2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

මිනිස්සුන්ට හිනාවෙන්න සල්ලි දීපු එක හරිම සතුටක්

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 106

- කතුරු මිතුරු නිෂ්පාදක බාසුරු සිරිවර්ධන

සිනහවට පෙම් නොකරන්නේ කවුරුන්දැයි සිතේ. රටකටම සිනාසෙන්නට නොමසුරුව ඔහු මුදල් වියදම් කළේය. සිනහ ගන්වන්නටම අපූරු කෞෂල්‍යයක් ඇති කෞෂල්‍ය කෙනෙක්ද ඔහුට මුණගැසුණේය. මුදල් දුන් බාසුරුට මුණගැසුණ ඒ නිර්මාණශීලී කෞෂල්‍ය ගිරිරාජ් කෞෂල්‍යයය. සිකුරු හතේ, සුහද කොකාගෙන් පසු රටක් හිනස්සවන්නට කතුරු මිතුරු නිමැවූ නිර්මාණවේදියා ගිරිරාජ්ය. කතුරු මිතුරු නිෂ්පාදකවරයා බාසුරු සිරිවර්ධනය. සිනමා ශාලාවල House full බෝඩ් එක එල්ලන්නට කතුරු මිතුරුට හැකි විය. ලාංකික සිනමාව කර්මාන්තයක් ලෙස ස්ථාවරව ගොඩනැගීමේදී නිෂ්පාදකවරයෙක් යනු අමිල සම්පතකි. එවන් දායකත්වයක් සිනමාව වෙනුවෙන් සැපයූ බාසුරු සමඟ කතාබහේ සටහනයි මේ. 

Qරට වටේම කතුරු මිතුරු. සතුටක්ද නැත්නම් කොහොම හැඟීමක්ද දැනෙන්නෙ?

සතුටක්. ආර්ථික ප්‍රශ්නවලින්, ජීවන බරින් මිනිස්සු මිරිකිලා ඉන්න වෙලාවක චිත්‍රපටයකින් හරි මිනිස්සුන්ව හිනාවක් ළඟට එක්කරගෙන යන්න පුළුවන් නම් ඒක පුදුම සතුටක්. ඒ සතුට උපරිමයෙන් වින්දා. ලාංකික ප්‍රේක්ෂකයා ඇත්තටම බුද්ධිමත්. රසවිඳින්න පුළුවන් හොඳ චිත්‍රපට හැදෙනවා නම් ඔවුන් සිනමා ශාලාවලින් ඈත්වෙන්නෙ නෑ කියන එකට මම හිතන්නෙ කතුරු මිතුරු හොඳම නිදර්ශනයක්. 

Qආලංකුලම ෆිල්ම්ස් වෙනුවෙන් චිත්‍රපට නාමාවලියේ පළවෙනි චිත්‍රපටය කතුරු මිතුරු නොවුණත් බාසුරු සිරිවර්ධනගේ නිෂ්පාදන දායකත්වයේ පළමු චිත්‍රපටය කතුරු මිතුරුයි. ආලංකුලම ෆිල්ම්ස් ආපු ගමන ගැන කතා කරමු?

මගේ තාත්තා එක්ක මුලින් නිෂ්පාදන කටයුතුවලට දායක වෙලා සෑහෙන්න අත්දැකීම් මම එකතු කරගෙන තියෙනවා. ඔය කාලෙ සිකුරු හතේ බලලා තාත්තා තව ෆිල්ම් එකක් කරමු කියන යෝජනාව ගිරිරාජ්ට ගෙනාවා. ඊටපස්සෙ ගිරිරාජ් අයියා කතුරු මිතුරු කරන්න කලින් සුහද කොකා කළා. ඔහොම කාලය ගෙවිලා යද්දි මගේ තාත්තා නැති වුණා. තාත්තගෙ මළ ගෙදරදි තමයි ගිරිරාජ් කිව්වෙ මල්ලි ලෑස්තිවෙලා ඉන්න මම ෆිල්ම් එක ලියන්න පටන් ගන්නම් කියලා. ඇත්තටම අපි ආලංකුලම නිෂ්පාදන විදිහට මුලින් කළේ ටෙලිනාට්‍ය. ඇත්තටම ටෙලිනාට්‍යයෙන් සිනමාවට අපිව අරන් ආවෙ කැළුම් ශ්‍රීමාල්. අපිව චිත්‍රපට නිෂ්පාදකවරු කිරීමේ වගකීම කැළුම් ගන්න ඕනෑ. 

Qකතුරු මිතුරු නිර්මාණය කරලා චිත්‍රපට ශාලාවලට එන්න අවුරුදු පහක විතර කාලයක් ගත වුණා. තිරගත වෙන්න ඊටත් වඩා කල් ගතවෙන චිත්‍රපට තියෙනවා. නිෂ්පාදකවරුන්ගෙ පැත්තෙන් බලද්දි මේක ඛේදවාචකයක් නෙවෙයිද?

ඇත්තටම චිත්‍රපටයක් තිරගත කරන්න බොහෝ කල් ගතවීම නිෂ්පාදකවරයෙක් තවත් චිත්‍රපටයක නිෂ්පාදනයට දායක නොවීමට හේතුවක් වෙන්න පුළුවන්. තිරගත වෙද්දිත් සිනමා ශාලා සංඛ්‍යාත්මකව අඩුවීම වගේ ප්‍රශ්න, සිනමා ශාලාවල පහසුකම් අඩුවීම වගේ ප්‍රශ්නත් එක්ක චිත්‍රපට බලන්න එන සංඛ්‍යාව අඩු වෙන්න පුළුවන්. චිත්‍රපටය රසවින්දාත්මක බවින් අඩුවීමත්, සිනමාරෑපී බවින් අඩුවීමත් චිත්‍රපටය ප්‍රේක්ෂක ආකර්ෂණයෙන් ඈත්වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. මේ සියල්ල ඛේදවාචකයක් තමයි. ලංකාවේ සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩ නොනැගෙන්න මේ හැමදේම අඩු වැඩි විදිහට බලපානවා. කතුරු මිතුරු තිරගත කරන්න යද්දි පාස්කු ප්‍රහාරය ආවා. කොරෝනා ප්‍රශ්නෙ ආවා. තෙල් ප්‍රශ්නෙ ආවා. රටේ මිනිස්සු පෝලිම්වලට ගාල් වෙච්ච යුගයක කොහොමද චිත්‍රපටයක් බලන්න එන්නෙ. මේ සියල්ල මැද්දෙ තමයි දැන් වෙලාව හොඳයි කියලා හිතලා චිත්‍රපටය තිරගත කළේ. 

Qඇත්තටම වෙලාව හොඳටම හොඳ වුණා නේද?

කියලා වැඩක් නෑ. මෙච්චර වැස්ස කාලයක් වෙලත් මිනිස්සු චිත්‍රපටය බලන්න ආවා. දුක් කරදර අස්සෙ හිරවෙලා මිරිකිලා ඉන්න මිනිස්සුන්ගෙ හිනාව කොච්චර වටිනවද කියන එක තේරෙනවා. 

Qකතුරු මිතුරු ප්‍රේක්ෂකාගාරය නිර්මාණය වුණේ ලංකාවේ විතරක් නෙවෙයි නේද?

ඔව්. විදෙස් රටවල තවමත් ලාංකික කලාවට, සිනමාවට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. කොරෝනාවලින් පස්සෙ අපි චිත්‍රපටය විදෙස් රටවලට අරන් ගියා. ඒ අය හරිම උණුසුම්ව චිත්‍රපටය බාරගත්තා. චිත්‍රපටයක නිෂ්පාදනයට මමම දායක වෙන්න එක හේතුවක් සිනමාවට තියෙන ආදරයත් එක්ක ලැබෙන තෘප්තිය. අනෙක් එක ව්‍යාපාරයක් විදිහට ලාභය. ඒ අරමුණු දෙකම ඉටුවෙන තැන තවත් චිත්‍රපටයක් කරන්න ආසයි. නිෂ්පාදකවරුන්ට ඒ හැඟීම ඇතිවෙනවා නම් ඉතා ඉක්මනින් ලංකාවේ සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩනැගෙයි.

Qඒ කියන්නෙ බාසුරු නිෂ්පාදකවරයෙක් විදිහට දුර ගමනක් යනවා කියන ඉඟිය අපිට දෙනවා. ඒ නිෂ්පාදකවරයා ඇතුළෙ නිර්මාණවේදියෙක් අධ්‍යක්ෂකවරයෙක් නොහිටින්න විදිහක් නෑ කියලත් හිතෙනවා?

ආව දුරට වඩා දිගු දුරක් යන්න තියෙන බව දැනෙනවා. තේරෙනවා. කාලයත් එක්ක ඒ ගමන යයි. යද්දි බලමු. 

I සංජීවිකා
සේයාරූ I අන්තර්ජාලයෙන්