මම ඉටුකළේ කතරගම දෙවියන් වෙනුවෙන් ආත්මගත යුතුකමක්
ප්‍රේමය අස ප්‍රේමණීය වූයේත් ප්‍රේමණීය වන්නේත් මිනිසුන් පමණක්ම නොවේ. දෙවියන් ද ප්‍රේමය අස රොමාන්තික සොඳුරු ප්‍රේමණීය ආලවන්තයන්ය. කදිර දිව්‍යරාජ ප්‍රේම පුරාණය ඒ ප්‍රේමණීය සිද්ධාන්තය උදෙසා සුන්දරම සාක්ෂියකි. දෙව් ලොව දේවයානිට ප්‍රේම කරමින් ඈ තුරුල්ලේ සැනහුණු කදිර දිව්‍යරාජ කතරගම අඩවියට සපැමිණියේ තමන්ට අප්‍රමාණ පෙම් කළ යුවතියක දකිනු රිසියෙනි. ඇගේ ප්‍රේමය අස දේවත්වයත් දේවයානිත් අමතක වූ කදිර දිව්‍යරාජ සැබැවින්ම කදිර දිව්‍යරාජ නමින් දේවත්වයට පත්වූයේත් කතරගම පුරවරයේදීමය. දේවත්වයට පත්වූවත් ප්‍රේමයෙන් ගැටගැසුණු දේවයානිත් වල්ලිත් ජීවිතයෙන් පිටමං කරන්නට කදිර දිව්‍යරාජයාණන්ට නොහැකි වූයේය. ප්‍රේමයේ හැටි එහෙමමය. කවදා කොතැනකදී කොහොම දැනුණත් ප්‍රේමය ප්‍රේමයම වන්නේත් එහෙයින්මය. ඒ දිව්‍ය ප්‍රේම පුරාණය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අතින් කදිර දිව්‍යරාජ නමින් චිත්‍රපටයකට නැගෙද්දී එහි නිෂ්පාදකයා වූයේ රයිගම් ව්‍යාපාරයේ හිමිකාරු ආචාර්ය රවී ලියනගේය. වාර්තාගත ආදායම් පිහිටුවමින් රටක් වසඟයට ගත් කදිර දිව්‍යරාජ චිත්‍රපටයට අර්ථපති දායකත්වය සැපයූ ආචාර්ය රවී ලියනගේ සමඟ කතාබහේ සටහනයි මේ.
Qකදිර දිව්‍යරාජ ප්‍රේම පුරාණය චිත්‍රපටයකට නැගුවේ කවර මානසිකත්වයකින්ද?
මේ විශ්වය තුළ ඇහැට පෙනෙන නොපෙනෙන හුඟක් දේවල් තියෙනවා. පෙනෙන නොපෙනෙන බලවේග අතර අපි සරන බව මම විශ්වාස කරනවා. මේ ලෝකයේ පවතින මනෝභාවයන් අතර ආදරය තරම් ප්‍රබල මනෝභාවයක් තියෙනවා කියන එක මම විශ්වාස කරන්නෙ නෑ. සුනිල් සර් වගේ කෙනෙක් ඒ වගේ ප්‍රේම පුරාණයකට සිනමාමය ප්‍රාණයක් දෙද්දි මම ලොකු විශ්වාසයකින් ඊට මම මගේ සහයෝගය දුන්නා.
Qඒ විශ්වාසය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න කොයි තරම් දුරට සුරක්ෂිත කළාද කියලා ඇහුවොත් මොකක්ද උත්තරය?
ඇත්තටම නිර්මාණයකදි අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයා අතර විශ්වාසය, සම්බන්ධය සහ තේරුම් ගැනීම නිර්මාණයේ සාර්ථකත්වයට හරි ප්‍රබල කාරණයක්. මට ඇත්තටම සුනිල් ආරියරත්න කියන මහාචාර්යවරයා සහ නිර්මාණවේදියා ගැන ලොකු ප්‍රසාදයක් තිබුණා. මගේ විශ්වාසය සර් උපරිමයෙන් ආරක්ෂා කළා කියන එකට හොඳම පිළිතුර තමයි නොහිතුව තරම් ගෞරවයකට ආදරයකට කදිර දිව්‍යරාජ චිත්‍රපටය පත්වීම.
Qලාංකික සිනමාවට 76 වසරක් සපිරෙද්දී ඔබේ පළමු සිනමා නිෂ්පාදනය වාර්තා පිහිටුවමින් ලාංකික සිනමා වංශ කතාවේ රුවන්මය පරිච්ඡේදයක් සටහන් කළා. ඒ ජයග්‍රහණය කොහොම හිතකින්ද භාරගන්නෙ?
මේ රටේ ප්‍රේක්ෂක ජනතාව මෙන්ම සිනමාවට ආදරය කරන සිනමා ලෝලීන් ගැන පුදුමාකාර ආදරයකින් ගෞරවයකින් තමයි ඒ සතුට මම භාරගන්නෙ. දින 15ක් තුළ මිලියන 50 ක ආදායමක්, ඉකුත් අගෝස්තු 20 වැනි ඉරිදා දවස තුළ පමණක් මිලියන 8 ක ආදායමක් උපයන්නත් කදිර දිව්‍යරාජ චිත්‍රපටයට හැකි වුණා. ඒ දවස් 15 තුළ කදිර දිව්‍යරාජ තරග කළේ රැජිනි කාන්ත්ගේ ජේලර් චිත්‍රපටය එක්කයි. මම හිතන්නෙ එම චිත්‍රපටය නොතිබුණා නම් ඒ දින 15 දි මගේ චිත්‍රපටයට මිලියන 75 ක ආදායමක් උපයන්න තිබුණා. ඇත්තටම කදිර දිව්‍යරාජ හැම තැනකදිම වගේ සිනමා ශාලා පිරී ඉතිරිලා යන සෙනඟක් එක්ක තමයි තිරගත වුණේ. ඒක නිෂ්පාදකවරයෙකුට වගේම අධ්‍යක්ෂකවරයෙකුටත් පුදුමාකාර සතුටක්.
Qකදිර දිව්‍යරාජ ලංකාවේ සිනමා ශාලාවලින් එහාට ලෝකයේ සිනමා ශාලාවන් වෙත රැගෙන යන්නත් ඔබ කල්පනා කළා. එහෙම නේද?
ඔව්. ඔස්ට්‍රේලියාව, ජපානය, කොරියාව, නවසීලන්තය, එංගලන්තය, කැනඩාව ඇමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය වගේ රටවල් ගණනාවක් කදිර දිව්‍යරාජ චිත්‍රපටය ප්‍රදර්ශනය වීම භාරගන්න සූදානම් වීම තවත් සතුටක්.
Qඇත්තටම කදිර දිව්‍යරාජ චිත්‍රපටය දේශීය සහ විදේශීය වශයෙන් ගිය ගමන සිනමා නිෂ්පාදකවරුන්ට ප්‍රබල උත්තේජකයක් සහ ධනාත්මක එන්නතක් වුණු බව අපේ හැඟීමයි. ලාංකික සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩනැගීම අත්‍යවශ්‍ය වූ පසුබිමක මෙවැනි නිර්මාණ බිහිවීම ඔබ දකින්නෙ කොහොමද?
ඇත්තටම මේක බය නැතුව චිත්‍රපටයකට අතගහන්න චිත්‍රපට නිෂ්පාදකවරුන්ට හොඳම සාක්ෂියක් වුණා. මේ විදිහට චිත්‍රපටවලින් ලාභ උපයන්න පුළුවන් නම් නිෂ්පාදකවරු අමාරුවේ වැටෙන්නෙ නෑ. ආයේ චිත්‍රපට නිෂ්පාදනයකට දායක වෙන්න බය වෙන්නෙත් නැහැ. ලාංකික සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩනැගීමට නොහැකි එක් හේතුවක් වන්නේ නිෂ්පාදකවරුන් නැතිවීම සහ හොඳ සිනමා නිර්මාණ බිහි නොවීම කියන එකයි මගේ අදහස. ඇත්තටම රටකට අවශ්‍ය වන්නේ ඒ රටේ සංස්කෘතික පසුබිම තේරුම් ගත්, ජන විඥානය තේරුම් ගත් ජන විඥානයට සවිඥානිකව ආමන්ත්‍රණය කළ හැකි සිනමාවක් බව මම විශ්වාස කරනවා.
Qශ්‍රී ලාංකික සිනමාවට සහ කදිර දිව්‍යරාජ චිත්‍රපටය වෙනුවෙන් වෙහෙසුණු සියලු දෙනාට ආශිර්වාද කරමින් ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා කතරගම කිරිවෙහෙර සහ කතරගම දේවාලය මුල්කර ගනිමින් ආශිර්වාද පූජාවක් පැවැත්වුණා. එදා කතරගමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ආදරය මේ මොහොතේ සිහිපත් කරමු?
ඒ ලැබුණු ආදරය ගැන නම් හිතාගන්නවත් බැරි වුණා. ඉන්දියානු නළු නිළි යුවල මිනිස්සු පිළිගත්තෙ පුදුම ආදරයකින්. ඔවුන්ව වට කරගෙන කතා කළා. ඒ වගේම මිනිස්සු ආශිර්වාද කළා. පැය ගාණක් යනකම් ඒ දෙන්නට ඒ භූමියෙන් එහාට එන්න බැරි තරමේ ප්‍රතිචාරයක් හම්බවුණා. අවුරුදු 10 කට පස්සෙ දර්ශන වාර තුනම ප්‍රදර්ශනය වුණු එකම සිනමා පටය බවට කදිර දිව්‍යරාජ පත්වීම පුදුමයක් නෙවෙයි කියලා එදා කතරගමට ආව ජන ගංඟාව දැක්කම මට හිතුණා. ඒ හැමෝටම අපි කදිම නූඩ්ල්ස් සංග්‍රහයක් කළා. මට දැනෙන්නෙ මම කතරගම දෙවියන් වෙනුවෙන් ආත්මගත යුතුකමක් කළා වගේ සතුටක් සහ හැඟීමක්. තුටු සිතින් කරන සියල්ල ආශිර්වාදයක්ම වූ බව මගේ හැඟීමයි.
I සංජීවිකා
සේයාරූ I අන්තර්ජාලයෙන්