2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

මට සල්ලි එපා කියලා අපි දෙන්නවම බදාගත්තා

2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00104

- පිළිකා ශල්‍ය විශේෂඥ නෙඔමාල් පෙරේරා සහ වෛද්‍ය නිශානි ප්‍රනාන්දුගේ දඩඉම මතකයෙන්


චරිතයට ගෙනාව මේ දුම්පයිප්පයට ජැක්සන් අයියා හරිම ආසයි. නිකන් ඉද්දීත් ඒක බොන්න ගත්තා

 ​එයා තරම් රස විඳ විඳ කෑම කන කෙනෙක් මම දැකලා නෑ 

කතා කරන ලොකු ඇස්වලින් සියක් දහසක් වචන කතා කළ ආලවන්ත දුෂ්ඨයාට මේ මොහොතේත් මම ප්‍රේම කරමි. සිනමාවට පෙම් කරන මගේ හදවත ඔහුට පෙම් කර සිටිය නොහැකිමය. දඩඉම තුළ මට හමුවූ දුෂ්ඨයාගේ පිරිමි හදවත හාරා අවුස්සමින් ඒ පිරිමි පපුව කණිමින් ආලවන්ත ස්නේහ අංශුමාත්‍රයක් සෙවූ මොහොත මට මතකය. ඒ පිළිකා ශල්‍ය විශේෂඥ නෙඔමාල් පෙරේරා අධ්‍යක්ෂණය කළ දඩඉම සිනමා වියමන පිළිබඳ විචාරයක් ලියන මොහොතක ජැක්සන් ඇන්තනී නම් රංගධරයාගේ ප්‍රබල රංගනය අක්ෂර දිගේ මා සොයා ගිය ගමනේදීය. දඩඉමේ මතක සිසාරා යළිත් ඇවිදින්නට මට සිත් වූයේ ආදරණීය ජැක්සන් දෑස් පියාගත් මේ මොහොතේය. එහෙත් &දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව* ඔව් ජැක්සන් ඔව් ජැක්සන් අයියේ... මැවි මැවී පෙනෙන්නේ දඩඉමේ ආලවන්ත ප්‍රේමවන්ත දුෂ්ඨයාව මට. අන්න ඒ හින්දයි මතක වුව සොඳුරු යැයි සිතෙද්දී පිළිකා ශල්‍ය විශේෂඥ නෙඔමාල් පෙරේරා සහ වෛද්‍ය නිශානි ප්‍රනාන්දු එක්ක දඩඉමේ මතක මං දිගේ ඔබ නැතුව ඔබ එක්ක අපි මෙහෙම ඇවිද්දෙ. 

ජැක්සන් අයියා දඩඉම ෆිල්ම් එක බලලා සබීතා අක්කා අතින් කියලා තිබුණා (සබීතා පෙරේරා) එයා රඟපාපු ආසම ෆිල්ම් එකක් දඩඉම කියන්නෙ කියලා. වෛද්‍ය නිශානි ප්‍රනාන්දු කතාබහේ ආරම්භය සටහන් කළේ එහෙමයි. 

ඒ දවස්වල ජැක්සන් අයියා දිගටම අපේ ගෙදර හිටියා. ස්වර්ණා අක්කත් (ස්වර්ණා මල්ලවආරච්චි) අපේ ගෙදර ඒ දවස්වල හිටියා. මම තමයි පිටපත කියවන්නෙ. මම කියවද්දි ස්වර්ණා අක්කයි ජැක්සන් අයියයි නෙඔමාලුයි අහගෙන ඉන්නවා. එක තැනකදි පිටපතේ තිබුණා උඹ වගේ බුරියෙන් පල්ලෙහා මානසිකත්වයක් තියෙන වනචර, පාදඩ අවලම් බල්ලා කියලා දෙබසක්. මම ඕක කියවලා එකපාරටම ආ.. මොකක්ද ඒ බුරියෙන් පහළ කියන්නෙ කියලා ඇහුවා. ඇත්තටම ඔය වගේ සමහර වචන ඇහෙද්දි මම එකපාරටම ''ටියුබ් ලයිට්'' වෙනවා. මම එහෙම ඇහුවා විතරයි ජැක්සන් අයියයි ස්වර්ණා අක්කයි ඔක්කොමලා හයියෙන් හිනා වුණා. කෑගහලා හිනා වුණා. ඒ වෙලාවෙ නෙඔමාල් කිව්වා මම ඒක පස්සෙ ඔයාට කියලා දෙන්නම් කියලා. ඒ වෙලාවෙ ජැක්සන් අයියා කිව්වා ඩොක්ටර් මම හිතන්නෙ රෑවෙලා ඕක නිශානිට කියලා දෙන්න කියලා. ජැක්සන් අයියා හරි සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ජැක්සන් අයියටයි ස්වර්ණා අක්කටයි රසටම කන්න දෙන්න ඕනෙ නිසා මමමයි කෑම උයලා දුන්නෙ. එයාලා කැමතිම කෑම තමයි මම එයාලට හදලා දුන්නෙ. ජැක්සන් අයියා හරි ආසයි මාළු ඔළු, ඉස්සො කකුළුවො, හරක් මස් කන්න. මම සමහර දවසට බාස්මතී හාලේ බත් එක්ක කකුළුවො බොරේට හදලා හොඳ පොල් සම්බෝලයක් හදලා පරිප්පු වේලෙන්න උයනවා. ඒ ඇති එයාට. ජැක්සන් අයියා තරම් කෑම කද්දි කෑම රස විඳ විඳ කන කෙනෙක් මම දැකලා නෑ. ඒ රස විඳ විඳ කන හැටි බලන් ඉන්න ආසයි. අපි කෑම මේසෙ පැය දෙක තුනක් කතා කර කර කනවා. මාළු ඔළු එහෙම එයා සූප්පු කර කරා ඒකෙ රස කිය කියා කන හැටි දැක්කාම මට අනිත් දවසෙ ඊට වඩා රසට එයාට කෑම හදලා දෙන්න හිතෙනවා. හරි හෙමින් හෙමින් පුදුම විඳිල්ලක් එක්ක තමයි කෑම කන්නෙ. එයා මගේ තාත්තිටත් (සිනමාවේදී ඇලරික් ලයනල් ප්‍රනාන්දු) හරි ආදරෙයි. ජැක්සන් අයියට මගේ පැත්තෙන් නෑදෑකමක් තියෙනවා කියලා තමයි එයා හැම තිස්සෙම කිව්වෙ. නිශානි අපි නෑදෑයෝ කියලා එයා හරි ආසාවෙන් කිව්වෙ. ජැක්සන් අයියා බයිසිකලේ ඇවිල්ලා අපේ ගේට්ටුව උඩින් බලාගෙන එහෙට මෙහෙට යනවලු නළු නිළියො බලාගෙන. අපේ ගෙදර ඉස්සර නිතර නළු නිළියො එන සමහර අය දවස් දෙක තුන ඇවිල්ලා ඉඳලා යන තැනක්. ජැක්සන් අයියා අපේ ගෙදර ආවම තාත්තිත් එක්ක පැය ගණන් චිත්‍රපට ගැන කතා කරනවා. 

ජැක්සන් අයියා කියන්නෙ පුදුම නිහතමානී මනුස්සයෙක්. චිත්‍රපටය කරද්දි නෙඔමාල් කියන දේ එයා කරනවා. ඊටපස්සෙ අහනවා ඩොක්ටර් ඩොක්ටර්ට ඕනෙ විදිහට ආවෙ නැත්නම් කියන්න. අපි ආපහු කරමු කියලා. පුදුම ඉවසීමක්, පුදුම දැනුමක් තිබුණු කෙනෙක්. ඒ වගේම හරිම ආදරණීයයි. දඩඉමේ එයා තනි සුදු ඇඳුමක් ඇඳගෙන සොහොනට යන තැන මම කිව්වෙ ඒ ඇඳුම ලිනන් තනි සුදු ඇඳුමක් අපි ගමු කියලා. නෙඔමාල්ගෙ රොලෙක්ස් හොඳ ඔරලෝසුවක් එයා ඒ රූප රාමුවට බැන්දෙ. ඒක ඇඳලා එයා කොහොමද නිශානි මම ලස්සනයි නේද? හැන්ඩ්සම් නේද? කිය කියා හිනා වෙවී හැඩ බැලුවෙ. චරිතයට ගෙනාව දුම්පයිප්පයට ජැක්සන් අයියා හරිම ආසයි. නිකම්ම ඉද්දිත් ඒක ‍බොන්න ගත්තා. මම ජැක්සන් අයියට කිව්වා අයියෙ.. ඔන්න මුහුරත් උළෙලට එහෙම ඉන්දියන් විදිහට ඇදන් එන්න බෑ. ඔයා දඩඉමට ඇන්ඳ ෆුල් සූට් එක ඇඳන් එන්න ඕනෙ කියලා. ආ.. හරි නිශානි ඔයා මට ලස්සනට ඇඳුමක් හදලා දෙන්න. මම ඒක අඳිනවා කිව්වා. එයා කලාකරුවන්ට හරියට ගරු කළා. වෙලාවක් කිව්වොත් හරියටම ඒ වෙලාවට කලින් එනවා. පුදුම මනුස්සයෙක්. එයා හුඟක් වෙලාවට කියපු තව කතාවක් තමයි නිශානි අකිල කියන්නෙ මම. අකිල ඇතුළෙ ඉන්න මම. සජිත හරි දක්ෂයි. එයා දවසක මාවත් පහු කරගෙන යයි. ඒත් මාව එහෙමම ඉන්නෙ අකිල ඇතුළත කියලා. එයා චිත්‍රපටයේ රඟපානකොට මගේ ගාණ මෙච්චරයි කියලවත් කිව්වෙ නෑ. සල්ලි එපාම කියලා කිව්වා. ඒත් මමයි නෙඔමාලුයි එයාගෙ වටිනාකම අපිට මුදලින් තක්සේරු කරන්න බැරිවුණත් එයාට සෑහෙන ගාණක් අපි එකවරම චෙක් එකක් විදිහට ලියලා ජැක්සන් අයියෙ මේක ඔයාගේ ගාණ නෙවෙයි. අපි ආදරෙන් දෙන තෑග්ගක් කියලා දෙද්දි එයා අපි දෙන්නව බදාගත්තා. සල්ලි එපාම කිව්වා. අපි නෑදෑයෝ කිව්වා. එයාගේ ඇස්වලට කඳුළු ආවා. පස්සෙ ඇහුවා අනේ ඇයි නිශානි මට මෙච්චර ගාණක් දුන්නෙ. මට මේක ගන්න බෑ කිව්වා. මම කිව්වා නෑ ජැක්සන් අයියෙ මේක ඔයාට අපි දෙන තෑග්ගක් කියලා. එයා හරි සුන්දරම සුන්දරම අව්‍යාජ මනුස්සයෙක්. මේ මොහොතේ ඔයා මට කතා කරද්දි එදා අර සුදු ලිනන් ඇඳුම ඇඳලා නිශානි මම ලස්සනයි නේද? හැන්ඩ්සම් නේද? කියලා මගෙන් අහපු හැටි මට මැවිලා පේනවා.

ඉන් එහා කිසිවක් විමසන්නට මට නොසිතේ. මතකය කෙතරම් සොඳුරුද හිතවත. ඔව් සුවඳ තැවරුණු ලස්සන මතක තරම් ජීවිතය පුරා සුවඳ ගල්වන අන් යමක් නැත. 

I සංජීවිකා