නවාතැන්පොළ ඔබයි ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
දිනෙක ඔහුගේ පෙම්වතිය ඔහු නමින් ගීතයක් ගයනවා නම් ගයන ගීය එය යැයි මට සිතෙන්නේ ඒ සිනාව එතරම්ම ආකර්ෂණීය වන නිසාමය. කිව්වට වස් නැත. කිව්වට දොස් නැත. ලාංකික කලා ක්ෂේත්‍රය තුළ මට සිතෙන හැටියට, මට පෙනෙන හැටියට, මට දැනෙන හැටියට ලස්සනම සිනහවේ අයිතිකාරයා ඔහුය. අමරසිරි කලංසූරිය සිනමාවේදියාගෙන් පසු එතරම්ම ලස්සන සිනහවක් සහ ඔහේ ඇවිස්සුණු හිතුවක්කාර අමුතු කෙහෙරුලි විසුල %පිස්සු කොණ්ඩයක්^ හිමි නළුවා ඔහුය. හදවතේ ඉසියුම්ම සොඳුරුතා පෙරා වත්කර මුව මඬල මත විහිදුවාහල සෙයකි; ඒ සිනහව. එය එතරම්ම සැහැල්ලුය. අව්‍යාජය. ජීවිතයේ පාර දිගේ ඇවිදිද්දි පාර දිගේ බණ්ඩාගේ රංගනය තුළින් ආකර්ෂණීය රසිකාගාරයක් නිරායාසයෙන්ම ඔහු වෙනුවෙන්ම නිර්මාණය විය. අදටත් ඔහු ඒ බොහෝ ප්‍රේක්ෂක හදවත්හි බණ්ඩාය. ඒ බණ්ඩාට දැනෙන්නට පණක් දුන් ඒ සොඳුරු හිතවතා සැමවිටම ආත්මීය ආලයකින් කලාව හා හුස්මක් ගන්නා නිර්මාණවේදියෙකි. රසවතෙකි. ජීවන තොටිල්ල පදවන රිද්මයට සාහිත්‍යයේත් කලාවේත් රස සාර චමත්කාරයෙන් සම්මිශ්‍රණය කර ගත්තෙකි. ඒ සිනහවට පෙම් නොකරන්නේ කවුරුන්දැයි සිතෙන තරමට රටක් වශී කළ ඒ සිනහවේ අයිතිකාරයා අද හදසර මැද පිටුවේ ආදරණීය ආරාධිතයාය. කුසල් මධුරංග.. ඒ ඔහුය. ඔස්ට්‍රේලියාවේදී රූගත කරන චිත්‍රපටයක රංගනය වෙනුවෙන් කුසල් ඔස්ට්‍රේලියාව බලා යාමට නියමිත වූ ඉකුත් සතියේ ඉරිදා රාත්‍රී 12.05 ට පෙර දවසේ වෙලාවක් ඔහු හදසර වෙනුවෙන් වෙන් කළේ මිත්‍රශීලීවය. ඒ වෙනුවෙන් ස්තූතියි කියමින් ඒ කතාබහේ අකුරු වියමන මෙලෙසින් දිගහරිමු.
Q රංගනය හා බැඳුණු ජීවිතයේ ඔබේ පළමු නවාතැන්පොළ වේදිකාවයි. ඒ අතීතය ටෙලිනාට්‍ය නළුවෙක් සහ සිනමා නළුවෙක් යන භූමිකා දෙකෙහිම සරන්නට ඔබට හයියක් වුණේ කොහොමද?
පාසල් කාලයේ ඉඳන්ම මම වේදිකාවට ආදරේ කරපු වේදිකා නාට්‍ය නළුවෙක්. ඒ පන්නරය තමයි මේ තරම් දුර මාව එක්කරගෙන ආවේ. මම විශ්වාස කරනවා පාසල් වේදිකාව තුළින් රංගනය කෙරෙහි තිබුණු ආසාව, ලැබුණු පන්නරය මෙච්චර දුරක් එන්න මට ලොකු දායකත්වයක් දෙන්න ඇති කියලා. වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව කියන්නෙ මාධ්‍ය තුනක් නිසා ඒ මාධ්‍යයන්වල හැසිරීමේදී සංයමයකින් හැසිරෙන්න ඕනෙ කියන එක මම දන්නවා. ඒත් වේදිකා නාට්‍යවලින් ලබපු අත්දැකීම් ඉවහල් වෙන්න ඇති මේ ගමනට අනිවාර් යෙන්ම. සීරුමාරුවට මාධ්‍ය තුනත් එක්කම මම අද වෙද්දි වැඩ කරනවා.
Q රඟපානවා කියන එක දැනෙන්නෙ නැති වෙන්න චරිතයත් එක්ක බැඳෙන්න, ඒ බැඳිලා හුස්මක් ගන්න හැම නළුවෙක්ටම නිළියෙක්ටම බෑ කියලයි මට හිතෙන්නෙ. ඒත් ඔබ රඟපානවා කියන එක දශමයකින්වත් දැනෙන්නෙ නෑ. කොහොමද එච්චරටම චරිතයක් එක්ක බැඳෙන්නෙ?
වේදිකා නාට්‍යයක වුණත් ටෙලිනාට්‍යයක වුණත් චිත්‍රපටයක වුණත් පිටපත හොඳ ස්ථානයක, හොඳ මට්ටමක තිබීම හරිම වැදගත්. පාර දිගේ ටෙලිනාට්‍ය ගත්තොත් බණ්ඩගේ චරිතය කියන්නෙ මේ සමාජයේ නිතර දකින මනුස්ස චරිතයක්. ඒ චරිතයට සම්බන්ධ දේවල්, සංසිද්ධීන් එදිනෙදා ජීවිතයේ මිනිස්සු ඇසුරින් මම ඕනෙ තරම් දැකලා තියෙනවා. ඒ වගේම එහි අධ්‍යක්ෂවරයා ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණයේදී අභව්‍ය විදිහට ඒ චරිත මෙහෙයවන්නෙ නෑ. සද්ධාමංගල සූරියබණ්ඩාර පාර දිගේ ටෙලිනාට්‍යයේ ඒ ලියපු දෙබස් ඛණ්ඩවල තිබුණේ හිතට වදින සුළු මිනිස්සුන්ගේ හදවත පසාරු කරගෙන යන වචන. චරිතයක්, හදවතටම දැනෙද්දි ඒක ඇතුළේ හැසිරෙනවා මිසක් රඟපාන්න වෙන්නෙ නෑ. කැමරාව ඉදිරියේදී අපි වඩාත්ම නිදහස් වෙන එක සහ සැහැල්ලු වෙන එක තමයි නළුවෙකුට තියෙන එකම අභියෝගය සහ සාර්ථකත්වයේ රහස. හැබැයි ඒකම තමයි අමාරුම දේ.
Q හැබැයි අමාරුම දේ හොඳටම කරපු හින්දා බණ්ඩා කියන්නෙ මිනිස්සුන්ට අමතකම වෙන්නෙ නැති චරිතයක් වුණා නේද? බණ්ඩා වෙනුවෙන් කුසල්ට ලැබුණු හිතට දැනෙන අමතක නොවෙන ප්‍රතිචාර මොනවද?
නාට්‍ය ඉවර වුණත් මට හම්බවෙන හැම කෙනෙක්ම වගේ කතා කරන්නෙ බණ්ඩගෙ චරිතය ගැන. මිනිස්සුන්ට දැනෙන්න ඕනෙ හොඳම විදිහට ඒ චරිතය දැනුණා. ඊයේ පෙරේදත් මට ගොඩ දෙනෙක් කතා කරලා කිව්වා අපිට මතක් වෙනවා ඒ නාට්‍ය. ඇයි ඒක අවසන් කළේ කියලා. මම ඒ වෙලාවෙ ඔවුන්ට කිව්වෙ ඕනෙම කර්තව්‍යයක අවසානයක් තියෙනවා. ඕනෙම කතාන්දරයක, කතාබහක, සංසිද්ධියක අවසානයක් තියෙනවා නම් ටෙලිනාට්‍යයකත් අවසානයක් තියෙන්න ඕනෙ. ඒ නිසා ටෙලිනාට්‍යයක් අවසන් වීම ගැන ලොකුවට හිතන්න එපා කියලා.
Q කුසල් ඔයා විශ්වාස කරනවද ජීවිතේ ලබන අත්දැකීම්, ජීවිතේ වැරදීම්, ජීවිතේ කියවන්න ලැබෙන තත්ත්පර වගේම ජීවිතේ ඇතුළේ හොඳ රස්තියාදුකාරයෙක් වෙන එක, තමන්ට ලැබෙන ඕනෙ චරිතයක් එක්ක හොඳම හුස්මක් ගන්න, ඒ චරිතයත් එක්ක ආත්මීයව බැඳෙන්න ලොකුම හේතුවක් කියලා?
ජීවන අත්දැකීම් කියන එක තමයි මේ ලෝකයේ ඕනෙම කෙනෙක්ගෙ ඕනෙම ක්ෂේත්‍රයක සාර්ථකත්වයත් එක්ක බැඳිච්ච ලොකුම කාරණය. ඒ වගේම තමයි නළුවෙකුට හෝ නිළියකට එයා සමාජයේ ඉන්න තත්ත්වය, සමාජයේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන ස්වරූපය, සමාජය හා මිනිසුන් විනිවිද දකින සත්‍ය, ජීවිතය තුළ ගවේෂකයෙක් වීම හරිම වැදගත්, හරිම වටිනවා හොඳ නළුවෙක් හෝ නිළියක් වෙන්න. හොඳ නළුවෙකුට හොඳ අත්දැකීම් තියෙන්න ඕනෙ. එතකොට ඕනෙම චරිතයක පතුලටම කිඳාබහින්න පුළුවන්. ඒ වගේම ජීවිතය ඇතුළේ හොඳ රස්තියාදුවක් තියෙන්නම ඕනෙ. සමාජය කියන්නෙ මොකක්ද කියලා නොදැන කොහොමද සමාජය කියවන්නෙ. සමහර නළු නිළියෝ බස් එකක යන චරිත ටික දන්නෙ නැහැනෙ. මම කියන්නෙ නළු නිළියන්ට බස්වල යන්න කියලා නෙවෙයි. නමුත් ඒ තරම් සමාජ දැනීමක්වත්, මිනිස්සුන්ගේ ස්වභාවයන් ගැන අධ්‍යයනයක්වත් නැති අය ඕනෙ තරම් ඉන්නවා. බස් ඇතුළේ, දුම්රිය ඇතුළේ, මුඩුක්කු පරිසර ඇතුළේ, මහ පාරේ හම්බවෙන විවිධාකාර චරිත සියුම් විදිහට අධ්‍යයනය කරනවා කියන්නෙ ඇත්තටම වෙනම විෂයක්.
Q කුසල් කියන්නෙ ජීවිතය ඇතුළෙ හොඳ රස්තියාදුකාරයෙක්ද?
ඔව් මම හොඳ රස්තියාදුකාරයෙක්. හැබැයි අද වැඩත් එක්ක, කාර්යබහුලත්වයත් එක්ක මට මගේ රස්තියාදුව මඟහැරිලා තියෙනවා. අවංකවම ඒක එහෙම වෙලා තියෙනවා. නැත්නම් මම හොඳට රස්තියාදු ගහපු එකෙක්.
Q ඒ ගහපු රස්තියාදු ගැන කතා කරන්න ආසයි. ඔබ කියනවා නම් අපි අහන් ඉන්න ආසයි?
ජීවිතේ ගහන්න ඕනෙ රස්තියාදු හුඟක් ගහපු කෙනෙක් මම. කාලයක් මම ටැක්සි රියැදුරෙක් විදිහට වැඩ කළා. කොරෝනා කාලේ පොඩි කාර් එකක් අරගෙන මමම එළවනවා. විවිධ සමාජ පන්තීන්වල මිනිස්සු මට එතැනදි හම්බවෙලා තියෙනවා. ඒ කාලෙ මම එළවපු ටැක්සියේ ටිකක් කතා කරන මිනිස්සු, හුඟක් කතා කරන මිනිස්සු, කතා නොකරන මිනිස්සු, හිනාවක් නැති මිනිස්සු, තමන්ගෙ ප්‍රශ්න කියන මිනිස්සු, බුම්මාගෙනම යන මිනිස්සු, ඔය විදිහට නානප්‍රකාර මිනිස්සු මාත් එක්ක ගමන් ගිහින් තියෙනවා. අම්මෝ මාර විදිහට අත්දැකීම් ඒ කාලෙ මම ලැබුවා. ඒ වගේම නානා මාදිලියේ යාළුවෝ මිත්‍රයෝ මම ආශ්‍රය කරලා තියෙනවා. ඒ වගේම වේදිකා පරිපාලන ශිල්පියෙක් විදිහට මම නාට්‍ය ගොඩක වැඩ කරලා තියෙනවා. ඒ ජීවිතේදි විවිධාකාර මිනිස්සු හම්බවෙලා තියෙනවා. මම රඟපාන චරිතවලට ඒ මහා අත්දැකීම් කන්දරාව මම දැන හෝ නොදැන එක එක විදිහට මිශ්‍රවෙලා ඇති. ඇත්තටම මම දැන් පොඩි විවේකයක් අරගෙන ජීවන අත්දැකීම් ටිකක් එකතු කර ගන්න ඕනෙ. මොකද අත්දැකීම් කියන ඒවා කාලයත් එක්ක ක්ෂය වෙනවා. ඇත්තටම ජීවිතය මඟහැරිලා කාර්යබහුල වීම කියන්නෙ එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. ජීවිතය කියන්නෙ එහෙම සමබරව යා යුතු ගමනක්. නමුත් වෙලා තියෙන්නෙ හැම මනුස්සයෙක්ම ගාල කඩාගෙන දුවගෙන යන සමාජයක් තමයි අපි ඉස්සරහ තියෙන්නෙ. ඒ දිවිල්ල ඇතුළෙ අපි හුඟක් පරිස්සම් වෙන්න ඕනෙ කියන එක මට දැනෙනවා.
Q ටැක්සි රියැදුරෙක් කියන්නෙ ජීවිතේ කවදාවත් දැකලා නැති, හඳුනන්නෙ නැති කෙනෙක් එක්ක දැන හෝ නොදැන එයාගේ පංගුකාරයෙක් වෙලා එයත් එක්ක ගමනක් යන කෙනෙක්. එහෙම ගමන් කීයක් ටැක්සි රියැදුරෙකුට යන්න වෙනවද? කුසල් මධුරංග කියන කෙනා ටැක්සි රියැදුරෙක් විදිහට ඒ ගිය ගමන් දකින්නෙ කොහොමද?
ඔව්.. ඒ මිනිස්සු සමහර වෙලාවට තමන්ගෙ ජීවන කතා මාත් එක්ක කියපු තැන් තියෙනවා. සමහර අයගේ මූණු දකිද්දි මට තේරෙනවා ඉන්නෙ ප්‍රශ්නෙක කියලා. සමහර විට යන ගමනෙ අවසානය වෙනකොට මම ඒ නන්නාඳුනන මගියගේ දුක හෝ සතුට බෙදාගන්න කෙනෙක් වෙලා. ටැක්සි රියැදුරෙක් කාලෙ මට මාර චරිත ටිකක් හම්බවුණා. අවුරුදු දෙකක් විතර මම ටැක්සි රස්සාව කළා. මම මේ රස්සාව තෝරගත්තෙ නාට්‍යයත් එක්කම කරගෙන යන්න පුළුවන් එකක් නිසා. කොරෝනා කාලෙ තමයි ඔය රස්සාව නැවතුණේ.
Q කාර්යබහුලත්වය කියන දේ කෙනෙක්ට තමන් ඉදිරියේ ඉන්න අයව, තමන්ගේ ජීවිතේ ඉන්න අයව විතරක් නෙවෙයි තමන්ට තමන්වත් අහිමි කරලා කියන එක දකින්න තියෙන දෙයක්. මම බිසී කියන වචනය නොකියන කෙනෙක් නැති තරම්. එහෙත් තමන්ට තමන් මඟහැරීම තුළ අහිමිවෙන දේවල් දැනෙන්න ගන්නෙ ජීවිතයේ අද හෙට දවසක නොවෙන්න පුළුවන්. ඒ දැනෙන දවසක ඉතුරු වෙන්නෙ පසුතැවීම සහ වේදනාව විතරක් වෙන්න පුළුවන්. ඔබට උත්තරයක් ඇති. ඒ වගේම ඔබටත් ඔබව මඟහැරෙන තැන් ඇති. කැමතිද ඒ ගැන කතා කරන්න?
ඔව්.. කාර්යබහුලත්වයත් එක්ක මිනිසුන්ට හුඟාක් දේවල් මඟහැරෙන බව පේනවා. කාර්යබහුලත්වයත් එක්ක ජීවිතේ මඟහැරෙන දේවල් මඟහැරෙන්න නොදී කළමනාකරණය කර ගන්නෙ කොහොමද කියන එක හුඟක් කල්පනා කරන්න ඕනෙ දෙයක්.
Q ඔබ තේරුම් අරන් ඉන්නවා කාර්යබහුලත්වයත් එක්ක ඔබටත් ඔබේ ජීවිතේ මඟහැරෙන දේවල් තියෙනවා කියලා. ඒ වගේම ඔබට ඔබවම මඟහැරෙන තැන් තියෙනවා කියලා. එහෙමද?
ඔව් පැහැදිලිවම. මට මාවම මඟහැරෙන තැන් තියෙනවා. මට මාව මඟහැරෙන තැනදි, කෙනෙක්ට කෙනෙක් මඟහැරෙන තැනදි මට හිතෙන්නෙ අනිත් සියලුම දේවල් මඟහැරෙනවා කියලා. තමන් තමන්ව රුකගන්න තාක් කල් තමයි හැමදේම රැකෙන්නෙ. තමන් තමන්වම රැකගන්න උත්සාහ කරන එක තමයි වෙන්න ඕනෙ.
Q කුසල් මධුරංග නිරූපණය කරන චරිතයකට ලැබෙන ආදරයයි කුසල් මධුරංග කියන මනුස්සයාට ලැබෙන ආදරයයි කියන්නෙ දෙකක්. චරිතයක් නිසා කුසල්ට ප්‍රේක්ෂකයෙක් දක්වන ආදරය තවත් චරිතයක් නිසාම වෙනස් වෙන්න පුළුවන්. ඒ ආදරයම අනාදරයක් වෙන්නත් පුළුවන්. ඒ සත්‍ය ඇතුළේ ඔබව කියවන, ඔබව හඳුනාගන්න, ඔබේ හදගැස්මට හදගැස්මක් වෙන ආදරයක් ඔබත් හොයනවා ඇති. ඇත්තටම කුසල් ජීවිතය දැනෙන්න කොහොම ආදරයක්ද ඔබ හොයන්නෙ?
ප්‍රේක්ෂක ආදරය ලැබීම කියන එක බොහොම සන්තෝෂයට කාරණාවක්. ඒත් ඒක පෞද්ගලිකව කුසල්ටම එන ප්‍රේක්ෂක ආකර්ෂණයක් නෙවෙයි කියන්න මම දන්නවා. ඒක ෙබාෙහා්විට කුසල් කරපු චරිතයක් නිසා ලැබෙන ප්‍රේක්ෂක ආදරයක්. චරිතයක් එක්ක මාව වැළඳගන්න අය යම් තැනකදි මාව අතහරින්නත් පුළුවන්. ඒ චරිතය හසුරවපු කෙනා විදිහට මට ඇත්තටම ඕනෙම චරිතයක් වෙනුවෙන් ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන ආදරයක් තියෙනවා. ඇත්තටම මිනිස්සු බණ්ඩට හුඟක් ආදරෙයි. හැබැයි බණ්ඩට තරම්ම කුසල්ට ආදරය නැතුව ඇති. ආදරය කරන අයත් ඇති. කුසල්ට ඇත්තටම ආදරය කරන ප්‍රේක්ෂකයන් ඉන්නවා කියන එකත් ඇත්තටම මට සන්තෝෂයක්. ඒත් බහුතරය කැමති බණ්ඩට. ඒත් ඒ වෙනස ගැන සත්‍ය මම හොඳට තේරුම් අරන් ඉන්නෙ. පෞද්ගලික ජීවිතයේ මට ලැබෙන්න ඕනෑ ආදරය කියන්නෙ වෙනස්ම දෙයක්. මට ඕනෙ චරිතයක් නිසා වශීවෙලා කුසල්ට ආදරය කරන කෙනෙක් නෙවෙයි. මාව ඇත්තටම හඳුනාගෙන මට ආදරය කරන කෙනෙක්ගෙ වටිනාකමක් තියෙනවා. මොකද චරිතයක් එක්ක ගොඩනැගෙන ආදරයක් තාවකාලිකයි. කොහොමත් ලංකාවෙ හුඟක් මිනිස්සුන්ට හරි ඉක්මනට මිනිස්සුන්ව අමතක වෙනවා. මිනිස්සුන්ට හැමදේම අමතක වෙනවා. සමහර විට අපිට දෙන වටිනාකම් ඒ දෙන කෙනාම ආපහු අපෙන් උදුරගන්න සමාජයක් මේක. කොහොමත් එවැනි ප්‍රතිචාර හරිම සවිඥානිකව සැහැල්ලුවෙන් බාරගන්න මනසක් අපි හදාගන්න ඕනෙ.
Q කුසල් කියන පිරිමියා ගැහැනියකගෙන් හොයන්නෙ, ඉල්ලන්නෙ කොහොම ආදරයක්ද?
කුසල් කියන්නෙ වෙනස්ම ප්‍රේම කතාවක චරිත හොයන කෙනෙක් නෙවෙයි. අනිත් හැම සාධාරණ පිරිමියෙකුටම වගේ පොදු කාරණා අනුව තමයි මමත් හිතන්නෙ. ගැහැනියකගෙන් මම හොයන්නෙ මට ඇත්තටම දැනෙන, ඒ වගේම මම නළුවෙක් කියන එක ඇතුළෙ මාව හොඳට ලිහාගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, මට නිදහස දීලා මට දැනෙන්න ආදරය කරන, මගේ ගැන හොයලා බලන, මගේ ජීවිතය ඇතුළෙ තියෙන ප්‍රශ්න, මට තියෙන අභියෝග, මගේ ගමනෙදි මම වෙන මහන්සිය තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. ඒ ගමනෙදි මට හොඳ ශක්තියක් වෙන්න පුළුවන් කෙනෙක්. මට හොඳ උත්තේජකයක් සපයන්න පුළුවන් කෙනෙක් මම හොයන්නෙ. මිනිස්සු සම්බන්ධතා හොයාගන්නෙ තමන්ගෙ පැවැත්මට. ඇත්තටම පැවැත්ම උදෙසා සම්බන්ධතා ගොඩනගා ගැනීම ඇතුළෙ තමා එයාටත් මටත් දෙදෙනාටම ගමනක් තියෙන්නෙ. විවාහයක් ඇතුළෙ දෙන්නම එක්කෙනෙක් කිව්වට, නෑ දෙන්නා දෙන්නෙක්. ඒ ගමන් දෙක වෙන වෙනම යන අතරේ එයා එයාගේ ගමන යද්දි, මම මගේ ගමන යද්දි සහයෝගය දෙන එක තමා වෙන්න ඕනෙ. මට හරි ආදරෙන් සලකන්න පුළුවන් මාත් එක්ක එහෙම ගමනක් යන, මාව ඉවසා වදාරගන්න පුළුවන් කෙනෙක් හම්බවුණොත් හොඳයි.
Q කුසල් ඔයා දකින විදිහට කලාකරුවෙක් හෝ කලාවේදියෙක් කියන්නෙ කිසිදාක තමන්ගෙ නිර්මාණ ජීවිතය ඇතුළේ අවසන් තෘප්තියකට එළඹෙන්න පුළුවන් කෙනෙක්ද?
නෑ ඇත්තටම කලාකරුවෙක්ට, කලාවේදියෙක්ට, රචකයෙක්ට, අධ්‍යක්ෂකවරයෙක්ට, නළුවෙක්ට, නිළියෙක්ට තමන්ගෙ නිර්මාණ ජීවිතය ඇතුළෙ සෑහීමකට පත්වෙන්න බෑ. එහෙම සෑහීමකට පත්වුණොත් ඒක එච්චර හොඳකුත් නෑ. සෑහීමකට පත්වුණොත් එතැනින් එහාට ගමනක් නැති වෙන්නත් පුළුවන්. වේදිකා නාට්‍ය දර්ශනවලදි එහෙම මට හිතිලා තියෙනවා තව කරන්න තිබුණා නේද ඒ රඟපෑම කියලා. මට මඟහැරුණා නේද රඟපෑමේ යම් දෙයක් කියලා හැඟිලා තියෙනවා. මට හිතෙන්නෙ කලාව තුළ ගමන කියන්නෙ අතෘප්තිකර ආසාවක්. ඒ තෘප්තියේ කෙළවරක් නෑ. සීමාවක් නෑ. ඒ අතෘප්තිය කියන්නෙ තියෙන්නම ඕනෙ හැඟීමක් කියලා මම විශ්වාස කරනවා.
Q පොත් කියවීමෙන් හුඟාක් ඈත්වෙච්ච සමාජයක් සහ තාක්ෂණික වහල්භාවයෙන් යුක්ත සමාජයක් අපි අපේ ඇස් ඉස්සරහ දකිනවා. රසවින්දනය, කලාව ගැන හැදෑරීම කියන දේවල් දකින්න තියෙනවා හරි අඩුයි. එහෙම ඉවසීමක්, ශික්ෂණයක් ගොඩක් අයගේ හදවත් ඇතුළෙ ඇත්තටම නෑ. කුසල් කියන්නෙ පොත් කියවන්න ආසා කෙනෙක්ද? සින්දුවක් රසවිඳින්න, චිත්‍රපටයක් බලන්න, විනෝද ගමනක් යන්න ආසා කෙනෙක්ද?
මම හුඟාක් පොත් කියවන්න ආසා කෙනෙක්. ඒත් මට අවුරුද්දකින් විතර පොතක් කියවන්න බැරි වුණා. කොච්චර කියවන්න ආසා වුණත් පොතක් අතට ගන්නවත් දැන් වෙලාවක් නෑ. උවමනාව ආසාව තිබුණට කාර්යබහුලත්වයත් එක්ක සමහර දේවල් මඟහැරෙනවා. හැබැයි කොච්චර කාර්යබහුල වුණත් මම සින්දුවක් අහනවා. රසවිඳිනවා. චිත්‍රපටයක් බලනවා. පොඩි ගමනක් හරි ගිහිල්ලා විනෝද වෙන්න, ඒවට මම කොහොම හරි වෙලාව හදාගන්නවා. මට පොතක් කියවන්න ගත්තොත් ඒ පොත කියවලා ඉවර කරනකම් මට හදිස්සියි. ඒ තරම් ආසයි මම පොත්වලට. ටික ටික නවත්ව නවත්වා කියවන්න හිතෙන්නෙ නෑ මට. ඇත්තටම ඒ අධ්‍යයනය මගෙනුත් මඟහැරෙයිද කියන බය මට දැනිලා තියෙනවා.
I සංජීවිකා
I සුමුදු හේවාපතිරණ