2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ලෝකයේම නළු නිළියන්ට අමුතු බඩේ පාරක්!

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 02:00 112

ඔන්න මචෝ මේ සතියෙත් අපි අරගෙන ආවා AI පිළිබඳ අමුතුම කතාවක්. Artificial Intelligence ගැන පහුගිය දවස්වල අපි කතා කළා සුදාලට මතක ඇති. කොහොමහරි මේ පාර කතාව AI නළු නිළියෝ ගැන. මේක ටිකක් අමුතු Trend එකක්. මේ AI නළු නිළි සීන් එක නිසා පහුගිය දවස්වල ලෝකෙ පුරා ජරමර කිහිපයකුත් සිද්ධ වුණා. ඒ නිසාම මේ කතාව අපි ගලපන්නම ඕනෑ වස්තු.

සුදාලා දන්නවා කෘත්‍රිම බුද්ධිය ලෝකයේ බොහෝ ක්ෂේත්‍රවලට දැන් භාවිත කරනවා. අධ්‍යාපනය සෞඛ්‍ය වගේ දේවල්වලට AI හරහා ලොකු උදව් එහෙමත් ලැබිලා තියෙනවා. මේ වෙනකොට AI සීන් එකේ දකින්න තියෙන්නේ සීඝ්‍ර දියුණුවක්. ඉතින් ඔන්න සිනමාවටත් AI නළු නිළියෝ එන්න පටන් අරගෙන මචෝ.

කොහොම වුණත් මේ සීන් එකෙත් ඉතිහාස කතාව කියලම සීන් එකට enter වෙන එක හොඳයි. AI තාක්ෂණය සිනමා කර්මාන්තයට භාවිත කරන්න ගොඩක් දෙනෙක් උත්සාහ කළා. සිනමාව සඳහා කෘත්‍රිම බුද්ධිය සහිත නළු නිළියෝ යොදාගන්න මුලින්ම පරීක්ෂණ කළේ ජපානය. 2020 අවුරුද්දේ විතර යම් ප්‍රමාණයකට සාර්ථක AI නිළියක් රොබෝ තාක්ෂණය උපයෝගී කරගෙන ජපානයේ හැදුවේ ඇත්තටම චිත්‍රපටයකට යොදාගන්න. මේ නිළියව නම් කරලා තිබුණේ එරිකා කියලා. Erica නිර්මාණය කළේ ජපන් විද්‍යාඥයන් දෙදෙනකු වන Hiroshi Ishiguro සහ Kohei Ogawa විසින්.

මේ වෙනකොට තත්ත්වය ඊට වඩා සෑහෙන්න වෙනස්වෙලා තියෙනවා. ඒ කියන්නේ මචෝ දියුණුවෙලා. කෘත්‍රිම බුද්ධියෙන් ප්‍රති නිර්මාණය කරපු ලංකාවේ පැරණි ගායකයෝ කිහිප දෙනෙක්ම රඟපාන රෑපවාහිනී දැන්වීමක් පවා පහුගිය දවස්වල විකාශය වුණා. තේරෙනවද මචෝ, AI නළු නිළියෝ දැන් දැන් සිනමාව ආක්‍රමණය කරමින් ඉන්නේ.

ඔන්න ඔය අස්සෙ පහුගිය දවස්වල හොලිවුඩ්වල මාර වැඩක් සිද්ධ වුණා. ඇමෙරිකාවේ නළුවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක් එහේ ප්‍රධාන වීඩියෝ ක්‍රීඩා සමාගම්වලට එරෙහිව විශාල වැඩවර්ජනයක් සංවිධානය කළා. ”වැටුප් වැඩිවීම් සහ කෘත්‍රිම බුද්ධිය” සම්බන්ධ ගැටලු නිසා තමයි මේ අය මේ විදිහට වැඩවර්ජනය කළේ. 

තමන්ට AI මගින් සිදුවන බලපෑම ගැන ඔවුන් මෙතනදි කතා කරලා. මේ වෘත්තීය සංගමයේ ලොක්කා නම් කියලා තිබුණෙ මචෝ AI තාක්ෂණය කලාකරුවන්ගේ වැඩ සහ වෘත්තීන්හි අනාගතයට තර්ජනයක් වෙනවා කියලා.

“නැවත වරක් කෘත්‍රිම බුද්ධිය අපගේ සාමාජිකයන්ට වැඩ කිරීමට ඇති අවස්ථාව අඩු කිරීමේ අනතුරකට ලක් කරයි.” 

ඇත්තටම මචෝ මෙතනදි නම් සිද්ධවෙලා තියෙන්නේ කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගෙන හඬකැවීම් සිද්ධ කරන්න සමහර Video games හදන සමාගම් උත්සාහ කිරීම.

කොහොම වුණත් සුදාලට කියන්න මේ වෙනකොට බොහොම සාර්ථකව AI හරහා Voice නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉස්සරහට මේක තවත් වැඩිදියුණු වෙන බව නම් සහතිකයි. අපි දවසක් සුදාලට කිව්වා පැරණි ගායකයන්ගේ කටහඬින් අලුත් ගීත ගායනා කරන්න AI තාක්ෂණය යොදාගන්න ලෝකය සූදානම් වෙනවා කියලා. ඒවා එහෙම වුණොත් හඬකැවීම් කියන වැඩේට ගොඩක් දුරට ටටා බායි කියන්න වෙන්න පුළුවන් සුදෝ.

ඊළඟට හඬ වගේම තමන්ගේ රෑපයත් ඒ විදියටම අනුකරණය කරලා AI නළු නිළියන් හදන්න පුළුවන් වීම සම්බන්ධව හොලිවුඩ්වල ගොඩක් අය මේ දවස්වල බයෙන් ඉන්නෙ. තාමත් මේකට හරි නීතියක් නැති නිසා තමන්ට ලොකු අසාධාරණයක් වෙයි කියලා එහේ නළු නිළියෝ හිතනවා. ලංකාවෙ අයට නම් මේ වගේ දේවල් හිතනවට වඩා හිතන්න තව ප්‍රශ්න ගොඩක් කර්මාන්තය ඇතුළේ තියෙනවා මචෝ.

AI හරහා නළු නිළියන් කිහිප දෙනෙක්ගේ මුහුණුවලට හඬවල් සහ අඟපසඟ එකින් එකට මිශ්‍ර කරලා තමන්ට ගැලපෙන කෙනෙක්ව හදාගන්නත් බැරිකමක් නෑ. ඔන්න ඒකට අපූරු උදාහරණයක් මේ දවස්වල ඉන්දියාවෙන් අපිට දැකගන්න පුළුවන් වුණා. ඇත්තටම ඉන්දියාවේ දැන් AI Generators  භාවිත කරලා නළු නිළියන්ගේ රෑප හදන එක පිස්සුවක් වෙලා. සමහරු වීඩියෝ කෑලි පවා හදනවා.

ඔන්න පහුගිය දවස්වල ජපානයේ ඉලෙක්ට්‍රොනික සඟරාවක පළ කරන්න කෘත්‍රිම බුද්ධිය උපකාර කරගෙන නිර්මාණය කරපු නිළියකගේ රෑපය, සැබෑ නිළියකට සමාන වීම නිසා ලොකු ගැටලු ඇතිවුණා. මේක සම්බන්ධව ලොකු තර්ක විතර්ක ඇතිවෙලා අවසානයේ මේ සමාගම තමන්ගේ සඟරාව වහලා දැම්මා. මේ වගේ ප්‍රශ්න දැන් ලෝකයේ හැමතැනින්ම ටික ටික ඇහෙන්න පටන් අරගෙන.

අපි දැක්කා අන්තර්ජාලයේ බොහොම ජනප්‍රිය වෙනවා ඉන්දියානු දමිළ නිළියන් කිහිප දෙනෙක්ගේ රුව එකිනෙකට මුසු කරලා හදපු AI චරිතයක රෑපයක්. ඉන්දියානු නළු නිළියන් බාර්බිලා වගේ හදන්නත්, මර්වල් චරිත වගේ හදන්නත් දැන් ඉන්දියාවේ ගොඩක් දෙනෙක් පෙළඹිලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, නළු නිළියන්ගේ රෑප හැදීමත් දැන් පිස්සුවක් වෙලා. ඒත් මචෝ මේ හැම වැඩක්ම තාම තියෙන්නේ මූලික අවස්ථාවේ.

සමහරු කියනවා තමන්ගේ ජීවන අත්දැකීම් වගේ දේවල් ගොඩක් එකතු කරගෙන මනසින් කරන වැඩක් වෙන රඟපෑම එහෙම ලේසියෙන් AI චරිතයක් හරහා සිදුකර ගන්න බැරිවෙයි කියලා. තවත් පිරිසක් කියනවා මේ වැඩේ නිසා සැබෑ නළු නිළියන්ගේ වටිනාකම තවත් ඉහළ යයි කියලා. හැබැයි වැඩි දෙනෙක් කියන්නේ මේකෙන් නළු නිළියන්ට ලොකු බඩේ පහරක් වදින්න පුළුවන් කියලයි.

කොහොම වුණත් මචෝ මේ වෙනකොටත් කෘත්‍රිම බුද්ධිය සිනමා කර්මාන්තයට භාවිත වෙන්න පටන් අරගෙන ඉවරයි. දවසින් දවස මේ දේවල් දියුණු වෙනවා. අනාගතයේ මොනවා වෙයිද කියලා හිතාගන්න බැරි තරම් AI තාක්ෂණය වේගවත් ගමනක නිරතවෙලා ඉන්නවා. ඉතින් වස්තුලා අපි බලාගෙන ඉන්නවා හැරෙන්න වෙන කරන්න පුළුවන් දෙයක් නෑ. අපි බලාගෙන ඉමු.

I චමිඳු නිසල්