2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

සතුන්වත්ත බලන්න ගිය සුදු ජෝඩුව

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 39

මෙයාලා ජෝඩුවක්. ලෝකය වටේ එක එක රටවල්වල ඇවිදන එක තමා මේ ගොල්ලන්ගෙ වැඩේ. හැබැයි චැනල් එක නම් තාම ලොකුවට නෑ. පහුගිය දවස්වල ලංකාව හතර වටේම කරක් ගැහුවා. ඔන්න ඒ අතරෙ කොළඹ සතුන්වත්ත බලන්න යන්න මෙයාලට හිතුණා.

''කාටද මතක මේ ටූකන් අයිස් ක්‍රීම් එක. මට විතරද මේක මතක් වෙන්නෙ.''

ටූකන් කුරුල්ලාට හැඩය අයිස්ක්‍රීම් එකක් මෙයාලට නිවාඩු කාලෙට කන්න ලැබෙනවාලු. ඉතින් මෙයා ටූක්න් කූඩුව ළඟ ඉඳන් ඒක මතක් කළා. 

මේ දවස්වල වැස්ස නිසා කුඩේකුත් අරගෙන තමා මේ දෙන්න සතුන් වත්තේ කැරකුනේ.

''අන්න ඉන්නවා මගේ favorite ම සතා.''

එහෙම කියලා මෙයාලා පෙන්නුවෙ නම් ජිරාෆ්ව.

කොහොමහරි මේගොල්ලෝ දෙහිවල සත්වෝද්‍යානයට ගිහිල්ලා හොඳ විනෝදයක් අරගත්ත බව නම් අපිට පේන්න තිබුණා. කොහොම වුණත් සංචාරකයෝ මේ වගේ තැන්වල Travel Vlog කරනවා බොහොම අඩුයි. ඒ නිසා තමා මේ වීඩියෝ එක විශේෂ.

2. ලංකාව පැත්තට කැරකෙන පිස්සු කෝච්චියක්

ඔන්න මෙයා නම් ටිකක් පිස්සු කෝච්චියක්. සිංගප්පූරු එයාර් ලයින් එකෙන් ඊයේ පෙරේදා ලංකාවට ආවේ. ඕස්ට්‍රේලියානු ලියාපදිංචිය තියෙන යූටියුබ් නාලිකාවක් තමා මේ අක්කට තියෙන්නෙ.

''පොඩ්ඩක් ඉන්න මාත් එක්ක අලුත් කෙනෙක් ඉන්නවා මේ පාර travel කරන්න.''

සිංගප්පූරු Airline එකට ගොඩවෙන්න ඉස්සෙල්ලා කවුද එනකන් බලාගෙන හිටපු මෙයා එහෙම කිව්වා. වීඩියෝ එක බලන කාටත් කවුද මේ එන්න ඉන්නේ කියලා අවධානයක් ඇතිවෙන විදිහට තමා කතාව සිද්ධ වුණේ.
''මෙන්න එයා ඇවිල්ලා.''

ඔන්න ඔහොම කියලා අක්කා පෙන්වනවා එයා අලුතින් ගත්ත ට්‍රුවලින් බෑග් එක. මෙයා ඉතින් ආතල් චරිතයක්.

ඔන්න ලංකාවට ඇවිල්ලා හෝටලේට ගිහිල්ලා හොඳට නිදාගත්තා. උදේ පාන්දර ඇහැරිලා බුෆේ එකට ගිහිල්ලා ඒකෙ තියෙන හැම ජාතියම පොඩ්ඩ පොඩ්ඩ එයාගෙ ප්ලේට් එකට බෙදාගෙන කන්න පටන් ගත්තා.

රයිස් ඇන්ඩ් කරි තමයි තිබුණේ. ඒ වුණාට මෙයා කෑවෙ කරි ඇන්ඩ් රයිස්. ආරම්භයක් විදිහට ලංකාවේ කෑම බොහෝම රහයි කිව්වා. ලංකාව ගැන පළවෙනි අත්දැකීම ගැන අක්කා හිටියෙම සතුටින්. කොහොම හරි ඊළඟ වීඩියෝ එකේදී තමයි මෙයා ලංකාවෙදි කරන පිස්සු වැඩ ටික බලාගන්න වෙන්නේ.

3. හලෝ... හලෝ... අපි ලංකාවේ සුපිරි සෆාරියක් ගියා

මේ දෙන්නම ගොඩක්ම තරුණ කපල් එකක්. ලංකාවේ පොඩි රවුමක් ගැහුවා. රාවණාඇල්ල පැත්ත පහුකරගෙන ඇවිල්ලා උඩවලවේ සෆාරියකුත් ගියා.

''දැක්කද මෙතන 21 මැරුණා කියලා බෝඩ් එකකුත් ගහලා තියෙනවා. ඒත් ලංකාවෙ අය නානවා.''

රාවණා ඇල්ල ළඟ පොඩ්ඩක් නතර කරලා රවුමක් ගහන ගමන් එතැන තිබුණ බෝඩ් එකක් දැකලා කොල්ලා එහෙම කතාවක් කිව්වේ.

කොහොමහරි මෙයාලා සෆාරියේදී තමයි හොඳටම විනෝද වුණේ. The most ethical safari in Sri Lanka එහෙම තමයි මෙයාලා කිව්වේ.

''මෙන්න අපි අලියෙක් ළඟටම ඇවිල්ලා. මට නම් හිතා ගන්නත් බෑ.''

අලියෙක්ගේ ළඟටම ගිහිල්ලා ජීප් එක නවත්තලා ලංකාවෙ ඩ්‍රයිවර් මෙයාලට අලියව පෙන්නුවා. ඉතින් මෙයාලට මැජික් වගේ හරියට සතුටු වුණා. හැබැයි ඉතින් අපි හිතනවට වඩා ලොකු ගණනක් මෙයාලට මේ වැඩවලට වියදම් වන බවත් අපි දැක්කා.

''හෝ හෝ කැමරාවට මාව ගන්න එපා මම සල්ලි ගණන් කරනවා.''

වීඩියෝ එක පටන් ගන්නකොටම කවුදෝ කෙනෙක් එහෙම කියනවා ඇහුණා. 

I චමිඳු