සාර - නිස්සාර මොන යම් පොළොවක පැළ වුණත් අතු පතර විදාහල ගසක් යනු සෙවණක්මය. සුවයක්මය. එතෙකින් එහා සොඳුරු දසුනක්මය. නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන් දෙන්නට හැකිනම් යමකට ඒ ප්‍රේමයට සහ ගසකට පමණි. එහෙයින් ගස් වැනි මිනිසුන්ද සදාතනික සුවිසල් සුවයක්මය. අහස සිඹින තෙක් ඉහළට එසවුණු වනස්පතින් පමණක් නොව ළදළු විදාහල පැලයක් පවා අනාගත සාර භූමියක අද දවසේ සලකුණකි. මේ සියලු විවරණ මැද ඔහු ගසකි. කලාවේ විවිධ රේඛාමය හැඩතල ඔස්සේ අතු පතර විහිදවූ ඒ ගසට ගසක නොවූ නමක් තිබේ. ඒ නම කපිල ගාමිණී ජයසිංහයි. ඔහු හඳුන්වා දෙන්නේ කවරකු ලෙසින්දැයි සිතන්නට නම් මොහොතක් මට අවැසිමය. ඔව් ඔහු නීතිඥවරයෙකි. එක්තරා කාලයක නිවේදකයෙකි. තවත් සමයක නළුවෙකි. ශාස්ත්‍රීය ග්රන්ථ රචකයෙකි. එතෙකින් නොනැවතී කෙටිකතා, නවකතා ආදියෙහි රස ස්පර්ශ කළ ලේඛකයෙකි. සුලවතෙකි. එක්තරා විචාරකයෙකි. වේදිකා නාට්‍ය නිමැවුම් දිගේ යම්තාක් දුර කදිම ගමනක් පැමිණියෙකි. සැබැවින්ම ඔහු සම්මානනීය කලාවේදියෙකි. සම්මානනීය ලේඛකයෙකි. මෙතෙකින් නවතිමි. ඔහුව හඳුන්වා දෙන්නට තවත් බොහෝ තැන් ඇතත් ඔහු ගැන කියවන්නට සොයන්නට ඔබට ද අංශුමාත්රයක් හෝ ඉතුරු කරන රිසින් මින් එහා ඔහු හඳුන්වා දෙන්නට මට නම් ඇවැසි නොවේමය.
මේ මොහොතේ ඔහු හදසරට මාතෘකාවක් වන්නේ රට පුරා, රඟහල් පුරා එලතැයි අපේක්ෂිත මායා දැලක හිමිකරු ඔහු නිසාමය. මායා දැල වේදිකා නාට්‍ය නිමැවූ නවමු රංග ආකර්ෂණයකට අප කැඳවාලන සම්මානිත නාට්‍යවේදියාණන් මායා දැල ඔස්සේ ගොතාලන සංසාර ධර්මයක කතාන්දරය වඩාත් ගැඹුරුය. සංසාරණ්‍ය නෙක වර්ණ, හැඩතල සුසැඳි නවාතැන්පොළවල්හි නවතිමින් සංසාර වීදියෙන් වීදියට අප යන ගමනේ සත්‍යයෙන් ඔබ්බට දෑසින් සහ හදවතින් අප දකින විඳින මායාවන් අනන්තයකි. ප්‍රේමයේ පටන් ජීවිතයේ හමුවන බොහෝ දෑ තුළ තැවරී ඇත්තේ ඒ මායාවී වර්ණ හදගැස්ම සහ රිද්ම නොවන්නේද? එහෙයින්ම මායා දැල ජීවන කියවීමක් මෙන්ම සංසාර කියවීමක් යැයි මට සිතේ.
1990 යෞවන සම්මාන දිනූ පිළිරෑ, 1993 යෞවන සම්මාන දිනූ ගිම්හානය, 1995 අන්තර් විශ්වවිද්‍යාල නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය සම්මානය දිනූ අඳුරට පෙර, 1996 අන්තර් විශ්වවිද්‍යාල නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය දෙවැනි ස්ථානය දිනූ ආගන්තුකයා පෙරටුව වේදිකා නාට්‍ය හතක් නිර්මාණය කළ කපිල ගාමිණී ජයසිංහගේ මායා දැල වේදිකා නාට්‍ය මේ මස 12 වැනි බ්‍රහස්පතින්දා සවස 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී තිරගත වේ. එම නාට්‍යයේ තේමා ගී රචකයා ද කපිල ගාමිණී ජයසිංහමය. නවරත්න ගමගේ සංගීතවේදියාණන් සංගීතවත් කළ එම ගීයේ ගැයුම විශාරද දුමාල් වර්ණකුලසූරියගෙනි. 1990 රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම පරිවර්තන නාට්‍ය ලෙස සම්මාන ලද බන්දුල විතානගේ සූරීන්ගේ හිරු දහසේ වේදිකා නාට්‍යයේ යශෝධා විමලධර්ම සමඟ ප්‍රධාන චරිතය රඟපෑවේද මායා දැලෙහි අයිතිකාරයාමය.
නොනිමි ස්වයංවරය, සිහින දුර්ගය, තනි යාමය වැනි නවකතා ද නිහැඬියාවේ ගීතය, කළුවර තොටුපොළ නමින් පරිවර්තනයන්ද කාලීන කෝසල සිහිනයක්, කදෝ පැණිවත, රොබෝ මිනිස්සුන්ගේ අවුරුද්ද, පල නොවූ ප්‍රේමය, තටු බිඳුණු වවුලා වැනි කෙටිකතා සමුදායක්ද කපිල ගාමිණී ජයසිංහ අතින් ලියැවිණි. මාධ්‍යවේදියෙකු ලෙස මුද්‍රිත සහ විද්‍යුත් යන මාධ්‍යයන්හි ඔහුගේ හැසිරීමද වර්ණවත්ය. වෘත්තියෙන් නීතිඥයෙකු ලෙස තම වෘත්තිය දිවිසැරිය තුළ ඔහුගේ භූමිකාවේ ප්‍රශස්තම සුබ කාර්යයක් වනුයේ නීති ක්ෂේත්රයේ විවිධ වපසරියන් අළලා ඔහු විසින් රචිත ග්රන්ථ පෙළයි. අධිකාරිපත්ර නීතිය, ඇටෝනි බලපත්‍ර නීතිය, භාණ්ඩ විකිණීමේ නීතිය, අපරාධ නීතියේ නව ප්රවණතා, දේපළ නීතියේ නව ප්රවණතා ආදී ග්රන්ථ රුසක් ඒ අතර වේ.
උදිත ගුණරත්න, ගාමිණී ජයලත්, කපිල ගාමිණී ජයසිංහ, කසුන් කාරියවසම්, තාරිකා ද සිල්වා, මොනිකා සේරසිංහ රඟන මායා දැලෙහි අංග රචනය වාසනා බණ්ඩාර විජේකෝන්ය. සංගීතයෙන් නවරත්න ගමගේ, වේදිකා පරිපාලනයෙන් කසුන් කාරියවසම්, රවීන්ද්‍ර ද සිල්වා, පසුතල නිර්මාණයෙන් බන්දුල අතාවුදහෙට්ටි, ආලෝකකරණයෙන් ඩබ්ලිව්.ඒ. ප්‍රේමචන්ද්‍ර, ගායනයෙන් විශාරද දුමාල් වර්ණකුලසූරිය මායා දැල වර්ණ ගන්වන්නෝය.
26 වසරකට පසු එලෙන මායා දැල මංගල දර්ශනය ඔක්තෝබර් 12 වැනිදා සවස 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී රංගගත කෙරේ. නීතිඥ කපිල ගාමිණී ජයසිංහ ඔබට වේදිකාවට දක්වන ආදරය වෙනුවෙන් මේ අපේ ආදරයයි.
I සංජීවිකා