ලංකාවට ඇවිල්ලා Traveling YouTube Channel එකක් පටන් අරගෙන ගොඩදාගන්න එක ගොඩක් Travelers ලාගේ පුරුද්දක්. කොහොම හරි මේ දෙන්නත් එහෙම හිතාගෙන ආපු දෙන්නෙක්. පහුගිය දවසක මේ දෙන්නා හින්දා අපේ දොඩම් විකුණන මාමා කෙනෙක්ට හරි අපූරු වැඩක් වුණා.
පාරේ අයිනේ තිබුණු තැනකින් දොඩම් වීදුරුවක් බොන්න හිතාගෙන තමයි මේ දෙන්නා එතැනට කිට්ටු කළේ. මාමට භාෂාව එච්චර බැරි වුණාට කොහොමහරි කතා කරලා එකක් රුපියල් එකසිය විස්සයි කියලා කිව්වා. මෙන්න බොලේ ඒ අස්සෙ මේ සුදු අයියා කියනවා තමන්ගෙ අතේ තිබුණු වතුර බෝතලේ වතුරෙන් මේක හදන්න කියලා.
ඔන්න දැන් මාමට හරි ප්‍රශ්නෙ. සාමාන්‍යයෙන් ලංකාවේ පාරේ දොඩම් විකුණද්දි වතුර එකට සීනි දිය කරලා තියෙන්නෙ. එහෙම වුණාම හදාගන්න පහසුයි. රසත් ඉතින් පැණි දොඩම් වගේ තමයි. දැන් මේ පැටලිල්ල ලිහාගන්න කොහොමහරි මාමා උත්සාහ කළා. "Sugar.. Sugar” කියලා මාමා දෙපාරක් කියද්දි සුදු අයියා කිව්වා "No Sugar”. අන්න ඒ නිසා යන්තම් වැඩේ ගොඩ ගියා. නැත්නම් ඒ රහස මාට්ටු වෙන්නත් තිබුණා.
කොහොමහරි දෙන්නත් එක්ක රසයි කියලා බීම දෙකක් බිව්වා. ඒ අස්සෙ සුදු අයියා කිව්වා මම අහලා තියෙනවා ලංකාවේ අයිස් නම් එච්චර හොඳ නැහැයි කියලා. බලන්න එයාලත් දන්න දේවල්.
“Money go Money come Girl go never come” මම කැමතියි බ්‍රදර් ඒකට
මෙයා වෙනස් විදිහට හිතන ලොකු කුතුහලයක් තියෙන Traveler කෙනෙක්. මේ දවස්වල ලංකාව වටේ කරක් ගහනවා. පහුගිය දවසක ගාල්ල කොටුවේ ඇවිදින ගමන් ලංකාවේ සංචාරක කර්මාන්තය සහ ලංකාවේ මිනිස්සු ගැන මෙයා ගොඩක් හොඳ කිව්වා.
ගාල්ලේදි හම්බවුණු බී.පී කියන යාළුවෙක් එක්ක ගාල්ලේ සංචාරක කර්මාන්තය පිළිබඳව කතා කළා. බී.පී ගෙන් ප්‍රශ්න ඇහුවෙ හරියට ගාල්ල නගරාධිපතිගෙන් ප්‍රශ්න අහනවා වගේ. ඒත් බී.පී හොඳට උත්තර දුන්නා. කොහොමහරි යාළුවට සමුදීලා එළියට ඇවිල්ලා මෙයා කිව්වේ මෙහෙම කතාවක්.
“ලංකාවෙ මිනිස්සු හරිම කරුණාවන්තයි. මට දැනගන්න අවශ්‍ය ඔවුන්ගේ සැබෑ හැඟීම. සංචාරකයන් සහ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන සැබෑ හැඟීම."
ඊටපස්සේ මෙයා මෙහෙම ඇවිදිනකොට අපේ ත්‍රීවිල් එකක ගහලා තිබුණු අපූරු වාක්‍යයක් දැක්කා.
“Money go Money come
Girl go never come”
මේ වාක්‍ය කියවලා ඉවරවෙලා මෙයාට බොහොම හිනා. ඊටපස්සෙ ඉස්සරහට ගිහිල්ලා ත්‍රීවිල් එකේ වාඩිවෙලා හිටපු අපේ රියැදුරු අයියටත් ෆිට් එකක් දැම්මා. ඊටපස්සේ මෙහෙම කිව්වා.
“මම කැමතියි බ්‍රදර් ඒකට."
මැච් එක බලන්න දෙන්නම ඇවිත් - ප්‍රේමදාසයේදී ඉන්දියානු පකිස්ථානු යාළුකමක්
මේ දෙන්නත් කපල් එකක්. මේගොල්ලෝ ඉන්දු පකිස්ථාන ක්‍රිකට් තරගය බලන්න තමා ලංකාවට ආවේ. හොඳ YouTube Channel චැනල් එකක් පවත්වාගෙන යන මේගොල්ලන්ගේ වීඩියෝ එකක් මිලියනයක් විතර බලනවා. පකිස්ථානෙ ඉඳන් ලංකාවට ගොඩබහින මොහොත දක්වාම මේගොල්ලො එක වීඩියෝ එකක් කරලා තිබුණා. ඊටපස්සේ මැච් එකක් ගැනත් වීඩියෝ දෙකක් කරලා තිබුණා.
ලංකාවට මීට මාස දහයකට කලින් ආවම තිබුණු තත්ත්වයයි වර්තමාන තත්ත්වයයි සංසන්දනය කරලා මෙයාලා ගොඩක් 'පොසොටිව්' විදිහට කතා කළා. ඒත් ගුවන් තොටුපළේ වැඩ කරන කෙනෙක්ගෙන් ලංකාවේ තත්ත්වය ඇහුවම එයා මේගොල්ලන්ට දුන්නේ එච්චර හොඳ උත්තරයක් නෙවෙයි.
“ඒ දවස්වලට වඩා මේ දවස්වල හරියට තත්ත්වය අවුල්. ඩොලර් එකත් නැගලා තියෙන්නෙ"
ඒ උත්තරය හරිද වැරදිද කියලා නම් අපි කියන්න යන්නේ නෑ. කොහොම වුණත් ඉන්දු පකිස්ථාන තරගය නරඹන්න ගිය මේ දෙන්නා ගොඩක් විනෝද වුණා.
ඉන්දියානුවෝ ළඟට ගිහිල්ලා කතාබහ කරලා ප්‍රශ්න ඇහුවා. ඉන්දියාව හොඳට ක්‍රීඩා කරනවා කියලා ඉන්දියන් ප්‍රේක්ෂකයෝ සතුටින් කිව්වා. පකිස්ථානයත් හොඳට ක්‍රීඩා කරයි කියලා අපි හිතනවා කියලා එයාලා කිව්වේ මෙයා පකිස්ථානුවෙක් නිසා.
“ඒ ගැන වද වෙන්න ඕනෙ නෑ. අපි සහෝදරයෝ"
අපේ පකිස්ථාන් යාළුවා කිව්වා. ඊටපස්සේ දෙගොල්ලොම එකට ප්‍රේමදාස පිට්ටනියේ ඉඳන් සව්දිය පිරුවා.
I චමිඳු නිසල්