2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 178

ජැක්සන් ඇන්තනී නම් සංස්කෘතික මිනිසාගේ මතක අතර සරන සති අන්තය මෙයයි. ඉඳින් ඒ මහා යුග පුරුෂයාට ක්ෂේම භූමියක් වූ වේදිකාව අප කෙලෙසක අමතක කර දමන්නද? එනිසාම ජැක්සන් සහ ලාංකික වේදිකාව අතර ඇති අපූරු සහසම්බන්ධය පිළිබඳ අතීතාවලෝකනයක යෙදෙන්නට අපි තීරණය කළෙමු.

ජැක්සන් හැදී වැඩුණු පොඩිවීකුඹුර නම් ගම්මානය කලාවේ සුපෝෂිත මිනිසුන් විසූ අප්‍රකට ගම්මානයක් බව ජැක්සන්ම නොයෙක් වර සඳහන් කර තිබේ. නාඩගම්, ටීටර් ආදී විවිධ නාට්‍ය සම්ප්‍රදායන් මේ අපූරු ගම්මානයේ තිබී ඇතැයි කියැවේ. ඒවායේ ආභාෂයත් රංගනය පිළිබඳ කුකුසෙන් පිරුණු ජැක්සන්ට බලපා ඇති බව පැහැදිලිය. එසේම සිය පියාගෙන් ලැබුණු ගුරුහරුකම් රංගවේදය කෙරෙහි මේ අපූරු මිනිසා නැඹුරු වීමට හේතු වී තිබේ.

ජැක්සන්ගේ පාසල් වේදිකාව පිළිබඳ මතක අවදි කරන විට වින්සන් මාස්ටර් නම් මුල් ගුරුතුමා අමතක කර දැමිය නොහැකිය. සොඳුරු චරිතයක් වූ හෙතෙම ජැක්සන් පාසල් වේදිකාවට කැඳවාගෙන ඒමේ පුරෝගාමී චරිතය විය. ඒ අනුව ජැක්සන් වේදිකාව කෙරෙහි ප්‍රවේශය සටහන් කර ඇත්තේ හපුගොඩ ශාන්ත මරියා විද්‍යාලයෙනි.

පසුව උසස් පෙළ සඳහා ගලහිටියාව මැදි විදුහලට ඇතුළත් වීමට ලද අවස්ථාව ජැක්සන්ගේ නාට්‍ය ජීවිතේ සුවිශේෂී සංධිස්ථානයක් විය. ගලහිටියාවේදී නිර්මාණය වූ මිත්‍ර සමාගම ජැක්සන්ගේ වේදිකා තරණයට මහෝපකාරී විය. ජැක්සන්ම වරක් කියා ඇති පරිද්දෙන් පාසල් වේදිකාව, අන්තර් පාඨශාලීය නාට්‍ය තරග ඔහුගේ ගමනේ සුවිශේෂී මං සලකුණුය.

මේ අතර කාලයේ පොඩිවීකුඹුර හා රාගම නගරය කේන්ද්‍ර කරගත් නාට්‍ය කණ්ඩායම දෙකක් වූයේය. ජැක්සන් ඇන්තනී පොඩිවීකුඹුරේ සිට පැමිණෙද්දී ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයන්ත චන්ද්‍රසිරි ආදී රංගවේදීහු රාගමින් සටනට අවතීර්ණ වූහ. එකල එකිනෙකාට එදිරිව සිටි මෙම දෙපිරිස අතර අපූරු මතකයන් ශේෂව පවතී. එකල කෙටි නාට්‍ය උළෙලවල මෙම දෙපිරිස අතර පැවතියේ කරට කර තරගයකි. පසුව තරගය මිත්‍ර සමාගමක් බවට පරිවර්තනය වී ඇත්තේ ද දෛවෝපගත ලෙසය. ජැක්සන් සේම ශ්‍රියන්ත ද මේ මතක නොයෙක් වර ආවර්ජනය කර තිබේ.

ගලහිටියාව මැදි විදුහලේ හමුවූ මිතුරු පර්ශදය ද සමඟින් නාට්‍ය කණ්ඩායමක් සකසා ගන්නට ජැක්සන් ඇන්තනී මෙම කාලයේදීම සමත්ව තිබේ. ජැක්සන්ගේ පාසලේ මිතුරියක වූ පසුව දිවිසැරියේ සහකාරිය බවට පත්වූ කුමාරි මුණසිංහ ද මේ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක් විය. "මේ කොයි යන්නේ" 1976 දී ජැක්සන් පළමුවරට නිෂ්පාදනය කළ දීර්ඝ නාට්‍යයයි. කුමාරි ද අන්ධ කාන්තාවක් ලෙසින් මෙහි ප්‍රධාන භූමිකාවක් රඟ දක්වා තිබේ.

ජැක්සන් ඇතුළු පිරිසේ අවදිවීම දුටු නෙවිල් ඩයස් සුබසිංහ නම් නාට්‍යවේදියා ජැක්සන් ඇතුළු නාට්‍ය කණ්ඩායමේ කිහිප දෙනෙකුට සිය වේදිකා නාට්‍යයක අවකාශය සලසා දීමට කටයුතු කළේද මේ කාලයේදීය. බොහෝ දෙනෙකු අදටත් ජැක්සන්ගේ පළමු වේදිකා නළුවා ලෙස සලකන "වාරුවෙන් යන මිනිස්සු" 1977 නිර්මාණය වූයේ ඒ සමඟයි. ජාතික තරුණ සේවා නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය ලෙස සම්මාන හතක් දිනාගැනීමට "වාරුවෙන් යන මිනිස්සු" සමත් විය. මෙය ජැක්සන්ගේ රංගන ජීවිතයේ පරිවර්තනීය අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

“අංකල් සිමියොන්", "ජන්ම ගති" සහ "කළු වත හැඳි කත" ආදී නාට්‍ය එතරම් ප්‍රකට නොවුණු සමකාලීනව ජැක්සන් දායකත්වය ලබා දුන් නිර්මාණ විය. ඒ අනුව පාසල් අධ්‍යාපනය කෙළවර කරන්නටත් මත්තෙන් ජැක්සන් ඇන්තනී වේදිකා නළුවෙක් බවට පත්ව සිටියේය.

කොළඹ සරසවියේ වේදිකාව ජැක්සන් ඇන්තනී නම් ප්‍රතිභාපූර්ණ රංගවේදියා රටක් හඳුනා ගැනීමට හේතු වූ බව සඳහන් කළ යුතුමය. කොළඹ විශ්වවිද්‍යාලය තුළ විප්ලවීය චරිතයක් බවට පත්වීමට ජැක්සන් හට ගත වූයේ පළමු වසරේ මාස කිහිපයක් පමණි. එවක පැවති නවක වදය තමන්ගේ හැකියාවන් විදහා පෑමට යොදාගත් ජැක්සන් සරසවියේ පළමු වසරේදීම සරසවි වේදිකාවට අත්පොත් තැබුවේය. එවක දෙවැනි වසර සිසුවෙකු වූ මංගල සේනානායක නිර්මාණය කරන ලද "එහෙත්" නම් වූ වේදිකා නාට්‍ය ජැක්සන්ගේ සරසවිය වේදිකාවේ මංගල දැක්ම විය.

එදා "එහෙත්" වේදිකාගත වූ සරසවි නාට්‍ය උළෙල විනිශ්චය කරන්නට පැමිණියේ එවක ප්‍රවීණ නාට්‍යවේදී වූ සුගතපාල ද සිල්වා, සෝමලතා සුබසිංහ සහ ඩග්ලස් සිරිවර්ධනයි. ජැක්සන් ඇන්තනී නම් අපූරු රංගධරයා පිළිබඳ පැහැදිලි විනිශ්චය ඔහු එම නාට්‍ය උළෙලේ හොඳම නළුවා ලෙස තෝරා ගත්තේය. එතැනින් නොනැවතුණු සුගතපාල ද සිල්වා කොළඹ විශ්වවිද්‍යාලයේ සිටින අපූරු තරුණයා පිළිබඳ ආරංචිය ලාංකික වේදිකාව වෙත රුගෙන ගියේය.

මේ ආරංචිය ලද ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලයන් ජැක්සන්ව තමා වෙත කැඳවා ගන්නට කටයුතු කළේය. ජැක්සන්ගේ දෛවය උඩු යටිකුරු කළ ලූෂන්ගේ කැඳවීම "තාරාවෝ ඉගිලෙති" ලෙසින් වේදිකාගත විය. ලූෂන් බුලත්සිංහලගේ ජනකාන්ත කෘතියක් ලෙස සලකන "තාරාවෝ ඉගිලෙති" සැබැවින්ම ජැක්සන් ඇන්තනී හට කලඑළි මංගල්‍යයක් විය.

සෝ‍බා‍ව‍ දේ‍ මෙ‍පු‍ර‍ සි‍රි‍ වි‍සි‍තු‍රු
බ‍ල‍නු‍ මි‍තු‍රු ම‍ඟ පි‍ය‍ක‍රු වූ‍
සු‍සු‍දු‍ ව‍ලා‍ කැ‍ර‍ලි‍ ප‍ල‍ස‍කි‍ මේ‍
ම‍ග‍ දි‍ග‍ ඇ‍ති‍රූ
අ‍හ‍ස‍ සූ‍ර‍න‍ මැ‍ඳුරූ
(තාරාවෝ ඉගිලෙති 1982)

කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය‍යකු ලෙස සිටියදීම ශ්‍රී ලාංකික නාට්‍ය කලාවේ ඓතිහාසික සංධිස්ථානයක් සලකුණු කළ නිර්මාණ කිහිපයකටම දායකත්වය ලබා දීමට ජැක්සන් ඇන්තනී සමත් විය. ඩග්ලස් සිරිවර්ධනයන්ගේ "බෙර හඬ" නාට්‍ය ද ජැක්සන් හට ආලෝකයක් විය.

ඒ අනුව "තාරාවෝ ඉගිලෙති", “බෙර හඩ", “දෙපානෝ" සහ "මධුර ජවනිකා" ආදී නාට්‍ය ජැක්සන්ගේ වංශ කතා පරිච්ඡේදය තුළදී අපිට කිසි කලෙක අමතක කළ දැමිය නොහැකිය.

දයානන්ද ගුණවර්ධනයන්ගේ "මධුර ජවනිකාවේ" නෙයිනාගේ සූදුව විරිඳු සුරල් අතරේ ජැක්සන් ඇන්තනී නම් නොමියන මිනිසාගේ හඬ ප්‍රතිරාව නංවනු ඇත. වරක් ජැක්සන් ද පැවසූ ලෙසින් ඔහු වේදිකාව තුළ ලබාගත් ඉහළම ජනාදරය මධුර ජවනිකා හරහා ඔහුට ලැබුණි. එනිසාම සිය දිවි සැරියේ අවසාන අර්ධය වන තෙක්ම "මධුර ජවනිකා" සඳහා ජැක්සන් රංගන දායකත්වය සැපයීය.

වේදිකාව වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ඇතුළු සම්මාන රැසකට උරුමකම් කීමට ජැක්සන් සමත් විය. ජැක්සන් ඇන්තනී නම්, පෙළින් පෙළ ලියා තබන්නට හෝ මෙපමණයි එපමණයි කියා ලියා නිම කළ නොහැකි වූ ජීවිතාන්දරයක සිරකරුවෙකි. තාරාවෝ ඉගිලෙති, බෙර හඬ, මධුර ජවනිකා, අත්, මරාසාද්, ඔත්තුකාරයා, මෙතනින් මරුවෙනු, ලෝමහංස, මහා සමයම, ධවල භීෂණ ආදී වූ බොහෝ වේදිකා නිර්මාණ ජැක්සන් ඇන්තනී නම් රංගධරයාගේ වේදිකා පෙළහරට අන්තර්ගතය.

ජැක්සන් නම් යුගයකි. නිර්වචන විරහිත මිනිසෙකි. අද අපට ඔහු පිළිබඳ ඉතිරිව ඇත්තේ මතකයකි. ඒ මතකය පවා අවදි වෙන හැම වරෙක අපි මවිත වෙමු. තනි මිනිසෙකුට එතරම් දෑ ළ හැකිද? පුදුමයකි. 

I චමිඳු නිසල්