2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

රට වටේටම අරුන්දතී මං මනමාලයි

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 44

Q සුගත්.... ඔබේ අලුත් වේදිකා නාට්‍යය ''අරුන්දතී මං මනමාලයි'' වේදිකා ගතවීමට නියමිතයි...?

ඔව්. මගේ හයවෙනි වේදිකා නාට්‍යය තමයි ''අරුන්දතී මං මනමාලයි'' කියලා කියන්නේ. මම පත්තරකාරයෙක්. වසර ගණනාවක් සේවය කරපු පත්තර රස්සාවට ආයුබෝවන් කියලා මම මගේ විවේක කාලය වැඩි වශයෙන් පොත් සහ නාට්‍ය කලාවට යෙදෙව්වා. වර්තමානයේදී වේදිකා නාට්‍ය වැඩි වශයෙන් කතා කරන්නේ පවතින දේශපාලනය සමඟ පවතින දේශපාලන රටාවයි. ඒ නිසා වේදිකාව තුළ ආදරය ගැන කතාකරලා එය සමාජගත කරන්න මට ඕන වුණා. ඒ නිසා ''අරුන්දතී මං මනමාලයි'' වේදිකා නාට්‍යය ගෙදර සහ ඒ වටා ගෙතුණ ආදර කතාවක් මුල්කරගෙන නිර්මාණය කළා.

Q''අරුන්දතී මං මනමාලයි'' වේදිකා නාට්‍යයට සම්බන්ධ නළු නිළියන් සුගත් තෝරාගත්ෙත් කොහොමද?

මම ලංකාවේ දැනට ඉන්නා ප්‍රවීණතම නළුවන් සහ නිළියන් ප්‍රධාන වශයෙන් මේ නිර්මාණයට සම්බන්ධ කරගත්තා. රෑපා ගෝමස් මෙම වේදිකා නාට්‍යයේ අම්මාගේ චරිතය රඟපානවා. ඒ වගේම ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් වුණු කුලසිරි මල්ලිකාආරච්චි පියාගේ චරිතය රඟපානවා. ඒ වගේම මෑතකාලයේදී ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍යවලින් ජනප්‍රියත්වයට පත්වුණ දිල්හාරා ජයසිංහත් රොෂාන් අබේසුන්දර සහ නිශාන් සම්පත් ''අරුන්දතී මං මනමාලයි'' වේදිකා නාට්‍යය රංගනයෙන් දායක වෙනවා.

Qවර්තමානයේදී වේදිකා නාට්‍ය නිර්මාණ කිරීම යම්තාක් දුරකට සීමා වුණත් ඒවා වේදිකාගත කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතිනවා නේද...?

ඔව්. වේදිකා නාට්‍ය නිර්මාණ වෙන්නේ නැහැ කියලා මතුපිටින් ඇතැමුන් පැවසුවත් වර්තමානයේදී විශාල වශයෙන් වේදිකා නාට්‍ය නිර්මාණය වෙමින් පවතිනවා. කොළඹ සුදර්ශිය ඇතුළු වේදිකා නාට්‍ය පුහුණුවෙන මධ්‍යස්ථාන ගැන කතා කළොත් ඒහිවගේ හැමදාම වේදිකා නාට්‍යයකට පුහුණුවීම් පැවැත්වෙනවා. ඒ නිසා ''වේදිකා නාට්‍ය නිර්මාණය වෙන්නේ නැහැ'' කියලා කියන්නේ මතුපිටින් තිබෙන කතාවක් විතරයි. පසුගිය දිනවල ''ධවල භීෂණ'' නැවත කරළියට ආවා. ''සෙක්කුව'' වැනි පැරණි, ජනප්‍රිය නාට්‍ය පවා ප්‍රතිනිර්මාණය වෙමින් නැවත වේදිකාගත වෙනවා. නාට්‍ය නිර්මාණකරුවන් නවක ශිල්පීන් කරළියට ගේනවා. කොවිඩ් කාලයේදී වේදිකා නාට්‍යවල පසුබෑමක් තිබුණා. නමුත් අද වෙද්දී වේදිකා නාට්‍ය නිර්මාණය වෙමින් පවතිනවා.

Qවර්තමානයේදී පවතින ආර්ථිකය වේදිකා නාට්‍ය වේදිකා ගත කිරීමට ප්‍රබල බාධාවක් නේද?

ඔව්. අනිවාර්යයෙන්ම. මේ පවතින ආර්ථිකය වේදිකා නාට්‍ය වේදිකාගත කිරීමට අපහසු සාධකයක්. වේදිකා නාට්‍යයක් නිර්මාණය කරලා ප්‍රේක්ෂකාගාරයට ගේන්නේ කොහොමද කියන දේ ගැටලුවක්. ප්‍රේක්ෂකාගාරය සහ පවතින වියදම් නිර්මාණකරුවන්ට දරාගන්න අමාරුයි. උදාහරණයක් ලෙසින් එල්ෆින්ස්ටන් රඟහල දර්ශන වාර දෙකකට රුපියල් හැත්තෑදහසක් වෙනවා. ටවර් රඟහල රුපියල් හැටදහසක් වෙනවා. ඊට අමතරව වෙනම අත්තිකාරම් මුදලක් තියන්නත් ඕනේ. ඒ වගේ දෙයක් නාට්‍යකරුවෙක් දරාගන්නේ කොහොමද කියන දේ සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවෙනවා. මම නාට්‍ය පහක් කළා. ඒ නිෂ්පාදනයේදී වියදම් වන මුදල සොයාගත යුතු වන්නේ මමයි. ඒ පිරිවැය නැවත සොයාගන්නේ කොහොමද? නැවත අලුත් නිර්මාණයන්ට එකතු වෙන්නේ කොහොමද කියන ගැටලු අපට තිබෙනවා. හැබැයි නිර්මාණකරුවෙක් විදිහට අපිට එහෙම පසුබහින්න බැහැ. ව්‍යාපාර ලෝකය කඩාගෙන වැටිලා. ඒ නිසා අපිට ඒ අයගෙන් අනුග්‍රහකත්වය ලබාගන්න අමාරුයි. එහෙම අනුග්‍රහය දෙන අයත් ඉන්නවා. හැබැයි නොදෙන ප්‍රමාණය මේ කාලයේදී වැඩියි. ඒ නිසා පවතින රටාවත් එක්ක ඔවුන්ගෙන් අපිට අනුග්‍රාහකත්වය වෙනුවෙන් ඉල්ලීම් කරන්නත් අපහසුයි. හැබැයි නිර්මාණකරුවන් විදිහට අපිට නිර්මාණ නොකර ඉන්නත් බැහැ.

Q''අරුන්දතී මං මනමාලයි'' රට වටේ යන්නට සූදානමක් තිබෙනවාද...?

ඔව්. ''අරුන්දතී මං මනමාලයි'' මංගල දර්ශනය ඔක්තෝබර් හත්වෙනිදා ලුම්බිණි රඟහලේදී 3.30 සහ 6.30 වේදිකාගත වෙනවා. එදිනට ප්‍රවේශපත්‍ර මිලදී ගන්නට පුළුවන් අය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්න. එහෙම අපහසු අයටත් ඇවිත් නාට්‍ය නරඹන්නට අවස්ථාව තිබෙනවා. ආසන තුන්සිය අනූහතයි ශාලාවේ තිබෙන්නේ. ඒ නිසා නාට්‍යය නරඹන්නට අවස්ථාව තිබෙනවා. ඊට අමතරව මේ වේද්දී අනුරාධපුරය, රාජාංගනය, වේයන්ගොඩ, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කිහිපයකින් නාට්‍යයට ආරාධනා ලැබිලා තිබෙනවා. තාම ඒවාට දින නියම වෙලා නැහැ. ඉතින් බොහෝදුරට ''අරුන්දතී මං මනමාලයි'' රට වටේ යාවි.

I දිශානි ජයමාලි