2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

සංගීතය ජීවිතයම කරගන්නවද කියන එක අනාගතයේ තීරණයක්

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 131

 අලුත්ම ගීතයකින් කරළියට ආ විශ්ව ජයසිංහ 

අන්තර්ජාලය කියන්නේ සැඟවුණු දක්ෂතා ලෝකයට පෙන්වන්න තියෙන අපූරු මාධ්‍යයක්. කාගෙවත් උදව්වක් නැතත් තියෙන ස්මාර්ට් දුරකථනයෙන් ගෙදර ඉඳන්ම ගොඩක් දේවල් කරන්න පුළුවන්. යූටියුබ් ජාලයේ සැරිසරද්දී අපූරු රූප රචනාවක් සහිත ගීතයක් දකින්න ලැබුණා. නව පරපුරේ ජනප්‍රිය ටෙලි තරු දෙපළක් සහිත රූප රචනාවට පසුබිමින් ප්‍රබල වගේම මියුරු කටහඬක් නැගී ආවා. ගායකයා විශ්ව ජයසිංහ. ඉතින් මේ කවුද කියන එක හොයා බලන්න ලොකු පෙළඹවීමක් ඇතිවුණා. ඒකට උපකාරී වුණෙත් අන්තර්ජාලයම තමයි. ඒ ඔස්සේ කතාබහකට යොමු වුණා.

Q විශ්ව... කියන්නකො ඔයා ගැන?

මම පදිංචිවෙලා ඉන්නෙ ගණේමුල්ල ප්‍රදේශයේ. පාසල් ගියේ තර්ස්ටන් විද්‍යාලයට. උසස් පෙළ විභාගය ඉවර කරලා රැකියාවකට යොමු වුණා ලංකා විදුලිබල මණ්ඩලයේ.

Q එතකොට සංගීතයට යොමුවුණේ පාසලේදිද?

නැහැ.. ඒක පුංචි කාලෙ ඉඳලම ගෙදරින් ලැබුණු ආභාෂයක්. අපේ ගෙදර අදටත් තියෙන්නෙ සංගීතමය පරිසරයක්. ඒ කාලෙ ඉඳලම ගෙදර ශබ්දාගාරයක් තිබුණා. තාත්තගේ බෑන්ඩ් එකක් තියෙනවා 'සුසීමා' කියලා. බෑන්ඩ් එක පුහුණුවීම් කළෙත් ගෙදරමයි. ඉතින් මමත් නොදැනීම එයට යොමු වුණා.

Q තාත්තාගෙ නමත් කියන්න.. සංගීතය කියන්නෙ ඔබේ ජනගත උරුමයක්නෙ?

තාත්තා ප්‍රසන්න ජයසිංහ. තාත්තා සංගීතයට යොමුවෙලා තියෙන්නෙ සීයගේ ආභාෂය නිසා. නම සනී ජයසිංහ. සීයා ගුවන්විදුලි වාදක මණ්ඩලයේ එකෝඩියන් වාදකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. එතකොට මගේ මල්ලිත් හොඳ සැක්සෆෝන් වාදකයෙක්. එයා සහස් දම්සර.

Q සංගීත පරපුරක්. කොහොමද මේ වගේ කාලෙක රූප රචනාවකුත් එක්ක නිර්මාණයක් කළේ?

ඇත්තටම ඒක ලොකුම අභියෝගයක් තමයි. මේ ගීතය මට ලැබුණෙත් අහම්බෙන්. පද රචනා කරපු කැලුම් දිසානායක මහත්මයා මේක ලියලා තිබුණා වෙන කෙනෙකුට. මට දුන්නෙ තනුවක් දාලා මියුසික් කරන්න. ඒ එක්කම මට සින්දුව කියලා රෙකෝඩ් කරලා දෙන්න කිව්වා විෂුවල් එකේ ප්‍රඩියුසර්ට අහන්න. ඇය රොෂෙල් මදනායක. ඉතින් සින්දුව අහපු රොෂෙල් මිස් කිව්වලු ''වෙන කාටවත් දෙන්න එපා මෙයාටම මේක දෙන්න'' කියලා. 

Q අහඹු වාසනාවක්?

ඇත්තටම හිතුවෙම නැති දෙයක්. ඇත්තටම කැලුම් දිසානායක මහත්මයා නොවෙන්න ගායකයෙක් වීම ප්‍රමාද වෙන්න වගේම ගායකයෙක් නොවෙන්නත් ඉඩ තිබුණා.

Q සංගීතය ගැන හැදෑරීමක් කළේ නැද්ද විශේෂයෙන්?

කුඩා කාලෙදි තාත්තා එක්ක. ඉන්පස්සෙ තාත්තා මාව යොමු කළා ගිටාර් වාදනයේ විශිෂ්ටයෙක් වෙන අමරනාත් රණතුංග සර් ළඟට. අවුරුදු කිහිපයක් ඒ වෙනුවෙන් කැප කළා.

Q බෑන්ඩ් එකක්, ශබ්දාගාරයක් තිබිලත් ඇයි රැකියාවක් කරන්න හිතුවෙ?

කොරෝනාව හැමදේම නැති කළානෙ. කොහොම වුණත් ලංකාවෙ කලාවෙන් විතරක් ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා ඉතින් රැකියාවක් කරන්න හිතුවා. එතකොට නිදහසේ හිතට බරක් නැතිව සංගීත කටයුතු කරගෙන යන්න පුළුවන්.

Q අනාගතය ගැන තීරණයක්, ඉලක්කයක් තියෙනවද විශ්ව?

මෙහෙමයි.. රැකියාවට බාධාවක් නොවී කාලය අරන් නිර්මාණකරණයේ යෙදෙන්න තමයි දැනට හිතාගෙන ඉන්නෙ. මේ විදිහට දිගටම ඉන්නවද, පූර්ණකාලීනව සංගීතයට යොමුවෙනවද කියන කාරණය අනාගතයටම බාර කරනවා.
කොහොම වුණත් මේ ගීතයේ එළිදැක්වීමට සහාය වුණු හැමෝටම ගොඩක් ස්තූතියි. විශේෂයෙන්ම ගීත රචක කැලුම් දිසානායක මහත්මා සහ රොෂෙල් මදනායක මිස්ට ගොඩක් ස්තූතියි.

කලාවකින් නිමාවුණු කලාතුරින්
වගේ දුටු
විශේෂයෙන් මගේම වූ ඔබේ රුවින්
වශී වුණු
මා හදේ සුසුම් රුල්ල
ඉල්ලුවේ ඔබේ සිත් මල
සැමදා හිතින් අල්ලා
ඉන්නටයි නිවා කඳුළ
ජීවිතේ ඉපදී මියැදී සැරින් සැරේ
මා ඔබ වෙතම එනවා
නිරන්තරේ//
විල්තෙරක් ළඟ පෙම විඳගන්නට
හමුවී සඳ එළියේ
තොල් මතින් මගෙ දෙතොල
තියන්නට ආසයි ලහිලහියේ
මල් මිටක් ඔය අත රඳවන්නට 
නොලැබුණොතින් එපැයේ
නිල් දෙඇස් රසවිඳ මියැදෙන්නට
ඉඩ දෙනු සඳවතියේ
මා හදේ සුසුම් රැල්ල
ඉල්ලුවේ ඔබේ සිත් මල
සැමදා හිතින් අල්ලා
ඉන්නටයි නිවා කඳුළ
ජීවිතේ ඉපදී සැරින් සැරේ
මා ඔබ වෙතම එනවා නිරන්තරේ//
විශ්ව කර්මයකින් මට හමුවුණු
විශ්මිත වූ සොඳුරේ
අෂ්ඨ සදිශාවෙන් මගේ දැල්වුණු
පහනයි ඔබ අඳුරේ
නිශ්චිතයි උපමාවන් ලියවුණු
ඔබ ගැන තරු අතරේ
ඉෂ්ඨ ධර්මයකින් පවරා දෙනු හදවත
හැම සසරේ//

පද රචනය: කැලුම් දිසානායක
තනුව, සංගීත අධ්‍යක්ෂණය, ගායනය: විශ්ව ජයසිංහ
රංගනය: සචින් ලියනගේ, රොෂෙල් රොගන්ස්, ඉන්දික කඩුපිටිය
රූප රචනා අධ්‍යක්ෂණය: කසුන් මධුසංඛ
නිෂ්පාදනය: රොෂෙල් මදනායක

I අජන්ත ජයසේකර