2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

චිත්‍රපට දෙසිය පහළොවක් පරදා සිහින සමීකරණයට ජාත්‍යන්තරයෙන් සම්මානයක් - චන්දන ජයසිංහ

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 105

Q පසුගියදා නයිජීරියාවේදී අවසන් වූ බයෙල්සා ජාත්‍යන්තර සිනමා උළෙලේදී (Bayelsa International Film Festival) හොඳම කැමරාකරණයට හිමි සම්මානය දිනාගත්තේ ඔබයි. මුලින්ම චන්දනට දේශය 'හදසර' සුබ පැතුම්?

ගොඩක් ස්තූතියි. මේක නයිජීරියාවේ තියෙන ජාත්‍යන්තර සිනමා උළෙලක්. මෙම සම්මාන උළෙලේදී මීට පෙර සෝමරත්න දිසානායක මහතාගේ 'සුනාමි' චිත්‍රපටයට සම්මාන හිමිවුණා. ඊටපස්සේ සසික හේරත්ගේ 'සිහින සමීකරණ' චිත්‍රපටය නිර්දේශ වුණා. ඒකෙදි හොඳම චිත්‍රපටය, හොඳම තිර රචනය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම කැමරා අධ්‍යක්ෂණය සහ හොඳම සහාය නළුවාට හිමි සම්මානවලට නිර්දේශ වෙලා තිබුණා. ඒ නිර්දේශ අතරින් මට හොඳම කැමරා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ ගැන තියෙන්නෙ ලොකු සතුටක්.

Q මෙම සම්මාන උළෙලෙදි චිත්‍රපට කීයක් තරගයට ඉදිරිපත් වෙලා තිබුණද?

මෙම සම්මාන උළෙලට ලෝකය පුරා බොහෝ රටවල් අතරින් චිත්‍රපට දෙසිය පහළොවකට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වෙලා තිබුණා. 'සිහින සමීකරණ' කියන්නෙ සසික හේරත්ගේ කුළුඳුල් චිත්‍රපටයයි. ඉතින් ඔහුගේ පළමු චිත්‍රපටයම ජාත්‍යන්තර සම්මාන උළෙලකදි චිත්‍රපට දෙසීයකට වැඩි සංඛ්‍යාවකින් ප්‍රධාන පෙළේ සම්මාන හයකට නිර්දේශ වීම ලොකු ජයග්‍රහණයක්. 2021 අවුරුද්දෙ සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කළ 'සුනාමි' චිත්‍රපටය වෙනුවෙන් ඔහුට හොඳම අධ්‍යක්ෂණයටත් හොඳම නිළිය ලෙසින් නිරංජනී ශන්මුගරාජාටත් සම්මාන හිමිවුණා.  

Q කැමරාවට ඔබගේ හිත යොමුවුණේ කොයි කාලෙදිද?

ඇත්තටම පුංචි කාලෙදි මට එහෙම කැමරාවක් අතපත ගාන්න ලොකු ආසාවක් තිබුණෙ නැහැ. '89 අවුරුද්දෙ කලබලකාරී වකවානුවේදි මම සපුගස්කන්දෙ තමයි හිටියෙ. ඒ වෙද්දි අපි පදිංචිවෙලා හිටියේ සපුගස්කන්දෙ. මම සාමාන්‍ය පෙළ විභාගය කළෙත් '89 අවුරුද්දෙ. හැබැයි ඒ තිබුණු කලබලකාරී තත්ත්වයත් එක්ක මට විභාගයට වාඩිවෙන්නවත් ලැබුණෙ නැහැ. බොහොම අමාරුවෙන් අවුරුද්දකට පස්සෙ තමයි මම සාමාන්‍ය පෙළ විභාගය ලිව්වෙ. හැබැයි ඒ වෙද්දිත් මට ගමේ ඉන්න බැරි තත්ත්වයක් තමයි තිබුණෙ. මට විතරක් නෙවෙයි, ඒ කාලෙදි අපේ වයසේ හිටපු බොහෝ දෙනෙකුට ඒ එපාවීම, කලකිරීම හිතට දැනිලයි තිබුණෙ.

Q ඒ කලකිරීමත් එක්ක චන්දන දඩබ්බර තීරණයක් ගත්තා?

ඔව්.. ඒ කාලෙදි ඒක දඩබ්බර තීරණයක් කියලා හිතුණට මගේ හැරවුම වුණෙත් ඒ දඩබ්බර තීරණයම තමයි. ඒ වෙද්දි උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ කරන තරුණ තරුණියන්ට එතරම් හොඳ කාලයක් වුණේ නැහැ. ඒ නිසා ගෙදර අයටත් නොකියා මම ගෙදරින් පැනලා ආවා.

Q එහෙම ගෙදර අයටත් නොකියා ආවේ කා ළඟටද?

මම ගෙදර අයටත් නොකියා මගේ ලොකු තාත්තා ළඟට ගියා. ඔහු තමයි ඩොනල්ඩ් කරුණාරත්න. ඔහු හොඳම කැමරා ශිල්පියෙක්. ටික දවසකින් ඔහු මට &මම ඔයාව මේ ක්ෂේත්‍රයට යොමු කරන්නම්. හැබැයි හොඳ කැපවීමකින් මේ ගමන යන්න* කියලා උපදෙස් සහ ආශිර්වාදය දීලා මාව මේ ක්ෂේත්‍රයට යොමු කළා. එදා ඉඳන් මම මේ ක්ෂේත්‍රයේ වැඩ කරනවා.

Q මුලින්ම ඔබ වැඩ පටන් ගත්තෙ සහාය කැමරා ශිල්පියෙක් විදිහට?

නැහැ. මේ ක්ෂේත්‍රයේ සෑම තාක්ෂණික පැත්ත සම්බන්ධයෙන්ම මට ඉගෙන ගන්න ලැබුණා. මම ඒ ක්ෂේත්‍රවල වැඩ කළා. මම මුලින්ම ශබ්ද පාලනය, විදුලි ආලෝකකරණය වගේම සහාය කැමරා ශිල්පියෙක් ලෙස වැඩ කළා. ඊටපස්සෙ තමයි කැමරා අධ්‍යක්ෂකවරයෙක් බවට පත්වුණේ. මම මුලින්ම වැඩ කළේ TVT ආයතනයේ. ඒ වෙද්දි එහි සභාපති රවීන්ද්‍ර ගුරුගේ, සුනිල් ජයන්ත නවරත්න, පරාක්‍රම නිරිඇල්ල, ආනන්ද අබේනායක වැනි ප්‍රවීණයන් ඉගෙන ගන්න අපි වගේ අයට උපරිම සහයෝගය වගේම අවස්ථාව ලබා දුන්නා. ඒ ඔස්සේ අපිට එක දේකට යොමු නොවී හැමදේම අත්හදා බලන්න, ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඒක අපේ අනාගතය ගොඩනගන්න පුදුම ශක්තියක් වුණා.

Q මුලින්ම චන්දන සහාය කැමරා ශිල්පියෙක් වු‍ණේ මොන නිර්මාණයෙන්ද?

ජැක්සන් ඇන්තනී මහතාගේ 'ඇසළ කළුවර' ටෙලිනාට්‍යයේ තමයි මම මුලින්ම සහාය කැමරා ශිල්පියෙක් විදිහට වැඩ කළේ. ඒ ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂකවරයා වන සුමින්ද වීරසිංහ සමඟයි. එතැනින් පසුව බොහෝ නිර්මාණවල සහාය කැමරා ශිල්පියා විදිහට මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා.

Q 'මිහි මඬල ගිනිගනී' ඔබට අමතක නොවන මතකයක් ඉතිරි කළ නාට්‍යයක්?

ඔව්... ඒ ටෙලිනාට්‍ය අනතුරු බොහොමයක් වුණු ටෙලිනාට්‍යයක්. රංගන ශිල්පියෙක් අතින් වෙඩිල්ලක් පත්තුවෙලා ඒ ගෙදර ගෑනු කෙනෙක් මිය ගියා. ඒක මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නැහැ. කැමරා ශිල්පියා කියන්නෙ අධ්‍යක්ෂකවරයා හා සම්බන්ධ කෙනෙක්. අධ්‍යක්ෂකවරයා සහ ඔහුගේ දැක්ම තේරුම් ගැනීමේ හැකියාවක් කැමරා අධ්‍යක්ෂකවරයාට තිබිය යුතුයි. විශේෂයෙන් සමාජය ගැන, සමාජයේ ජීවත් වන මිනිසුන්, ඔවුන්ගේ හැසිරීම් රටා තේරුම් ගැනීමේ හැකියාවක් කැමරා ශිල්පියාට තිබිය යුතු වෙනවා. ඔහු සමාජය හොඳින් දැනගෙන තියෙන්න ඕනෙ.

Q චන්දන... ජාත්‍යන්තර සම්මාන දිනාගත් 'සිහින සමීකරණ' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සසික හේරත්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණයයි මේ. මේ නිර්මාණයට ආරාධනා ලැබුණට පස්සෙ චන්දනට මොකද හිතුණෙ?

නවකයෙක් විදිහට ඔහුගේ හිතේ තිබුණු අදහස් හා කාලයත් එක්ක මම ලබපු අත්දැකීම් එක්ක මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මම ඔහුට ලබා දුන්නා. පළමු චිත්‍රපටය අසාර්ථක වුණොත් ඔහු ඊළඟ චිත්‍රපටයට තම දායකත්වය ලබා දෙන්නෙ නැහැ. ඉතින් අද ඔහුගේ පළමු චිත්‍රපටයෙන්ම ඔහු සාර්ථක නිර්මාණකරුවෙක් කියලා ඔප්පු කළා. අපි හැමෝටම ආධුනික කාලයක් තියෙනවා. අත්දැකීම් එකතු වෙන්නෙ ඒ ආධුනික කාලයෙන් පසුවයි. ඉතින් ඔහු තම කුළුඳුල් නිර්මාණයෙන් සාර්ථක අධ්‍යක්ෂකවරයෙක් කියලා ඔප්පු කළා. ඒ වෙනුවෙන් මට ලබා දිය හැකි උපරිම සහයෝගය මම ඔහුට ලබා දුන්නා.

I දිශානි