලෝත්සවය උඩරට චාරිත්‍රානුකූලව තමයි සිද්ධ වෙන්නෙ. එයා මුල් ඇඳුම අඳින්න බලාපොරොත්තු වෙන්නෙ. මමත් ඔසරිය අඳින්නෙ. අපේ වෙඩිං කාඩ් එක වගේම කේක් පෙට්ටිවල ආකෘති නිර්මාණය කළේත් උදාරමයි, මගෙත් අදහස් එක්ක.
විවාහයෙන් පස්සෙ පදිංචිය සඳහා කොහෙද තෝරා ගත්තෙ?
අපේ අම්මයි, අප්පච්චියි ඉන්නෙ කැනඩාවෙ නිසා අපි එහෙ පදිංචි වෙන්න අදහස් කළා. අනික අපි දෙන්නම කැනේඩියානු වෛද්‍ය විභාග කරන නිසා ඒක අපට පහසුවක් වේවි.
සහේලිගෙ සංගීතමය පැත්ත ගැනත් යමක් කියන්නකො?
මම එහෙ හිටිය කාලෙත් අලුත් සින්දු කළා. ළඟදීම තවත් සීඩී තැටියක් එළි දක්වන්න අදහසක් තියෙනවා. උදාරට සින්දු ලියන්නත් පුළුවන්. ඒත් තවම මට ලියලා නැහැ. අපි දෙන්නම මුල්ම වතාවට යුග ගීතයක් ගායනා කරනවා අපේ වෙඩිං එක දවසෙ. සසර පෙරදා බැඳුණ විලසේ කියන ඒ ගීතය පද රචනය කළේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්. සංගීතවත් කළේ අනුෂ්ක දසනායක.
උදාර මොනවද සහේලිගෙ දැක්ක හොඳම ගුණාංගය?
එයාගෙ තිබෙන යහපත් ගතිගුණ තමයි මූලිකව මගෙ හිත ගත්තෙ. එයාගෙ නිරහංකාරකම හා අව්‍යාජ බවට මම ගොඩක් ඇළුම් කළා. එයාගෙ ගායන දක්ෂතාවලටවත් රූපයටවත් නෙවෙයි මගේ හිත ඇදී ගියේ.
සහේලි මුලින්ම හමුවුණ දවස මතකද?
ඔව්. එදා අපේ විශ්වවිද්‍යාලයේ පන්ති පවත්වපු මුල් දවස. මුලු ශාලාවම පිරිලා, ඒ වුණාට මගේ ළඟ විතරක් එක හිස් පුටුවක් තිබුණා. ඒ පුටුවෙ ඇවිත් වාඩිවුණේ සහේලි. එදායින් ඇරඹුණ මිත්‍රකම අවුරුදු හතරහමාරක් විතර පැවතුණා.
සංගීතය ප්‍රේමයේ ආහාරය කියලත් කියනවනෙ... ඔයා කන්න කැමති කෑම බීම හදන්න සහේලිට පුළුවන්ද?
අපි දෙන්නටම උයන්න පුළුවන්. මම උයන්න ඉගෙන ගත්තෙ මගේම උත්සාහයෙන්. ඔව්. ඉදිරියේදී අපි දෙන්නට එකතුවෙලා කෑම උයන්න පුළුවන් වෙයි. මොනව හරි වැරදුණොත්, අපි දෙන්නට එළියට ගිහින් කෑම ගන්නත් පුළුවන්. ඒකෙ ලොකු ගැටලුවක් නැහැ.
සහේලි - උදාර ඔබට සුභ යුගදිවියක්!
Text – Ramesh Uvais/ PiC – Damith Wickramasinghe