සිංහල සිනමාවේ නිළි රුජන ආචාර්ය මාලිනී ෆොන්සේකා සමඟ ''පිළිසඳරේ වැඩමුළුව'' 2023 සැප්තැම්බර් මස 20 වැනි බදාදා කැලණිය විශ්වවිද්‍යාලයේ, සමාජීය විද්‍යා පීඨ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි. කැලණිය විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලය මගින් සංවිධානය කරනු ලැබූ මෙකී වැඩමුළුවට එහි සභාපතිනිය මහාචාර්ය උදා හෙට්ටිගේ, සමාජීය පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක, මානව ශාස්ත්‍ර පීඨාධිපති මහාචාර්ය සුදත් ඇතුළු විද්වතුන් රැසක් සහ එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විද්‍යාර්ථින් රැසක් සහභාගී වූහ.
මෙහි අරමුණ වූයේ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාවගේ කලා කෞශල්‍යයන් මෙන්ම ඔවුන්ගේ කලා ජීවිත, ආකල්ප හා සිතුම් පැතුම් කෙරෙහි ආචාර්ය මාලිනී ෆොන්සේකාගේ ජීවන අත්දැකීම් පාදක කර ගැනීමයි.
මේ සඳහා ඇයගේ කලා ජීවිතයේ අත්දැකීම් මෙන්ම රඟපෑමේ විවිධ පැතිකඩත්, හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලැබීම දක්වා පැමිණි ගමනත් සාකච්ඡාවට බඳුන් විය. ඒ තුළින් සරසවි සිසුන්ට සිය කලා ජීවිත එකළු කර ගැනීමට ඇයගෙන් ආදර්ශ රැස්කර ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු විය. එසේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ විවිධ කලා හැකියාවන් ඇය ඉදිරියේ හුවා දැක්වීමද සිදුවිය.