2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ආවොතින් යා යුතු බව දනිම් එහෙයින් නික්ම යා යුතු මොහොත මෙය වුවත් නොවුණත් ජැකා.. සමු නොදීම සමුගත්තේය..

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:01 133

මරාසාද්, කඩුල්ල, මහමෙර පාමුල, අකාල සන්ධ්‍යා, සුසීමා, තාරාවෝ ඉගිලෙති, පිටගම්කාරයෝ, දස්කොන්, සී රජ, පුනරුත්පත්තිය, ජුලියට්ගේ භූමිකාව, ගිනිඅවි සහ ගිනිකෙළි, ලොකු දුව, භව කර්ම, භව දුක, අග්නිදාහය, රන්දිය දහර, ගරිල්ලා මාකටින්, අයෝමා, මිල්ල සොයා, අස්වැසුම, සූරිය අරණ, අබා, අප්පච්චි, ඇඩ්‍රස් නෑ, ධර්ම යුද්ධය, මහ රජ ගැමුණු, විෂම භාග, දඩඉම.. එතෙකින් නොනැවතී ඔබේ මතක තවත් සරල නොවූ රේඛාවන් දිගේ විහිද යයි. ගඟ දිගේ, සලන්හන්තේ, මෙතනින් මාරුවෙමු, එක ගේ සොකරි, වෙද හාමිනේ, පළිඟු මැණිකේ, බෙර හඬ, අත්, ලෝමහංස, මධුර ජවනිකා, ධවල භීෂණ, තාරාදේවි.. මේ ආදී තව තවත් මං දිගේ ඔබේ මතක මා අස ගැවසේ. ඉඳින් ඔබ කවුදැයි නිර්වචනය කර ගැනීම තරම් අසීරු කර්තව්‍යයක් තවත් නැති තරම්ය. හදවත බුද්ධියටත් බුද්ධිය හදවතටත් සමපාත නොවන බොහෝ තැන්වලදී ජීවිතය කවරෙකුට වුව වැරදී යා හැකි තැන් නොවැරදීම හමුවිය හැකිය. ආදරණීය ජැක්සන් නිහඬව ඔබ කියවන මොහොතක ඔබටත් ජීවිතයේ එසේ වැරදුණු, එසේ මඟහැරුණු තැන් තිබුණා යැයි මට සිතේ. ඔබ නොනැවතුණා නම් යැයි සිතුණු තැන් සේම නොගත්තා නම් යෙහැකැයි සිතුණු තීරණ, විනිශ්චයන් මුණගැසුණු තැන් ඔබටත් තිබුණා යැයි මට සිතේ. ජැක්සන් ජීවිතය එහෙමය. එහෙත් ජීවිතය යනු ගන්න හුස්මක් සමඟ සරන චාරිකාවක් නොව, අවැසි සියල්ල හමුවෙන තෙක් සොයා යා යුතු ගැඹුරු සේම ප්‍රේමණීය සුලවත් චාරිකාවක්මය. ගවේෂණයක්මය. පුංචි පැළයක් සේ පොඩිවීකුඹුරේ ඉපදී පොඩිවීකුඹුරේ පැළ වී මේ පුංචි දූපතට ඉහළ අහස සිඹින තෙක් එසවුණු සෞන්දර්යාත්මක මහා වනස්පතිය ජැක්සන් ඒ නුඹමය. ඒ මහා වනස්පතියේ අතු අගිසි අගිසි ගාණේ පිපුණු සුවඳවත් කුසුම් නෙක ඵල අතු රිකිලි ළඳලු සියල්ල ඔබේ අප්‍රමාණ සෞන්දර්යාත්මක හදවතින් උපන් රංගනයේත් නිර්මාණවේදයේත් සොඳුරු ඵල මිස අන් කවරක්ද? 

 

මෙසඳ එසඳ බැස ගිය සඳ
අඳුරුය සඳ නිම්නයම...
ප්‍රේමණීය අධිරාජයාණෙනි...
ආදරවේදයේ අක්ෂරයෙන් අක්ෂරය
නොවේද ඔබ කියා දුන්නේ හැමදාම
ළය ලෙයට දැනෙන්නම...
කිසිවක අවසානයක් මිස කෙළවරක් නැත්තේමය...
ඉඳින්, නොවැරදීම 
සංසාර සක්මන සරා 
නැවත නැවතත් මුණගැසෙමු...
එතෙක් සුබ රාත්‍රියක්

I සංජීවිකා
I සේයාරුව I සුමුදු හේවාපතිරණ