මේක මචෝ කොල්ලො කෙල්ලො අතර මේ දවස්වල ජනප්‍රිය පට්ට Y trend එකක්. දැන් බැලුවොත් හැමෝම ගොඩක් කොල්ලෝ කෙල්ලන්ගෙ අත්වල Smart watch එක තියෙනවා. ඉස්සර වගේ කටු කැරකෙන රත්තරන් රිදී පාට ඔරලෝසු දැන් තරුණ තරුණියන්ගේ අත්වල නැති තරම්.
මේක ඇත්තටම Fashion එකක්. ලෝකෙ පුරා පට්ට විදියට පැතිරිලා යන රැල්ලක්. දැන් ලෝකයේ හැම ප්‍රසිද්ධ දුරකථන සමාගමක්ම වගේ Smart watch හදන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් අපි කවුරුත් දන්න විදිහට Apple තමා මේ සීන් කෝන් එකේ අංක එකේ ඉන්නේ. ලංකාවෙන් නම් Apple Smart watch එකක් බඳිනවා කියන්නෙ වෙනම level එකක ගැම්මක් තියෙන වැඩක්.
ඒ කොහොම වුණත් පිටකොටුවට ගියාම Second quality එකේ Smart watch ඕනෑ තරම් තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙ ගොඩක් තැන්වල කතාව එහෙමයි. මොනවා හරි විලාසිතා අයිතමයකට විශාල Fake market නිර්මාණය වෙනවා කියලා කියන්නෙ මචෝ, ඇත්තටම එතැන ලොකු trend එකක් තියෙනවා කියන එක.
අපේ සුදාලා දන්නවද මේ සීන් කෝන් ඉතිහාස කතාව. අතේ බැඳගෙන අයිටම් එකට කැරකෙන ගමන් මේ සීන් එකේ history කෑල්ලත් දැනගෙන ඉන්න. ඩිජිටල් ඔරලෝසුවලින් තමා මේ කතාව පටන් ගන්නෙ.
1972 දී තමා පළමු ඩිජිටල් ඔරලෝසුව ''හැමිල්ටන් වොච්'' කියන සමාගම විසින් නිෂ්පාදනය කරන්නෙ. අපේ පරණ කාලෙ සෙට් එකට සමහරක් විට මතකත් ඇති "Pulsar” බ්‍රෑන්ඩ් එකෙන් තමයි පළවෙනි වතාවට ඩිජිටල් ඔරලෝසු හඳුන්වලා දුන්නේ. ඊටපස්සේ මේ ඩිජිටල් සීන් කෝන් එක ක්‍රමයෙන් විකාශනය වෙන්න පටන් ගත්තා. අනූ ගණන්වල අග දෙදහයේ මුල සුදාලට මතක ඇති තරුණ පරම්පරාව වගේම ළමයි අතරත් Digital Watch රැල්ලක් නිර්මාණය වෙලා තිබුණා.
දැන් කාට හරි මතක් වෙන්න ඕනේ මචෝ knight rider එකේ මයිකල්ගේ අතේ තිබුණු ඔරලෝසුව. ඒ දවස්වල ඒ සීන් එක අපට පට්ට වාව් වෙලා තිබුණේ. ඇත්තටම මචෝ මේ Technology ය Develop කරන්න ඒ කාලයේ ඉඳන්ම ගොඩක් ආයතන උත්සාහ කර කර හිටියා. 1984 වගේ වෙනකොට මැණික් කටු පරිගණකය කියලා එකක් ගැන කට්ටිය අතර ලොකු කතාබහක් තිබුණෙ ඒ නිසා.
කොහොම වුණත් Smart watch කියන සීන් එක හොයාගැනීමේ ගෞරවය ලැබිලා තියෙන්නෙ නම් කැනඩාවේ නව නිපැයුම්කරුවෙක්ට. අපි අන්තර්ජාලෙන් හොයාගත්ත විදිහට නව නිපැයුම්කරුවෙකු වුණු ස්ටීව් මෑන් විසින් තමා 1998 දී පළමු ස්මාර්ට් ඔරලෝසුව නිර්මාණය කරලා තියෙන්නේ.
ඔන්න මචෝ 1999 දී Samsung විසින් ලොව ප්‍රථම ඔරලෝසු දුරකථනය වන SPH-WP10 දියත් කළා. ඒ කාලෙට අනුව මේක මරු භාණ්ඩයක්. ඉදිරියට නෙරා ආපු ඇන්ටනාවක්, LCD තිරයක්, ඒකාබද්ධ ස්පීකරයක් සහ මයික්‍රෆෝනයක් ඔරලෝසුවේ තිබුණා. හැබැයි මේකේ call time එක නම් විනාඩි 90ක් විතර තමා වුණේ.
ඕක තමා ඉතිහාස කතාව. තව තියෙනවා කෙටියෙන් කිව්වෙ. දැන් සුදාලා දන්න විදිහට මේ Y Trend එක ලෝකය පුරා වේගයෙන්ම ව්‍යාප්ත වන විලාසිතා රැල්ලක්. අපේ රටේ ගොඩක් දෙනෙක් මේක පෙනුමට තත්ත්වයට ලස්සනට දැම්මට, දැන් ලෝකය Smart ජීවිතවල අවශ්‍යතාවයක් නිසා තමා Smart Watch මෙච්චර Trend වෙලා තියෙන්නේ. අපිට සරල හේතු කිහිපයක් මේ ගැන දක්වන්න පුළුවන් මචෝ.
ගොඩක් වෙලාවට ශරීර යෝග්‍යතාවය පිළිබඳ පරීක්ෂා කරන්න මේ Smart Watch වල, විශේෂ පහසුකමක් දකින්න ලැබෙනවා. වර්තමාන ලෝකයේ අවශ්‍යතාවයක් විදියට තමා ඒ පහසුකම Smart Watch වලට ඇවිල්ලා තියෙන්නේ සුදෝ. ඉතින් දැන් ලෝකයේ අති බහුතරයක් දෙනා තමන්ගේ සෞඛ්‍ය සහ ශරීර යෝග්‍යතාවන් මැන බැලීමේ අරමුණෙන් Smart Watch පළඳිනවා.
අනෙක් අතට සාම්ප්‍රදායික මිල අධික අත් ඔරලෝසුවලට සාපේක්ෂව ක්‍රමිකව Smart Watch මිල ගණන් අඩුවෙමින් තියෙන්නේ. දිගින් දිගටම අලුත් තාක්ෂණික දේවල් එකතුවෙලා නව මාදිලි එන නිසා තමා එහෙම වෙන්නේ. මේ වෙද්දි පොදුවේ වෙළෙඳපොළට පහසු මිලට ගන්න පුළුවන් Branded Smart watch ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා තරුණ තරුණියන්ට මේක අවස්ථාවක්.
ඊළඟට වැදගත්ම කාරණාව තමා මචෝ සමාර්ට් ජංගම දුරකථනය හරහා සිද්ධ කරන්න පුළුවන් ගොඩක් දේවල් Smart Watch එකෙන් කරන්න පුළුවන් වීම. ඇත්තටම ඒක පහසුවක්. ඒ වගේම ජංගම දුරකථනය සම්බන්ධ ඇබ්බැහිවීම් වළක්වා ගන්නත් උදව්වක්. Smart Watch හරහා smart ජීවිතයට අදාළ ගෙදරදොර උපකරණ ගොඩක් පාලනය කරන්නත් අවකාශය තියෙනවා.
ඉතින් මචෝ මේ වගේ හේතු කාරණා ගොඩක් නිසා තමයි Smart Watch රැල්ලක් නිර්මාණය වෙලා තියෙන්නෙ. ලංකාව, ඉන්දියාව වගේ දකුණු ආසියාතික රටවල පහුගිය වසර දෙක තුන තුළදී 130% කින් විතර Smart watch වෙළෙඳපොළ වර්ධනය වුණා කියලා කියැවෙනවා. සුදාලට පේනවා නේද? මේ සීන් කෝන් එක ඇත්තටම අපි හිතනවට වඩා ලොකු රැල්ලක්.
ගෝලීය මට්ටමින් ගත්තොත් Smart watches වෙළෙඳපොළේ 2023 වසරේ අපේක්ෂිත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 44 ක් විතර වෙනවා. ඒ වගේම වෙළෙඳපොළ වාර්ෂිකව වර්ධන වේගය 7.19% ක්. 2028 විතර වෙනකොට Smart Watch වලට ඩොලර් බිලියන 62ක විතර වෙළෙඳපොළක් නිර්මාණය වෙයි කියලා තමා කියන්නේ.
කොහොම වුණත් මචෝ ලංකාවේ කෙල්ලො කොල්ලන්ට නම් මේ කතා එච්චර අදාළ නෑ. හැමෝම කරනවට තමා අපේ කට්ටිය මේ වගේ විලාසිතා කරන්නේ. ඇත්තම අරමුණු අපේ ගොඩක් දෙනෙක් මේ ඔස්ෙස් ඉටුකර ගන්නේ නෑ. ඒ නිසා අවසානයේ අපිට කියන්න තියෙන්නේ ඔරලෝසුව විතරක් Smart වුණාට වැඩක් නෑ, Life එකත් Smart කර ගන්න ඕනෑ.
I චමිඳු නිසල්